ශ‍්‍රී ලංකාව උග‍්‍ර විනිමය අර්බුදයකට මුහුණ පා සිටින රටකි. වත්මන් ආණ්ඩුවට ගෙවුම් ශේෂය සම්බන්ධයෙන් ගැටලුවක් මතු වූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තාවකාලික ණය සංචිතයක් පිරිනැමීය. මූල්‍ය අරමුදලේ ණය සමග ඉදිරිපත් කළ කොන්දේසි මාලාව ජනතාවට විශාල හිරිහැරයක් වී තිබේ. ආදායම හා වියදම පාලනය කරගැනීම පමණක් නොව විදේශ විනිමය උපයා ගත හැකි මාර්ග ගැන කරන මුල්‍ය අරමුදලේ බලපෑම තියුණු ස්වභාවයක් ගෙන ඇත. රාජ්‍ය ආයතන පෞද්ගලීකකරණය, ඉන්ධන හා විදුලිය මිල සූත‍්‍ර සහ සහනාධාර කපා හැරීම ඒ අතර ප‍්‍රධාන තැනක් ගනී. ජාත්‍යන්තර ණය දෙන ආයතනයක් ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ප‍්‍රතිපත්ති ගැන තීරණය කරන තැනට පත්වීම බරපතළ ප‍්‍රශ්නයකි. මෙරට ආදායම හා වියදම ගැන සලකා බලා අවශ්‍ය තීරණ ගැනීමේ හැකියාව ආණ්ඩුවට තිබිය යුතුය.

මැදි ආදායම් රටක් වශයෙන් සලකන ශ‍්‍රී ලංකාව මෑත කාලය තුළ පොදු ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව සීමා කරන ප‍්‍රතිපත්ති අනුගමනය කළේය. බදු වැඩිකරන ලද අතර උපයන ආදායම සීමා කරන ක‍්‍රියා මාර්ග ගැනිණ. ජනතාව අත ඇති ධනය උපයෝගී කරගෙන මිල දී ගැනීමේ හැකියාව අඩු කිරීමෙන් කිසියම් ප‍්‍රමාණයකින් ආනයන වියදම අඩු කර ගැනීම ඉලක්ක කරන ලද බව පෙනේ. ආනයන අඩු කරගැනීමෙන් තොරය විදේශ විනිමය ගැටලුවට උත්තර සොයා ගත නොහැක. ආනයන සීමා කරන පියවර වෙනුවට අපනයන ආදායම ඇතුළු විදේශ විනිමය ලැබෙන මාර්ග වැඩි දියුණු කළ හැකි නමුත් ඉක්මනින් එවැනි පියවරක් අනුගමනය කරන්නට හැකියාවක් රටට නැත. සාමාන්‍යයෙන් සියයට පහක ආර්ථික වර්ධනයක් මගින් සියයට දහයක ආනයන ඉල්ලුම ඉහළ යාමේ ප‍්‍රවණතාවක් අපේක්ෂා කරන අතර පසුගිය වසරේ දී රජයේ මූල්‍ය ප‍්‍රතිපත්ති අනුව ආර්ථික වර්ධනය සියයට තුනකට මඳක් වැඩි ප‍්‍රතිශතයක පැවැති අතර එය වසර දහසයකට පසු අඩුම වර්ධනය සේ සැලකේ. වර්ධනය අඩු කිරීම පදනම් කරගෙන ආනයන ඉල්ලුමේ ඉහළ නැගීම සියයට හයක පමණ ප‍්‍රතිශතයකට පාලනය කරගත හැකි වී තිබේ.

ආනයන පාලනය කිරීම මගින් පොදු ජනතාවට තවත් දුෂ්කරතා මතු වී ඇත. ඛනිජ තෙල්, ආහාර පාන හා සුඛෝපභෝගී ද්‍රව්‍ය ආනයන බදු නැංවීම ජීවත් වීම අසීරු කර ඇත. තෝරා ගත් ආනයනික වෙනුවෙන් පමණක් බාධා කර ආනයන දුර්මුඛ කිරීම කළ හැකිව තිබුණ නමුත් ආණ්ඩුව එම පාලනය අනුගමනය කළේ නැත. සංකීර්ණ සීමා පැනවීමේ ක‍්‍රමය වෙනුවට සමස්තයක් වශයෙන් රටට ආනයන බදු ආදායමක් ද උපයා ගත හැකි ක‍්‍රමවේදයක් අනුගමනය කර තිබේ. රට තුළ නිපදවා ගත හැකි කාර්මික, කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනයට ඉඩ දී ඇති අතර පාලනයකින් තොර ආනයන මෙරට නිෂ්පාදන අංශ අනතුරකට පත් කර ඇත.

