Loading...

ජාතික හෙළඋරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විචිත්‍රවත් ධර්මදේශක උඩුවේ ධම්මාලෝක හිමියන්ට එක්සත් රාජධානියේ ලන්ඩන් නුවරින් විශේෂ ආරාධනයක් ලැබී තිබුණේ දින කීපයකට ඉහතදීය. ඒ ඇසළ පෝය උදාවත් සමඟ ඇරඹුණු සති අන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ බෞද්ධ ආගමික උත්සව කීපයක ධර්ම දේශනා පැවැත්වීම සඳහාය. එම ඇරයුම පිළිගෙන ලන්ඩන් නුවර බලාපිටත්ව යාමට සූදානමින් ගුවන්යානයේ අසුන්ගෙන සිටි උන්වහන්සේගේ ගමන හදිසියේ අත්හිටුවීම අහඹුවක් නොවූ පුදුමයකි.

උඩුවේ ධම්මාලෝක හිමියෝ ලන්ඩන් නුවර බලා පිටත්වීමට පසුගිය බ්‍රහස්පතින්දා 26 පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයට වැඩමකළහ. ගුවන්තොටුපළ පර්යන්තයෙන් සිදුකෙරෙන සාමාන්‍ය පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව උන්වහන්සේ පිටත්වීමට අවසර ලැබී තිබේ. ඒ අනුව උන්වහන්සේ පෙරවරු 9.40ට ගුවන්ගතවීමට නියමිතව තිබූ ඕමාන් ගුවන් සේවයට අයත් YW-376 යානයට ගොඩවී අසුන් ගත්හ.

වැඩිවේලාවක් ගතවන්නට මත්තෙන් එම ගුවන් යානයට නැගුණු ආගමන විගමන නිලධාරින් පිරිසක් උඩුවේ ධම්මාලෝක හිමියන්ම කරුණු කියමින් උන්වහන්සේගේ ගුවන් ගමන අත්හිටුවා යළිත් යානයෙන් බස්සවන්නට පියවර ගත්තේය. හදිසියේ සිදුවූ මේ අකරතැබ්බය උපේක්ෂාවෙන් දරාගන්නට වූ ධම්මාලෝක හිමියෝ සිදුවන්නේ කුමක්දැයි බලා සිටියහ. ආගමන විගමන නිලධාරින් ස්වාමින්වහන්සේට පවසා තිබුණේ උන්වහන්සේගේ විදේශ ගතවීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයේ සඳහන් දිනය පිළිබඳව ගැටලුවක් ඇති බවය. ධම්මාලෝක හිමියන් විදෙස්ගතවීම සඳහා පැමිණි අවස්ථාවේදීම ගුවන්තොටුපළ නිලධාරින් උන්වහන්සේට ඒ බව දන්වා ඇති බවත් එහිදී ගැටලුවක් මතුනොවූයෙන් උන්වහන්සේ ගුවන්යානාවට ගොඩවී ඇති බවත් අනතුරැව ආගමන විගමන නිලධාරින් මැදිහත්වීමෙන් උන්වහන්සේ බැස්සවූ බවත් දැනගන්නට තිබේ.

නීති විරෝධී අලි පැටවකු ළඟ තබාගැනීමේ චෝදනාව ධම්මාලෝක හිමියන් අධිකරණයේ පෙනී සිටියේ 2016 වසරේ මාර්තු 9 වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. එහිදී 9 වැනිදා සිට 17 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරුණු අතර රහස් පොලීසියේ නිලධාරින් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි. එමෙන්ම උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩවසන කිරුළපන ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශවාසීන්ට බාධා එල්ලවන බව කියමින් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඇතුළු පිරිසක් නඩුවක් පවරා තිබුණි. ඒ සම්බන්ධයෙන් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙසය. නියමිත නඩුවාරයේදී අධිකරණයේ පෙනී නොසිටීම හා අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවී ඇතිබව අනාවරණය වීම නිසා උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කෙරිණි.

මෙම නඩු කටයුතුවලට අදාළව ධම්මාලෝක හිමියන්ට අධිකරණය විදේශ ගමනක් තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබිණි. එම නියෝගය ජූලි 26 සිට ඔක්තෝබර් 12 දක්වා බලපැවැත්වෙන පරිදි තාවකාලිකව ඉවත් කර තිබූ නමුත් අධිකරණ නියෝගයේ ජූලි 26 වෙනුවට අගෝස්තු 26 සටහන් වී තිබීම නිසා උන්වහන්සේගේ ලන්ඩන් ගමන වැළැක්වීමට පියවර ගත් බව ආගමන විගමන පාලන ජනරාල් නිසල් රණසිංහ මහතා සඳහන් කළේය. අදාළ වැරැද්ද නිවැරදි කරගෙන පැමිණෙන්නේනම් උන්වහන්සේට නැවත ලන්ඩන් බලායාමට අවසර හිමිවන බවද ඒ මහතා සඳහන් කළේය.

“මට විදෙස් ගතවීමට තහනමක් නිකුත් කර තිබුණා. ගිය සතියේ අධිකරණයෙන් විශේෂ අවසරයක් ලබාගන්නේ ලන්ඩන් නුවර කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ සහ වේල්ස් නගරයේ පැවැත්වෙන පිංකම් මාලාවකට සහභාගීවීම සඳහායි. ගුවන්තොටුපළට ගියාට පසුව අධිකරණයේ අවසරය නියෝගය නෑ කීවා. පැයකට පමණ පසුව දැන්නූවා එම අවසරය ලැබුණු බව. නොසිතූ දේවල් සිදුවන ධර්මතාවය නිසා ගමන නතරකර නැවත විහාරස්ථානයට වැඩම කරන්නට සිදුවුණා” යැයි ධම්මාලෝක හිමියන් පවසා තිබුණි. මේ සිදුවීම හේතුවෙන් ලන්ඩන් නුවර පැවැත්වීමට නියමිත වූ ධම්මාලෝක හිමියන්ගේ ධර්මදේශනා අවලංගු කිරීමට සිදුව තිබුණි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

Loading...