තරුණ කාලය විනෝදබරය. විනෝදයට ඕනෑම දෙයක් කරති. එකී විනෝදයට ඇබ්බැහි වෙති. මොළේ ඇත්තෝ පත පොතට, නාට්‍යයට, චිත්‍රපටයට, කවියට ඇළුම් කරති. මොළේ කළඳක් නැති අය මත්ද්‍රව්‍ය සහ කාලය කා දමන දෙයට ඇළුම් කරති. ඒ නිසා යෞවන සමය ඉතාම සීරැවට ආරක්ෂාව මැද්දේ රැගෙන යායුතු කාලයකි.

(ඡායාරූප සඳහා පහළට යන්න)

මේ කියන්නට යන්නේ එකී යෞවන සමය කාලය කා දමමින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙමින් පාසල් දරුවන් නන්නත්තාර කරන ස්ථානයක් ගැනය. මේ ගැන ලියූ පසුව හිමිකරුවන්ට යක්ෂයා ආරූඩ විය හැකි වුවත් එම ප්‍රදේශයේ බොහෝ මව්වරු පියවරු අපට ස්තූති කරනු ඇත. මෙකී කතාව අපට කීවේ මව්පිය කිහිප දෙනකු විසිනි. අපව රැගෙන ගියේද ඔවුන්මය. ඔවුන් හඬමින් ඉල්ලා සිටියේ මේ වසංගතය හැකි ඉක්මනින් ප්‍රදේශයෙන් ඉවත්කර දෙන ලෙසය.

මෙම ස්ථානය රාගම ගුවන් පාලමට යාබදව පිහිටි සමූපකාර ගොඩනැගිල්ලේ ඉහළ මහලේ පිහිටා ඇත. එම ස්ථානයේ බිලියඩ් ක්‍රීඩා කරන ස්ථානයක් පවත්වාගෙන යන්නේ දැනට අවුරුදු තුනක සිටය. තෙමහල් ගොඩනැගිල්ලක් වන එම ස්ථානයේ පහත මාලයේ සමූපකාර බැංකුව පවත්වාගෙන යයි. දෙවැනි මහලේ රෙදි කඩයකි. තුන්වැනි මහලේ මෙකී ස්ථානය පිහිටා ඇත. සම්පූර්ණයෙන් ගොඩනැගිල්ල සමූපකාර සමිතියට හිමිවන අතර මෙම ස්ථානයත්, ඇඳුම් කඩයත් කුලියට ලබාදී ඇත්තේ සමූපකාර සමිතිය මගිනි. අපට දැනගන්නට හැකි ආකාරයට මාසයකට 25000ක ආදායමක් එමගින් ලැබේ.

මෙම බිලියඩ් ක්‍රීඩා කරන ස්ථානය පවත්වාගෙන යන්නේ ප්‍රදේශයේ හිටපු පාර්ලිමේන්තු ඇමැතිවරයකුගේ ගෝලයකු විසිනි. එහෙත් මෙම ස්ථානය ඔහුට ලබා ගැනීමට උදව් කර ඇත්තේ අවට පදිංචිව සිටින විශ්‍රාමික පොලිස් ස්ථානාධිපතිවරයකු විසිනි. මොහු ගම්පහ ප්‍රදේශයේ පොලීසියක හිටපු ස්ථානාධිපතිවරයාය. මෙම ව්‍යාපාරය සිදුකරන පුද්ගලයාගේ එකම හයිය ඔහුය. මේ නිසා රාගම පොලීසියේ ගොඩක් දෙනෙක් මෙම ස්ථානය පවත්වාගෙන යන පුද්ගලයාගේ මිත්‍රයන්ය. අපේ භාෂාවෙන් කිව්වොත් ඒ නිසා කිසිම කචල් එකක් නැත. ඒ නිසා හිමිකරැ ඉන්නේ ටිකක් උඩින් බවද මේ තොරතුරු ලබාදුන් මාපියෝ කියති.

මේ ඉහත කී සියලු කාරණා ඔහුගේ පසුබිම ගැන තහවුරු කළ හැකි සාක්ෂිය. දැන් අප කියන්නට යන්නේ මෙම ස්ථානයේ රහසිගතව සිදුවන අපචාර ගැනය. අප එය පියකුගේ වචනයෙන්ම ඔබට මෙසේ කියමු.

“අපේ පුතා ඉස්කෝලේ ඇරිලා එන්න පහුගිය කාලේ පරක්කු වුණා. මම ගෙදර නැති නිසා මෙයාලගේ අම්මා කිව්වෙත් නෑ. දවසක් මම දන්න ත්‍රීවිල් ඩ්‍රයිවර් කෙනෙක් හම්බවෙලා කිව්වා අපේ පුතා මෙන්න මේ තැනට යනවා කියලා. මම අන්තිමට තනියම හොයලා බැලුවා. දවසක් වේලාසනින් ගෙදර ඇවිත් මම ගියා ඔය තැනට. පඩිපෙළ දිගටම ඉස්කෝලේ ළමයි. සමහර ළමයි කොට කලිසම් ඇඳගෙන. මම යනකොට එකම දුමක්. මේ ඉස්කෝලේ ඇඳුම පිටින්ම සිගරට් බොනවා. සමහර කොල්ලෝ අරක්කු බීලා. සමහර අය ගංජා ගහනවා. මට සංසාරේ එපා වුණා. මේ අපේ දරුවොනේ කියලා. අපේ එක්කෙනාව එක්කන් ඇවිත් මම හොඳටම ගැහුවා. දැන්නම් එයා යන්නේ උදේ හවස ත්‍රීවිල් එකේ” ඒ මේ කතාවේ හොඳම සාක්ෂිකරුය.