2013 වසරේ ශ‍්‍රී ලංකාවේ අපනයන ආදායම හා ආනයන වියදම අතර පරතරය රුපියල් බිලියන 979 කි. 2017 වසරේ දී රුපියල් බිලියන 1,466 තෙක් වැඩි වී ඇති බව මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාව පෙන්වයි. මෙරටින් අපනයනය කර ලබන ආදායමට වඩා දෙගුණයක් ආනයන වෙනුවෙන් වැය කරන්නට සිදුවී ඇත. නිදහස ලබන වකවානුවේ මෙරට ආනයන වලින් සියයට පනහක් රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍යවීම විශේෂත්වයකි. 2016 වන විට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනය සියයට දහ නමයකට සීමා වී තිබේ. එය එක්තරා ආකාරයකට වාසිදායකය. නමුත් අත්‍යවශ්‍ය නොවන සහ රට තුළ නිපදවාගත හැකි දේ ආනයනය පාලනය නොකරන්නේ ඇයි? අනවශ්‍ය ආනයන විනිමය හිඟය සහ රැපියල අවප‍්‍රමාණය කෙරෙහි සෘජුව බලපාන සාධකයකි. විදේශ ණය ගෙන අවශ්‍ය ආනයන වියදම් ආවරණය කර ගැනීමට සිදුවන තත්ත්වයකි.

පාලනය කරගත හැකි ව තිබුණ ආනයනික දේ මොනවාද? රත්රන් ආනයනය වෙනුවෙන් රුපියල් බිලියන 102 ක් වියදම් කර තිබේ. දුරකථන හා ආශ‍්‍රිත මෙවලම් වෙනුවෙන් වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 75.5 කි. රත්රන් අඩු තීරු බදු යටතේ ගෙන්වා අයුතු ලාභ ලබන බව ප‍්‍රකට කරුණකි. මහ බැංකු වාර්තාව පවා රටේ ජනගහනයටත් වඩා දුරකථන භාවිතා කරන බව පෙන්වා දී ඇත. සාමාන්‍ය පුද්ගලයකු පවා ඉතා වටිනා ස්මාට් දුරකථන භාවිතා කරන අතර දුරකථන ඇමතුම්වලින් සියයට තිස් දෙකක පමණ බදු අය කරමින් සිටිය දී රටට අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා ස්මාට් දුරකථන ගෙන්වන්නේ ඇයි?

රට තුළ කිරි ගවයන් මිලියනයක් සිටින බව වාර්තා වෙයි. මෑතක සිට පිටරටින් දෙනුන් ගෙන්වූයේ කිරි කර්මාන්තය වැඩි දියුණු කරන සැලැස්මකය. 2000 වසරේ දී කිරි පිටි ආනයනයට අමෙරිකානු ඩොලර් මිලියන 118 ක් වියදම් කරන විට 2017 වසරේ දී එය ඇමරිකානු ඩොලර් මිලියන 316 තෙක් වැඩි වී තිබේ. රට සහලින් ස්වයංපෝෂිත වී ඇති නමුත් තිරිගු හා තිරිගු පිටි ආනයනය අඩු වී නැත. අමෙරිකානු ඩොලර් බිලියන 36 ක් එයට වියදම් කර ඇතිඅතර 2013 දී ඒක පුද්ගල පිටි පරිභෝජනය කිලෝ 38 ක සිට 2017 දී කිලෝ 80 දක්වා නැග තිබේ. රට තුළ ආහාර බෝග වගාකරන සැලැස්මක් නැති බව මෙයින් අනාවරණය කෙරේ. අල, ලූනු. මිරිස්, පරිප්පු, සුදුලූනු, ගම්මිරිස්, කොත්තමල්ලි, කඩල, මුංඇට පමණක් නොව කුරක්කන් පවා තොග වශයෙන් ගෙන්වා ඇත. දොඩම්, ඇපල්, මිදි, මෙලන් පමණක් නොව ප‍්‍රංශයෙන් ආනයනය කරන පානීය ජල බෝතල් ද මෙරට සාප්පුවල බහුලය. මෙවැනි දේ විනිමය වැය කර ආනයනය කළ යුතුද?

