මෙරට පාතාලය 80 මුල භාගය කරා දිව යන්නේය. එදා ආරම්භ වූ එකී පාතාලය තුළ පාතාල කණ්ඩායම්, පාතාල නායකයන් පමණක් නොව ගෝඩ් ෆාදර්ලා ද බිහි වූහ. එහෙත් ඔවුහු මේ රටේම සිටිමින් චණ්ඩි පාට් දමා මේ භූමිය තුළම වැළලී ගියහ.

එහෙත් වර්තමානයේ පාතාලය ඉස්සර පාතාලයට වඩා සහමුලින්ම වෙනස්ය. වැඩක් දුන් පසු පැදුරටත් නොකියා රට පැනගොස්ය. එසේ පැනගොස් ඔවුහු පාතාල නායකයන් බව පවසමින් ගෝලයන් ලවා මිනීමරමින් වීරයන් වීමට උත්සාහ ගනිති. පසුව ඔවුන්ම තමන් පාතාල නායකයන් බව පවසති.

මේ ආකාරයෙන් රට පැන සිටින වර්තමානයේ සුපතල පාතාල නායකයෝ දෙදෙනෙකි. දෙදෙනාම දකුණේ පාතාලයන්ය. එකෙක් කොස්ගොඩ සුජීය. අනෙකා මාකඳුරේ මදූෂ්ය. දෙදෙනාම දැන් ඉන්නේ ඩුබායිවලය. එහෙත් දෙදෙනාට දෙදෙනා හිත හොඳ නැත.

එසේ හිත හොඳ නැති වුවත් දෙදෙනා දැන් සිටින ඩුබායි සිට ගෝලයන් ලවා මිනීමරන්නේ සිල්ලර කාසිවලටය. මේ නිසාම රජය විසින් මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදන ද නිකුත් කළේය. එහෙත් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ නැත. මේ නිසා පසුගියදා ආරක්ෂක අංශ එක්ව තීරණයකට එළඹිණි. ඒ මදූෂ්ව සහ සුජීව මෙරටට ගෙන්වා ගැනීමට උපක්‍රමයක් සැකසීමටය. ඒ අනුව කළ හැකි සරලම දෙය පරීක්ෂණ නිලධාරීහු කල්පනා කළහ. ඊට සරලම විසඳුම වූයේ ඔවුන් මෙරටින් පැනගත් ක්‍රමවේදයම යොදා ගැනීමටය. ඒ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකසාගෙන ඔවුන් රටින් පැන ගැනීම උපයෝගී කර ගනිමිනි.

ඒ අනුව ගුවන් ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස සකසමින් විදෙස් ගතවීම ආගමන විගමන නීති උල්ලංගණය කිරීමක් බව පෙන්වා ඒ හරහා මොවුන් දෙදෙනා මෙරටට ගෙන්වීමට ඩුබායි රාජ්‍ය සමඟ සාකච්ඡා කරමින් සිටින බව සඳහන් වේ. ආගමන විගමන නීති උල්ලංඝණය කරන ඕනෑම අයකු අදාළ රටින් පිටමං කිරීම නීතියයි. ඒ නිසා කොස්ගොඩ සුජීවත්, මාකඳුරේ මදූෂ්වත් මෙරටට එම නීතිය යටතේ ගෙන්වීමට කටයුතු සිදුකරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ අතර පසුගියදා කළුබෝවිල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක තිබී සොයාගත් හෙරොයින් කිලෝ 125 ට අදාළ සැකකරු වූ මොහොමඩ් මාහීර්ගේ ජංගම දුරකථන පරීක්ෂාව මත්ද්‍රව්‍ය කාර්යංශය මඟින් සිදු කෙරිණි. එහිදී හෙළිවූයේ මෙම සැකකරු බෝගම්බර බන්ධනාගරය සමඟ ගනුදෙනු කරන බවය. සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා සිටියේ ඔහු පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා නිවාඩු ගත කිරීමට බෝගම්බර බන්ධනාගාරයේ නිලධාරී නිවාඩු නිකේතනයට ගිය බවය. ඒ සඳහා කටයුතු සම්පාදනය කළේ ඔහුගේ ගුරා වූ වැලිකඩ බන්ධනාගාරයේ ජීවිතාන්තය තෙක් දඬුවම් විඳින සුසෙයි බව හෙළිවිය. සුසෙයි විසින් කළ දැනුම්දීමකට අනුව එම නිලධාරීන් එම නිවස්නය වෙන්කර දී ඇතැයි සඳහන් විය.

ඒ අනුව මාහීර්ගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී බෝගම්බර බන්ධනාගාරයේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුගේ දුරකථන සංවාද සොයා ගැනීමට හැකිවිය. පසුව ඔවුන් දෙදෙනා මහානාම සහ ජයවික්‍රම යන නිලධාරීන් දෙදෙනා බව තහවුරු විය. මේ නිසා ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට බන්ධනාගාර අමාත්‍යංශය කටයුතු කළේය.

මේ අතර බන්ධානාගාරයේ සිටින සුසෙයිගේ ළඟ තිබී සොයාගත් දුරකථනය ද පරීක්ෂා කෙරිණි. එහිදී ඔහුගේ අංකයේ තිබී විශේෂිත දුරකථන අංක අටක් සොයාගැනීමට හැකිවිය. එම අංක සියල්ලම බන්ධනාගාර නිලධාරීන්ගේ වීම විශේෂත්වයකි. ඔවුන් සහ සුසෙයි අතර සෘජුව දුරකථන සංවාද සිදුවී ඇති බවද එම පරීක්ෂණයේදී හෙළිවිය. එම නිලධාරීන් අට දෙනා බොහෝ වෙලාවට එකම දිනයේ කිහිප වතාවක් ද ඇමතුම් ලබාගෙන ඇත. මෙලෙස ඇමතුම් ලබාගෙන ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්න තවම හෙළිදරව් වීමක් නැත.

කෙසේ වෙතත් එම නිලධාරීන් කැඳවා ප්‍රශ්න කර තිබුණත් මේ පිළිබඳව කිසිදු තොරතුරක් ඔවුන් ප්‍රකාශ කර නැත. මේ අතර ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ගේ දූෂිත වැඩ පිළිවෙළ නිසා බන්ධනාගාර බුද්ධි අංශය පසුගියදා විසුරුවා හැරීමට සිදු වූ බවද කියති. එම බුද්ධි අංශය බන්ධනාගාරයේ සිටින සැකකරුවන්ගේ සහ වරදකරුවන්ගේ අපරාධ ඇල්ලීමට යොදවා තිබුණත් ඒ ඇතැම් දෙනා අපරාධකරුවන්ට උදව් උපකාර කරන බවට හෙළිවීම නිසා ඔවුන් විසුරැවාහැරිය බව සඳහන් වේ.

කෙසේ වෙතත් මේ වනවිට බන්ධනාගාරයේ සිටින බරපතළ පාතාල සමාජිකයන් සමඟ සැකකරුවන් ගනුදෙනු කරන බවට දුරකථන සබඳතා ඔස්සේ හෙළිවී තිබේ. දැන් බන්ධනාගාර අමාත්‍යංශය මැදිහත්ව එකී නිලධාරීන් කවුරුන්ද යන්න සොයනු ඇත. ඉදිරියේදී අපරාධකරුවන්ට අපරාධ කරන්නට පාර කපා දෙන නිලධාරීන් කවුරුද යන්න හෙළිවනු ඇත. එතෙක් අප බලා සිටින්නෙමු.

►අමිල කළුබෝවිල

Loading...