මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම වී දඬුවම ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය දීමට ජනාධිපතිවරයා ලෙස අත්සන යොදන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවේ මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේ ඉකුත් 11 වැනිදා පැවති මතට එරෙහිව පාසලෙන් ජවයක් වැඩසටනේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි.

එල්ලුම් ගහ ගැන සමාජයේ නැවතත් ලොකු කතිකාවතක් ඇතිවන්නට පටන් ගත්තේ ජනාධිපතිවරයාගේ මේ ප‍්‍රකාශයෙන් පසුවය.

මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටියදී මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කර සිටින 19ක ලැයිස්තුවක් මේ වන විට සකස් කර එය බන්ධනාගාර හා ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය වෙත යවා ඇත.

මත් ද්‍රව්‍ය ජවාරමේ නිරතව මරණීය දණ්ඩනය නියම වූ අයගේ ලැයිස්තුවේ මුලින්ම සිටින්නේ කාන්තාවක බව අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පැවසුවාය. හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මෙරට අධිකරණ ඉතිහාසයේ පළමු වරට එසේ මරණීය දණ්ඩනය නියම වී ඇත්තේ ද කාන්තාවක් වීමද විශේෂත්වයකි.

මෙරට අධිකරණ ඉතිහාසයේ පළමු වතාවට මරණීය දණ්ඩනය නියම වූ කාන්තාවට එසේ මරණීය දණ්ඩනය නියම වූයේ හෙරොයින් ජාවාරම හා සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට මහාධිකරණ නඩු විභාගයකින් පසු වැරදිකාරිය වීම නිසාය. මේ කාන්තාවට මරණීය දණ්ඩනය නියම කර ඇත්තේ කොළඹ මහාධිකරණය විසිනි.

1984 වසරේ අංක 13 දරණ විෂ මත් ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ පනත අනුව ශුද්ධ බර ග‍්‍රෑම් 02කට වැඩි ප‍්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමට මහාධිකරණයේ විභාග වන නඩු විභාගයේදී යමෙක් වැරදිකරු වුවහොත් මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබිය හැකිය.

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමට මරණීය දණ්ඩනය නියම වූ ප‍්‍රථම කාන්තාව දඬුවම් නියමවීමෙන් පසු රැගෙන ආවේ වැලිකඩ බන්ධනාගාරය වෙතය. ඒ වකවානුවේ වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරි කළ මේ වන විට විශ‍්‍රාම ලබා සිටින ජේලර් කාන්ති පැස්කුවල් මහත්මිය ඇය හා මතකය අවදිකරමින් මෙසේ පැවසුවාය.

“මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ මෙරට පළමු කාන්තාව වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආවේ 1978 වසරේදී පමණ බවටයි මගේ මතකයේ තිබෙන්නේ. ඇය තරමක හැඩකාර කාන්තාවක්. ඒ වෙනකොට ඇය නාරාහේන්පිට ප‍්‍රදේශයේ පදිංචි වෙලා ඉඳලා තිබෙන්නේ. හිරගෙදරට එනකොට ඇය අවුරුදු 35 ක විතර කාන්තාවක්. දරුවන් තුන් දෙනකුගේ මවක්. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවට ඇය ඇතුළත් කළා. ඒ වෙනකොට මමත් ජේලර් මෙලිනා පතිරණ මහත්මියත් වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරි කරමින් සිටියේ. මෙලිනා මහත්මියත් මේ වෙනකොට විශ‍්‍රාම ගිහින්. ටික කාලයක් යද්දි අපි දෙන්නා එක්ක මේ කාන්තාව ගොඩක් හිතවත් වුණා. මෙලිනාත් මමත් ඇයගේ පවුලේ විස්තර විමසුවා”

මත් ද්‍රව්‍ය ජාවාරමකට පළමු වතාවට මරණීය දණ්ඩනය නියම වූ කාන්තාව හිර ගෙදරට පැමිණි ආකාරය ගැන විශ‍්‍රාමික ජේලර් පැස්කුවල් මහත්මිය සමග පවසා ඇත්තේ මෙවැන්නකි.

“නෝනා මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මගේ මනුස්සයා හෙරොයින් ජාවාරම් කරනවා. ඒ කාලයේ එච්චර කුඩු තිබුණේ නැහැ. කුඩුවලට පුරුදු වෙච්ච අය එච්චර හිටියෙත් නැහැ. මගේ මනුස්සයාගේ පෙළඹවීම නිසා මමත් හෙරොයින් වික්කා. මාව පොලිසියට කොටු වුණා. ඒත් මට මරණ දඬුවම ලැබෙයි කියා හීනෙකින්වත් හිතුවේ නැහැ. මට මරණ දඬුවම ලැබිලා හිර ගෙදරට ඇවිත් ටික කාලයකට පස්සේ මගේ මිනිහත් හෙරොයින්වලට පොලිසියට කොටු වෙලා. නඩු විභාගයේදී එයාටත් මරණීය දණ්ඩනය නියම වුණා. මගේ මනුස්සයත් ගෙනාවා මම ඉන්න හිර ගෙදරට. හිරේ ඉන්නකොට අසනීප වෙලා මිනිහා මැරණා. අපි දෙන්නාම හිරේ වැටුණු නිසා දරු පැටව් තුන් දෙනා අසරණ වුණා”

විශ‍්‍රාමික ජේලර් පැස්කුවල් මහත්මිය වැඩිදුරටත් මෙලෙස ප්‍රකාශ කළේ ය.

“මේ කාන්තාව බලන්න ඇයගේ දරුවොත් හිර ගෙදරට ආවා ගියා. දරුවෝ තුන් දෙනා දැක්කාම ඇය අඬනවා. මාව කොයි වෙලාවක හරි එල්ලා මරා දමාවි යැයි කියා. ඇය බියට පත්ව සිටියා. නමුත් කාන්තාවන් එල්ලා මරන්නේ නොමැති බව ඇය දැනගෙන හිටියේ නැහැ. හිර ගෙදර ඉන්න කාලය තුළ ඇය බොහොම හොඳින් හිටියා. භාවනා වැඩ සටහන්, ආගමික වතාවත්වලට සහභාගි වුණා. යහපත් කල්ක්‍රියාවෙන් සිටිය නිසා පසු කාලයක ඇය බන්ධනාගාර කාර්යාලයේ සේවාවල යොදවා ගත්තා. ඇය ඒ වැඩ කටයුතු බොහොම හොඳට පිළිවෙළට කළා. මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ගැන ඇය ඒ වෙනකොට කලකිරිලා හිටියේ.

මරණීය දණ්ඩනය නියම වී සිටි මෙම කාන්තාවට පසු කාලයක ඒ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත්වුණා. ඇයට 1989 වසරේදී පමණ නිදහස ලැබී හිර ගෙදරින් පිටත්ව ගියා. ඊට වසර 07 කට පස්සේ ඇය මට කොළඹදී අහම්බෙන් වාගේ මුණගැසුණා. ඒ වෙනකොටත් ඇය දරුවෝ තුන් දෙනෙක් එක්ක ජීවත් වෙනවා. මම මේ ළගදී ඇය ගැන සොයා බැලුවා. රෝගි තත්ත්වයකින් ඇය පසුවන බව දැන ගැනීමට ලැබුණා”

විශ‍්‍රාමික ජේලර් කාන්තාව පැස්කුවල් මහත්මිය කතා බහ නිම කරමින් පැවසුවේ එවැන්නකි.

(දේශය ඇසුරිනි)

Loading...