Loading...

දිගින් දිගටම ලැබූ එක් දින පරාජය නමැති කතරට වැහි පොදක් එක් කරමින් ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ සිව්වැනි තරගය ඉතා තියුණු ලෙසත්, විශිෂ්ඨ ලෙසත් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වූවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය වූයේ ලකුණු 3කින්.

තරගයේ අවසාන මොහොත දක්වා ඉතා තියුණු ආකාරයක් දක්නට ලැබුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරණයෙන් මෙන්ම පන්දු රැකීමෙන් ද ඉතා යහපත් තත්ත්වයෙන් ක්‍රීඩා කිරීම විශේෂයෙන් කැපී පෙණුනා.

තරගයේ වීරයා සම්මානය හිමි වූයේ පිතිකරණයෙන් මෙන්ම පන්දු රැකීමෙන් ද සුවිශේෂී දක්ෂතා පෙන්වූ දසුන් ශානක හට යි.

අද තරගය ආරම්භයටත් පෙර සිටම පැවැති වැසි සහිත කාලගුණය හේතුවෙන් පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව තිබූ තරගය පස්වරු 4.30 දක්වා පැවැත්වීමට නොහැකි වූවා.

කෙසේ වෙතත් පැය 2ක පමණ ප්‍රමාදයකින් අනතුරුව වර්ෂාව තුරල් වූයෙන් පිටිය වසා තිබූ ආවරණ ඉවත් කළ අතර කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකානු වැඩබලන නායකයා ලෙස අද කටයුතු කරන ක්වින්ටන් ඩි කොක් සමත්වූවා.

ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු රැකීමටයි.

පන්දු වාර 39කට සීමා වූ අතර පන්දු වාර සියල්ල අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 306ක් ලබාගත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්.

ආරම්භක පිතිකරුවන් ලෙස පිවිසි නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග පිළිවෙලින් ලකුණු 34ට සහ 36ට දැවී ගියා.

කුසල් මෙන්ඩිස්ට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 14ක් පමණයි.

කුසල් පෙරේරා සිය එක්දින දිවියේ ලකුණු 2000 පසුකර යාමට අද දින සමත් වූ අතර අර්ධ ශතකයක් ද සමගින් ඔහු ලකුණු 51ක් ලබා දැවී ගියා.

නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 22ක් ලබා ගත් අතර ධනංජය සිල්වා ලබාගත්තේ ලකුණු 10ක්.

ඉන් අනතුරුව පිටියට පිවිසි දසුන් ශානක සහ තිසර පෙර්රා ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ට අමතක නොවන පිතිහරඹයක නිරත වූයේ හයේ සහ හතරේ පහරවල් වර්ෂාවක් එල්ල කරමින්.

තරගයේ අවසන් පන්දුවාරයේදී දසුන් ශානක දැවී යන විට පන්දු 34ක් තුළ ලබා සිටි ලකුණු ගණන 65ක්.

එය ඔහුගේ එක්දින ජීවිතයේ පළමු අර්ධ ශතකය ද වනවා.

ඔහුට මනා සහයක් ලබා දුන් තිසර පෙරේරා නොදැවී ලකුණු 51ක් ලබාගත්තා.

අවසන් මොහොතේ පිටියට පිවිසි අකිල ධනංජය ලකුණු 1ක් දැවී නොදැවී සිටියා.

ඩක් වර්ත් ලුවිස් ක්‍රමයට අනුව පිළිතුරු ඉනිම සඳහා දකුණු අප්‍රිකා පිතිකරුවන්ට පන්දුවාර 39ක් ඇතුලත හිමිවූ ඉලක්කය ලකුණු 308ක්.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකා පිළිතුරු ඉනිම ආරම්භ වී මඳ වේලාවකින් යළි වර්ෂාව පතිත වීම හේතුවෙන් තරගය තාවකාලිකව නවතා දැමුවා.

එලෙස තරගය නතර කරන විට පන්දු වාර දෙකක් අවසානයේ දකුණු අප්‍රිකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 21ක් ලබා සිටියා.

වර්ෂාව හේතුවෙන් දිගින් දිගටම තරගය ප්‍රමාද වීම හේතුවෙන් දකුණු අප්‍රිකාව හට ලැබුණු ඉලක්කය යළි වෙනස් වූවා.

ඒ අනුව දකුණු අප්‍රිකාවට ලැබුණු ඉලක්කය ලකුණු 191ක්.

ඒ සඳහා ඔවුන් හට පන්දුවාර ගණන 21ක් හිමි වූවා.

මෙම තත්ත්වය යටතේ නායක ක්වින්ටන් ඩි කොක් සහ හෂීම් අම්ලා පළමු කඩුල්ල වෙනුවෙන් ශක්තිමත් සබඳතාවක් ගොඩනැගීමට උත්සහ කළත් ලකුණු 23කට ඩි කොක් දැවී යාමත් සමග එය බිඳ වැටුණා.

