මේ දිනවල පුවත්පත්හි නිතර නිතර අඩු මිල ගණන්වලට නවතම සුඛෝපභෝගී වාහන විකිණීමේ දැන්වීම් දැකිය හැක. ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතන මගින් පළ කෙරෙන මෙම දැන්වීම් රටේ සැමට නොව බලපත්‍ර හිමියන්ට පමණක් වන බව ඒවා කියවා බැලීමේදී වැටහෙනු ඇත. මෙම මිල ගණන් බලපත්‍රලාභීන් සඳහා තක්සේරු මිල ගණන් ලෙස දක්වා තිබේ. මේ බලපත්‍ර සහ තීරුබදුවලින් නිදහස් වීම සඳහා රාජ්‍යතන්ත්‍රයේ ඉහළින් සිටින පිරිස් සඳහා ලැබෙන බලපත්‍රයි. එනම් ඩියුටි ෆ්‍රී වාහන පර්මිට්ය.

මෙම බදු සහන ලැබෙන්නේ රාජ්‍ය සේවයේ හා රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතයන්හි කරනු ලබන ජ්‍යෙෂ්ඨ මට්ටමට අයත් නිලධාරීන්ට පමණි. ඒ අනුව විධායක, පරිපාලන, කළමනාකරණ සහ වෘත්තීමය තනතුරුවල නිරත වන නිලධාරීන්ට මෙම සහනය ලැබේ. වසර 06ක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කිරීම ඇතුළු කොන්දේසි ගණනාවක් සපිරීමෙන් මේ පර්මිට්වලට හිමිකම් කීමට අවස්ථාව ලැබේ.

මේ අනුව අදාළ සුදුසුකම් සම්පූර්ණ කරනු ලබන නිලධාරීහු තමන්ගේ සේවා ස්ථානය හරහා මුදල් අමාත්‍යංශයෙන් ඩියුටි ෆ්‍රී පර්මිට් ඉල්ලුම් කරති. නිසි පරිදි සුදුසුකම් සම්පූර්ණ කර ඇත්නම් බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කෙරේ. පසුගිය කාලයේ මෙම සහන ලබාදීම වෙනුවෙන් ඇති ප්‍රතිපත්ති යම් සංශෝධනයන්ට යටත්විය. ඒහා සම්බන්ධ විවිධ ගැටලුද මතු විය. එම වකවානුවේ වාහන පර්මිට් කතාව සමාජ දේශපාලන මාතෘකාවක් බවට පත්විය.

මෙම බලපත්‍රය ලබාගන්නා පිරිස් සමාන්‍යයෙන් සිදුකළ යුතු වන්නේ තමන් මිලදී ගන්නා වාහනයේ අලෙවිකරු වෙත ගොස් එම බලපත්‍රය ලබාදී තමන් නමට ඉන්වොයිසියක් (පර්ෆෝම් ඉන්වොයිසියක්) ලබා ගැනීමයි. ඉන් අනතුරුව පර්ෆෝම් ඉන්වොයිසිය රැගෙන ගොස් එල්.සී. එකක් (ණයවර ලිපියක්) විවෘත කර එය නැවත වාහනය මිලදී ගන්නා ආයතනය වෙත රුගෙන විත් බාර දිය යුතුය. එවිට අදාළ ගනුදෙනුව තහවුරු කිරීමට ගනුදෙනු පාර්ශ්වකරුවන්ට හැකිවෙයි.

පසුගිය කාලයේ විවිධ වටිනාකම්වලින් යුතු බලපත්‍ර නිකුත් වුවද මේ වනවිට බලපත්‍රලාභීන්ට හිමිවන බලපත්‍රයේ වටිනාකම රුපියල් ලක්ෂ තිස් හයකි. මෙම බලපත්‍ර හරහා වාහන මිලදී ගැනීමේදී බොහෝ දෙනා සැලකිලිමත් වන කාරණයක් වන්නේ රජය විසින් අදාළ බලපත්‍රයේ වටිනාකමට වඩා වැඩි වටිනාකමට බදු පනවා ඇති වාහන ගෙන්වීමටයි. උදාහරණයක් ලෙස පසුගිය කාලයේ රුපියල් ලක්ෂ 50ක බලපත්‍ර ලැබූ බොහෝ දෙනා ටොයෝටා ප්‍රිමියෝ (Toyota Premio) වර්ගයට අයත් රථ මිලදී ගැනීමට පෙළඹී සිටියහ. ඊට හේතුව වූයේ මෙහි නිෂ්පාදිත රට වන ජපානයේදී එම වාහනයක වටිනාකම රුපියල් ලක්ෂ 33ක් පමණක් වීමත් ලංකාවට ගෙන්වීමේදී රුපියල් ලක්ෂ පනහකට (50) ආසන්න බදු අය කිරීමත්ය. එහිදී බලපත්‍රයේ වටිනාකම ලක්ෂ 50ක් වූ විට සම්පූර්ණ වාසියක් බලපත්‍රලාභීන්ට හිමිවිය.

බලපත්‍ර ලැබූ රාජ්‍ය සේවකයන් බොහෝ දෙනා සිදුකරන්නේ බලපත්‍ර විකුණා දැමීමයි. එම පර්මිට් මිල දී ගන්නේ රථවාහන සේල් හිමියන් හා වාහන ගෙන්වීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන්ය.