මේ කියන්නේ ඇත්‍ත අත්දැකීම් සහිත කතාවකි. ඒ සඳහා අපි ඡායාරූප පිටින්ම හෙළිකරන්නෙමු.

සාමාන්‍යයෙන් මෙම ස්ථානය විවෘත කරන්නේ උදෑසන 10ට පමණය. එහෙත් පාසල් ළමුන් එකතුවන්නේ සවස 2.00 සිටය. එතැන් පටන් එම ස්ථානය පිරෙන්නේ පාසල් ළමුන්ගෙන් පමණි. පුදුමය නම් මෙම ස්ථානයට අවුරුදු 12 – 15 වයසේ දරුවන් ද පැමිණීමය. ඊටත් වඩා පුදුමය වන්නේ එකී සියලු දරුවන් පැමිණෙන්නේ පාසල් නිල ඇඳුමෙන් වීමය. එලෙස පැමිණෙන දරැවන් බොහෝ වෙලාවට පිට වන්නේ රෑ 9 – 10ටය. බොහෝ තරුණයන් පාසල් නිල ඇඳුම් එම ස්ථානයේ මාරු කොට රාත්‍රිය තෙක් එහි කාලය කා දමති. ඒ අතර තුර දුම්වැටියේ සිට මත්විය හැකි සියලු දේ පාවිච්චි කරති.

ඇතැම් තරුණයන් අධික ලෙස මත්ව එම ස්ථානයේ පඩි පෙළෙහි වැතිරී නිදා සිටිති. ඒවා තහවුරු කළ හැකි සාක්ෂි ද අප සන්තකයේ ඇත. එසේම ඇතැම් අවස්ථාවල කුඩා දැරියන් ද එම ස්ථානයට යන එන බව සාක්ෂි සහිතව ඇත. එම දරුවන් යන්නේ එන්නේ කා සමඟද යන්න පැහැදිලි නැත. එහෙත් මේ තැනට ඇතුළු වෙන්නේ වැඩිහිටියන් සමඟ නොවන බව නම් සහතිකවම කිව හැක.

අලුයම 1.00 වනතෙක් පවත්වාගෙන යන මෙම ස්ථානයේ මත් පැන් සාද නිතරම ඇත. ඒවා සාමාන්‍ය දේවල් බවට පත්ව ඇත. ඊට අමතරව ඇතැම් තරුණයෝ මත්පෙති, ගංජා වැනි මත් ද්‍රව්‍ය ද එළිපිට භාවිත කරති. මුලු රාගම නගරයම මෙම ස්ථානය ගැන දැන සිටියත් කිසිවකු කට හොල්ලන්නේ නැත. එයට හේතුව හිමිකරුගේ බලපුළුවන්කාරකම නිසාය. කොටින්ම කියතොත් මෙම ස්ථානයේ එවැනි අපචාර සිදුවීම් සිදුවන බවට රාගම පොලීසිය පවා දැන සිටියත් ඔවුන් ද ඉන්නේ මර නින්දේය. එක පොලිස් නිලධාරියකුගේ ඒ ගැන හොයන්නේ නැත. කෙසේ වෙතත් හිමිකරුගේ සහායට නිතර ඉහත කී විශ්‍රාමික ස්ථානාධිපතිවරයා එම ස්ථානයට යන එන බව දැනගන්නට ඇත. ඒ විතරක් නොව ඔහුද හොඳ පදමට පිරිස සමඟ මධුවිත පානය කරයි.

කෙසේ වෙතත් මෙහි බරපතළ චෝදනා එල්ලවන්නේ සමූපකාර සමිතියටය. සමූපකාර ව්‍යාපාරය යනු දිළිඳුන් නගාසිටුවන ජාතික ව්‍යාපාරයකි. එවැනි ජාතික ව්‍යාපාරයක් තම මූලික ප්‍රතිපත්ති අමු අමුවේ උල්ලංඝනය කරමින් සමාජ විනාශයකට අත හිත දෙන්නේ කුමන අරමුණකින්ද යන්න අපට ප්‍රශ්නයක් ඇත. අනාගතය බාර ගැනීමට සිටින දරු පැටවු අමු අමුවේ විනාශ කරන තැනකට සමූපාකාර සමිතිය අවසර දෙන්නේ කුමන අරමුණකින්ද යන්න අපට ඇත්තේ සැකයකි. ඒ නිසා දැන්වත් මේ අපරාධය නැවැත්වීමට මැදිහත් වුවහොත් හොඳ යැයි පෙන්වා දෙමු.

එසේම නිදා සිටින රාගම පොලීසියට ද කියන්නට දෙයක් ඇත. පැමිණිල්ලක් ආ පසු ප්‍රශ්න විසඳීම වෙනුවට ප්‍රශ්නයක් ඇති වීමට පෙර එය නවතාලීමට හැකි නම් එය කෙතරම් සමාජ සත්කාරයක් ද යන්න වටහාගැනීම ඔවුන්ට අසීරු නැත. එහෙත් පොලීසියේ බොහෝ නිලධාරීන් ඉන්නේ දැක්කා නොදැක්කා වාගේය. ඒ නිසාම අප ඡායාරූප සමඟ මෙය හෙළිකරන්නේ ඉහත කී වගකිවයුත්‍තන්ගේ ඇස් ඇරවීම සඳහාය. අවසාන වශයෙන් කිව යුත්තේ එක දෙයකි. මෙම ව්‍යාපාරිකයා සමඟ අපට පෞද්ගලික ගැටුමක් නැත. අපට ඇත්තේ සමාජය විනාශ කරන ව්‍යාපාරයකට එරෙහි ගැටුමකි.

(දේශය)

Loading...