සිරදඩුවම් හිමිවූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වනවිටත් බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

උන්වහන්සේගේ සුවදුක් විමසීම සදහා පැමිණීමේ අවස්ථාවන් බන්ධනාගාර නිලධාරින් විසින් සීමා කර ඇති බවයි එහි ගිය භික්ෂුන් වහන්සේ සදහන් කළේ.

ඥාණසාර හිමියන්ගේ වම් වකුගඩුවේ සෙන්ටිමීටර 3ක පමණ ගලක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න ප්‍රකාශ කළා.

සාමාන්‍යයෙන් වකුගඩු ගලක් සෙන්ටිමීටර භාගයක පමණ විශ්කම්භයකින් යුතුවන බව පැවසූ වෛද්‍ය සේනාරත්න පෙන්වා දුන්නේ ඒ අනුව බලන කල මෙය  විශාල ප්‍රමාණයේ ගලක් බවයි.

එම ගල හේතුවෙන් උන්වහන්සේගේ වකුගඩුවට හානි සිදුවෙමින් පවතින බවත් එම නිසා මූත්‍රා සමග රුධිරය පිටවන බවත් වෛද්‍යවරයා අනාවරණය කළා.

මෙවැනි විශාල ගලක් සාමාන්‍ය පරිදි ඉවත් කිරීමට නොහැකි බැවින් ශල්‍යකර්මයක් සිදු කිරීමට අවශ්‍යව ඇති බව ප්‍රකාශ කළ රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ සඳුදා දිනයේ දී එම ශල්‍යකර්මය සිදු කිරීමට යොදාගෙන ඇති බවයි.

එමෙන්ම ඥාණසාර හිමියන්ට නියම වී ඇති සිර දඬුවම පිළිබඳව ද වෛද්‍ය සුසිත සේනාරත්න අදහස් දැක්වූවා.

උසාවි නියෝගයක් ලැබුණත් රෝහලක ප්‍රතිකාර ලබන රෝගියෙකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර රෝහල වෙත රැගෙන යාමක් සිදු වන්නේ නැති බවත් ප්‍රතිකාර සිදු කර රෝගියා සුව වූ පසුව බන්ධනාගාරගත කිරීම සාමාන්‍ය ක්‍රමය බවත් ඔහු පැවසුවා.

Loading...