ඊයේ තරගය ජය ගැනීමේ සියළු ගෞරවය ලැබිය යුත්තේ චන්දික හතුරුසිංහ ප්‍රමුඛ පුහුණුකරුවන් සියළු දෙනාටම බව ශ්‍රී ලංකා ක්‍රීඩක තිසර පෙරේරා පවසනවා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

මෙම වසර තුළ ඔවුන් දැඩි කැපවීමෙන් කණ්ඩායම සමග කටයුතු කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පිතිකරණ පුහුණුකරු විශේෂයෙන් සිහි කළ තිසර පන්දු යැවීමේ පුහුණුකරුවන රුමේෂ් රත්නායක පිළිබඳව ද ප්‍රකාශ කළේ ඔහු විසින් තමන්ගේ පන්දුයැවීමේ ඉරියව්වල විශේෂ වෙනස්කම් සිදුකළ බව කියමින්.

පන්දු රැකීමේ පුහුණුකරු මනෝජ් අබේවික්‍රම සම්බන්ධව ද අමතක නොකළ යුතු බවත් පන්දු රැකීමේ අංශය ද වැඩිදියුණු වී ඇති බව ඊයේ තරගයෙන් ඔප්පු වන බවත් තිසර පෙන්වා දුන්නා.

තමන් සහ දසුන් ශානක පිටියට පිවිසීමෙන් අනතුරුව 280ක ඉලක්කයක් තබා ගත් බවත් දසුන්ගේ වේගවත් පිතිහරඹය හමුවේ එය 300කටත් එහා රැගෙන යාමට හැකි වූ බවත් ඔහු සඳහන් කළා.

තරගාවලි පරාජය මේවන විටත් හිමි වී අවසන් නමුත් එක් තරගයක් හෝ මෙලෙස හොඳ මට්ටමින් ජයග්‍රහණය කිරීමට ලැබීම ගැන කණ්ඩායමක් වශයෙන් අතිශය සතුටු වන බව ද තිසර පෙරේරා සඳහන් කළා.

දකුණු අප්‍රිකාවට එරෙහිව පිටපිටම තරග 11ක් පරාජය වීමෙන් අනතුරුව එම පරාජ දාමය බිඳ හෙළමින් ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ සිව්වැනි තරගය ලකුණු 3කින් ඉතා තියුණු ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවා.

තරගයේ අවසාන මොහොත දක්වා ඉතා තියුණු ආකාරයක් දක්නට ලැබුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරණයෙන් මෙන්ම පන්දු රැකීමෙන් ද ඉතා යහපත් තත්ත්වයෙන් ක්‍රීඩා කිරීම විශේෂයෙන් කැපී පෙණුනා.

දසුන් ශානක සහ තිසර පෙර්රා ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ට අමතක නොවන පිතිහරඹයක නිරත වූයේ හයේ සහ හතරේ පහරවල් වර්ෂාවක් එල්ල කරමින්.

තරගයේ අවසන් පන්දුවාරයේදී දසුන් ශානක දැවී යන විට පන්දු 34ක් තුළ ලබා සිටි ලකුණු ගණන 65ක්.

එය ඔහුගේ එක්දින ජීවිතයේ පළමු අර්ධ ශතකය ද වනවා.

ඔහුට මනා සහයක් ලබා දුන් තිසර පෙරේරා නොදැවී ලකුණු 51ක් ලබාගත්තා.

පන්දු රැකීමේ දී ද දසුන් ශානක කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් අතර ජේපී ඩුමිනිගේ කඩුල්ල දුවද්දී දැවීයාමක් ලෙස ලබා ගැනීම ඒ අතරින් සුවිශේෂයි.

දසුන් ශානක විසින් ඉතා දක්ෂ ලෙස එල්ල කළ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී ඔහු දැවී ගියා.

තරගයේ වීරයා සම්මානය හිමි වූයේ පිතිකරණයෙන් මෙන්ම පන්දු රැකීමෙන් ද සුවිශේෂී දක්ෂතා පෙන්වූ දසුන් ශානක හට යි.

Loading...