ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා සිව්වන එක්දින තරගයේ දකුණු අප්‍රිකා පිළිතුරු ඉනිම ආරම්භ වී මඳ වේලාවකින් යළි වර්ෂාව පතිත වීම හේතුවෙන් තරගය තාවකාලිකව නවතා දැමුවා.

එලෙස තරගය නතර කරන විට පන්දු වාර දෙකක් අවසානයේ දකුණු අප්‍රිකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 21ක් ලබා සිටියා.

තරගය ආරම්භයටත් පෙර සිටම පැවැති වැසි සහිත කාලගුණය හේතුවෙන් තරගය පන්දු වාර 39කට සීමා වූ අතර පන්දු වාර සියල්ල අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 306ක් ලබාගත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්.

ඩක් වර්ත් ලුවිස් ක්‍රමයට අනුව පිළිතුරු ඉනිම සඳහා දකුණු අප්‍රිකා පිතිකරුවන්ට පන්දුවාර 39ක් ඇතුලත හිමිවූ ඉලක්කය ලකුණු 308ක්.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකා පිළිතුරු ඉනිම ආරම්භයේදීම වර්ෂාව නිසා යළි තරගය නතර කිරීමට සිදුවීම හේතුවෙන් ඔවුන් හට ලැබුණු ඉලක්කය යළි වෙනස් කර තිබෙනවා.

ඒ අනුව දකුණු අප්‍රිකාවට ලැබී ඇති ඉලක්කය ලකුණු 191ක්.

ඒ සඳහා ඔවුන් හට හිමිව ඇති පන්දුවාර ගණන 21ක්.

පසුවරු 2.30ට ආරම්භ වීමට නියමිතව තිබූ තරගය පස්වරු 4.30 දක්වා පැවැත්වීමට නොහැකි වූයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණ භූමියට දැඩි වර්ෂාවක් පතිත වීම හේතුවෙන්.

කෙසේ වෙතත් පැය 2ක පමණ ප්‍රමාදයකින් අනතුරුව වර්ෂාව තුරල් වූයෙන් පිටිය වසා තිබූ ආවරණ ඉවත් කළ අතර කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකානු වැඩබලන නායකයා ලෙස අද කටයුතු කරන ක්වින්ටන් ඩි කොක් සමත්වූවා.

ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු රැකීමටයි.

ඒ අනුව පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග පිළිවෙලින් ලකුණු 34ට සහ 36ට දැවී ගියා.

කුසල් මෙන්ඩිස්ට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 14ක් පමණයි.

කුසල් පෙරේරා සිය එක්දින දිවියේ ලකුණු 2000 පසුකර යාමට අද දින සමත් වූ අතර අර්ධ ශතකයක් ද සමගින් ඔහු ලකුණු 51ක් ලබා දැවී ගියා.

නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 22ක් ලබා ගත් අතර ධනංජය සිල්වා ලබාගත්තේ ලකුණු 10ක්.

ඉන් අනතුරුව පිටියට පිවිසි දසුන් ශානක සහ තිසර පෙර්රා ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ට අමතක නොවන පිතිහරඹයක නිරත වූයේ හයේ සහ හතරේ පහරවල් වර්ෂාවක් එල්ල කරමින්.

තරගයේ අවසන් පන්දුවාරයේදී දසුන් ශානක දැවී යන විට පන්දු 34ක් තුළ ලබා සිටි ලකුණු ගණන 65ක්.

ඔහුට මනා සහයක් ලබා දුන් තිසර පෙරේරා නොදැවී ලකුණු 51ක් ලබාගත්තා.

අවසන් මොහොතේ පිටියට පිවිසි අකිල ධනංජය ලකුණු 1ක් දැවී නොදැවී සිටියා.

තරගයේ සජීවී විකාශය www.sinhalapuvath.lk අපගේ වෙබ් අඩවියෙන් ඔබට නැරඹිය හැකියි.

Loading...