ඒ සුරංග ලක්මාල් යැවූ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්.

පසුගිය තරගයේ විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ රීසා හෙන්ඩ්‍රික් දෙවැනි කඩුල්ල ලෙස දැවී යද්දී ලබා සිටියේ ලකුණු 2ක් පමණයි.

දසුන් ශානකගේ පන්දුවකට ඔහු ලබා දුන් උඩපන්දුව රැකගත්තේ ධනංජය ද සිල්වා විසින්.

තෙවැනි කඩුල්ල ලෙස ඉතා හොඳින් පන්දුවට පහර දුන් හෂීම් අම්ලා ලකුණු 40කට දැවී ගියේ අකිල ධනංජයගේ පන්දුවකටයි.

ළහිරු කුමාර විසින් එය රැකගත්තා.

හෙන්රිච් ක්ලාසෙන් දැවී ගියේ ලකුණු 17කටයි.

ධනංජය සිල්වා විසින් යැවූ පන්දුවට ලබා දුන් උඩ පන්දුව විශිෂ්ඨ ලෙස රැක ගත්තේ නායක ඇන්ජලෝ මැතිව්ස් විසින්.

ඊළඟ කඩුල්ල ලෙස ලකුණු 38ක් ලබා සිටි ජේපී ඩුමිනි දැවී ගියේ දුවද්දී දැවී යාමකට හසුවීමෙන්.

දසුන් ශානක විසින් ඉතා දක්ෂ ලෙස එල්ල කළ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී ඔහු දැවී ගියා.

අැන්ඩිල් පෙලුක්වායෝ දැවී ගියේ තිසර පෙර්රා යැවූ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙන්.

ඔහු ලකුණු 9ක් ලබා සිටියා.

7 වැනි කඩුල්ල ලෙස ලකුණු 4ක් ලබා සිටි විලියම් මල්ඩර් දැවී ගියා.

සුරංග ලක්මාල්ගේ පන්දුවකට ලැබුණු උඩපන්දුව අති විශිෂ්ඨ ලෙස රැකගත්තේ ධනංජය ද සිල්වා විසින්.

තිසර පෙර්රා යැවූ පන්දුවක් කඩුල්ලේ වැදී 8 වැනි කඩුල්ල ලෙස කේෂව් මහරාජ් දැවී යද්දී ලකුණු 17ක් ලබා සිටියා.

අවසාන පන්දුවාරය ආරම්භ වන විට දකුණු අප්‍රිකාව සිය ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 6 කට ලබාගත යුතු ලකුණු ගණන වූයේ 8ක්.

එම පන්දුවාරයේ පළමු පන්දුවට මුහුණ දුන් ඩේවිඩ් මිලර් කිසිදු ලකුණක් ලබා නොගත් නිසා දකුණු අප්‍රිකාව වෙත එල්ල වූ පීඩනය වැඩි වූවා.

එවන් පසුබිමක අවසන් පන්දුවාරයේ දෙවැනි පන්දුව කෙලින්ම කඩුල්ලට එල්ල කරමින් ඩේවිඩ් මිලර් දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් වූවා.

ඔහු දැවී ගියේ ලකුණු 21කටයි.

ඉන් පසුව දකුණු අප්‍රිකාව වෙත එළැඹුනේ අවසාන කඩුල්ල පමණක් ඉතිරිව තිබියදී පන්දු 4ක් තුළ ලකුණු 8ක් ලබා ගත යුතු තත්ත්වයක්.

ලක්මාල් යැවූ තෙවැනි පන්දුවට එක් ලකුණක් ලබා ගැනීමට පිතිකරු ලුන්ගි න්ගිඩි සමත්වූවා.

කෙසේ වෙතත් 4 වැනි පන්දුවට කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

එයත් සමග දකුණු අප්‍රිකාවේ ජයග්‍රහණය සඳහා හතරේ පහරක් අනිවාර්ය වූවා.

අවසාන පන්දුවාරයේ 5වැනි පන්දුවට දකුණු අප්‍රිකා ක්‍රීඩක ජූනියර් ඩාලා ලකුණු 2ක් ලබා ගත්තා.

තරගයේ අවසාන පන්දුවට ලකුණු 5ක් ලබා ගැනීමට අවශ්‍යව තිබුණත් දකුණු අප්‍රිකා ක්‍රීඩක ජූනියර් ඩාලාට හට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 1ක් පමණයි.

එ් අනුව ලකුණු 3කින් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූයේ ඉතා තියුණු ආකාරයෙන්.

ඒ මහා වැසි නොතකා ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය පතා පල්ලෙකැලේ ක්‍රීඩාංගණය වෙත පැමිණි ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් කරමින්.

කෙසේ වෙතත් පස්වරු 4.30ට ඇරඹුණු තරගය නිමාවන විට මධ්‍යම රාත්‍රී 12ට ආසන්න වී තිබීම ද විශේෂත්වයක්.

Loading...