කටුවැල්බටු, තිපිප්ලි, වෙනිවැල් ගැට ඇතුළු පස් පංගුවම ආනයනය කරයි. දේශීය ගොවීන් ලවා වගා කර අවශ්‍යතා සපුරා ගත හැකිය. ගොවියා නගා සිටුවන බව ප‍්‍රකාශ වන නමුත් රටට අවශ්‍ය දේ අවශ්‍ය ප‍්‍රමාණයෙන් නිපදවා ගැනීමට වැඩ පිළිවෙළක් නැත. අල, ලූනු හා මිරිස් අවශ්‍ය ප‍්‍රමාණයට වගා කරන්නට ගොවියන් පොළඹවන්නේ නැති ආණ්ඩුව ඒවා ආනයනය කරනුනට ඉඩ දී තිබේ. අඩුම මිලට ආනයනික දේ වෙළඳපොළේ පවතින හෙයින් වගා කරන ගොවීහු අසරණය. මෙරට එළවළු හා පළතුරැවල මිල ඉහළ අතර ඒවා නිසි ප‍්‍රමිතියකින් තොරය. ගොවිපොළේ සිට වෙළඳපොළට එන විට විශාල නාස්තියක් සිදුවෙයි. රටට අවශ්‍ය අස්වැන්න, ඒවායේ ප‍්‍රමිතිය, කල්තබා ගන්නා ක‍්‍රම, පසු අස්වනු තාක්ෂණය යනා දී වශයෙන් විද්වත් පර්යේෂණ වාර්තා මෙරට ආයතන වල තිබේ. ඒවා ප‍්‍රායෝගිකව යෙදවෙන්නේ නැත. නිෂ්පාදනය අඩාල කරන බලවත්ම ගැටලුව එයයි.

මුදල් අමාත්‍යංශ වාර්ෂික වාර්තාව අනුව මුහුදු සම්පත් බහුල දූපතක ජීවත්වන ශ‍්‍රී ලංකාවේ වැසියන් වෙනුවෙන් වාර්ෂිකව මාළු, කරවල හා උම්බලකඩ ආනයනය කෙරේ. කරවල හා උම්බලකඩ ආනයනය අඩු වී ඇති නමුත් ටින් මාලූ ආනයනය ඉකුත් වසර දහය තුළ දෙගුණ වී ඇත. ශ‍්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අනුව ඉදිරියේ දී බදු රහිතව දියලුණු පවා ආනයනය කරන අවදානමක් ඇති බව විරෝධතා කරුවෝ පෙන්වා දෙති. නමුත් බදු සහිතව දැනටත් රටට අවශ්‍ය දියලුණු ආනයනය කෙරේ. රටට අවශ්‍ය මාළු ආනයනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 214 ක් වියදම් කරයි. එය 2000 වසරේ දී කරන ලද ආනයන වැය මෙන් තුන් ගුණයකට වඩා වැඩිය. මහ පොළව පමණක් නොව සාගර සම්පත් ද නිසි කළමනාකරණයක නැත. ඒවා ගැන අවධානයක් යොදවන්නේ නැති දේශපාලනඥයන් ව්‍යවස්ථාව හා සාධාරණ මැතිවරණ පැවැත්වීම ගැන වාද විවාද කරන බව දැක්විය යුතුය. නිෂ්පාදනය වැඩි කරන හැබෑ අවශ්‍යතාවයක් රට තුළ තිබේ. ගොවිපොල හා කම්හල වැඩි දියුණු කර ජන කොටස් එහි නිරත කරන වැඩ පිළිවෙළක් අවශ්‍යය. එය මෙරට ආර්ථිකය සක්‍රිය කරනු ඇති අතර ආනයන වියදම අඩු කරනු ඇත.

 ගාමිණී සරත් ගොඩකන්ද

Loading...