රුපියල් ලක්ෂ 36ක පර්මිට් එකක් රුපියල් ලක්ෂ 25කට මඳක් අඩු වැඩි වශයෙන් මේ දිනවලදී අලෙවි වෙයි. මේ සම්බන්ධ නීතිමය ගැටලු පසුගිය කාලයේ තිබුණද මේ වනවිට ඒවා ඉවත් වී තිබේ. මෙම බලපත්‍ර මිලදී ගැනීම හරහා වාහන සේල් හිමියන් අධික ලාබ ලබන බව කාටත් නොරහසකි.

වාහන බලපත්‍රයක් රාජ්‍ය සේවකයන් හට ලබා දෙන්නේ සක්‍රීය සේවා කාලය වසර 6ක් සම්පූර්ණ වීමෙන් අනතුරුව වුවත් නැවත වසර පහෙන් පහට මෙම බලපත්‍රය ඔවුනට ලැබේ. මෙහි අරමුණ ලෙස කියැවෙන්නේ තනතුරට ගැලපෙන සමාජ තත්ත්වයන් නිලධාරීන්ට ලබාදීම, ඔවුන්ට කාර්යක්ෂමව සේවයේ නියුක්තවීමට අවශ්‍ය පහසුකම් සැලසීම මෙන්ම සෙසු ස්ථර තුළ සිට ඉහළ තනතුරු කරා ගමන් කිරීමට අවශ්‍ය දිරිගැන්වීම කිරීම බව සඳහන්ය.

මෙම බලපත්‍ර ක්‍රමය පිළිබඳ බොහෝ විවේචනද වෙයි. ඉහළ පන්තියේ වරප්‍රසාද වෙනුවෙන් මහජන මුදල් යෙදවීමක් ලෙස මෙය අරුත් ගැන්වේ. උදාහරණයක් ලෙස මෙම වරප්‍රසාදය සේවා කාලය තුළ පස්වරක් බුක්ති විඳි කෙනකු වෙනුවෙන් රජයකට රුපියල් ලක්ෂ 180ක් පමණ වැය කිරීමට සිදුවෙයි. රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බොහොමයකට මෙය ලබාදෙන විට වාර්ෂිකව බිලියන ගණනක පාඩුවක් රජයට සිදුවිය හැකිය. එමෙන්ම මෙම පර්මිට් වාසිය ලබන්නේ වාහනසේල් හිමියන් වීමත් පර්මිට් විකිණීමට ඉඩ ලබාදීමත් පිළිබඳ විවේචන බොහොමයකි.

පර්මිට්ලාභී රාජ්‍ය නිලධාරීන්ගේ පාර්ශ්වයෙන්ද මෙම පර්මිට් පිළිබඳව විවිධ මත පළවේ. ඔවුනට අනුව මෙම බලපත්‍රය ලැබුණද තවත් රුපියල් ලක්ෂ ගණනාවක් වියදම් කර වාහන ගෙන්වීමට වත්කමක් ඔවුන් සතුව නොමැත. ඒ අනුව බොහෝ දෙනා පෙළඹී සිටින්නේ බලපත්‍ර විකුණා දමා පාවිච්චි කරන ලද හොඳ වාහනයක් මිලදී ගැනීමටයි. තවද රාජ්‍ය සේවකයන්ට වාහනයක් මිලදී ගැනීමට ණයක් ලබාදීමට රජය කටයුතු කළද එය බලපත්‍රය ලබාගන්නා විට දී නොලැබේ. එම ණය මුදල ලැබේ නම් බලපත්‍ර විකිණීමට අවශ්‍ය නොවන බව පෙන්වා දෙන ඔවුහු එවිට බලපත්‍ර ලබාදීමේ සැබෑ අරමුණට ළඟා විය හැකි බවද කියති. ඊට අමතරව රාජ්‍ය සේවයේදී මෙම වරප්‍රසාදය ලබන්නේ ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇති සිය වෘත්තීය වෙනුවෙන් විශේෂයෙන් කැපවුණු පිරිස්ය. ඒ අනුව ඔවුන් ඊට සුදුසු වන අතර දේශපාලනඥයන්ට මෙම වරප්‍රසාදය ඉහළ පරිමාණයෙන් ලැබීම අසාධාරණ බව ඔවුන්ගේ තර්කයයි.

තීරු බදු සහන ලබාදෙන බලපත්‍ර ක්‍රමයේ වර්තමාන තත්ත්වය මෙය වෙයි. කෙසේ වෙතත් බලපත්‍රලාභීන් ඉලක්ක කරගත් ප්‍රචාරණ කටයුතුවල මෙරට වාහන ගෙන්වන සමාගම් නිරතවනු දිගටම පෙනෙන්නට තිබේ. මෙම නව ක්‍රමවේදය හඳුන්වා දී තිබෙන්නේ මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද 2018/01 නම් චක්‍රලේඛයකිනි. තීරුබදු සහනය ඇත්තටම මෙම බලපත්‍රලාභීන් ලබන්නේ ද එහි අරමුණ ඉටුවී ඇද්ද යන්න අවසානයේ පැනනැගී ඇති ගැටලුවකි.

අල්ලස් පනතේ 7 වැනි වගන්තියට අනුව තමන්ගේ ධුරයේ කාර්යයට ලැබෙන වරප්‍රසාද වෙනත් අය වෙත ලබාදීමද වරදක් වෙයි. නමුත් එම නීතියට මෙම තත්ත්වය අදාළ නොවන බවද පෙනී යයි. සියල්ල සැසඳීමේදී දැනට පවතින බලපත්‍ර ක්‍රමයේ සාධාරණ අසාධාරණ බව කුමක් වුවත් එය සාධනීය ලෙස භාවිතයෙන් නිසි අරමුණ ඉටුකර ගැනීම වඩාත් වැදගත් වනු ඇත.

► චමිඳු නිසල් ද සිල්වා

Loading...