Loading...

වාද්දූවේ හෝටලයක සංවිධානය කර තිබූ ගෘහස්ත සංගීත ප්‍රසංගයකට සහභාගී වූ සිව්දෙනෙකු මියයාමේ සිදුවීමට අදාලව, එම ප්‍රසංගය සංවිධානය කළ සමාගමේ හිමිකාරියගේ සැමියා සහ ප්‍රචාරක නිලධාරියා ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මොවුන් දෙදෙනා වාද්දූව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (09) පස්වරුවේ යි.

සැකකරුවන් කඩුවෙල කොරතොට ප්‍රදේශයේ සහ ගොතටුව නව නගරයේ පදිංචි 36 හැවිරිදි වියේ පසුවන්නන් වන බව වාර්තා වනවා.

අදාළ ප්‍රසංගයට සමාජ ජාල ඔස්සේ විශාල පිරිසක් සහභාගී කරවාගෙන ඇති අතර මෙම ප්‍රසංගයට අදාළ ෆේස්බුක් “ඉවෙන්ට්” පිටුවට අනුව මේ සඳහා සහභාගි වූ පිරිස 1,700 ඉක්මවනවා.

රාත්‍රී 7ට පමණ හෝටලය තුළ ආරම්භ වූ ප්‍රසංගය පසුදා උදෑසනවන තුරු පවත්වා ඇතිබවයි වාර්තා වන්නේ.

අළුයම 2.30ට පමණ ප්‍රසංගයට සහභාගි වී සිටි සිව්දෙනෙකු හදිසියේ අසනීප තත්ත්වයක් පෙන්නුම් කර ඇති අතර ඔවුන් පානදුර මූලික රෝහලට රැගෙන යාමට කටයුතු යොදා තිබෙනවා.

රෝහලට රැගෙන යන අතරවාරයේ ඔවුන් අතුරින් 37 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති අතර 21 හැවිරිදි තවත් අයෙකු රෝහලට ඇතුළත් කළ පසු මියගියා.

තවත් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලැබූ අතර ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු ද මියගියේ පසු දිනයේ දී.

එමෙන්ම මෙම ප්‍රසංගයට සහභාගී වී බරපතළ තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටි අවසන් පුද්ගලයා ද ඊළඟ දිනයේ දී මියගියා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පානදුර මූලික රෝහලේ සහකාර වෛද්‍ය අධිකාරී හේමන්ත කුමාර පැවසුවේ මියගිය පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය සහ හෘද ක්‍රියාකාරීත්වය සහ ස්වශන වේගය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබූ බවයි.

එමෙන්ම මොවුන් රෝහලට ගෙන එද්දී, රුධිර සංසරණ පද්ධතිය, හෘදය, වකුගඩු සහ අක්මාව ආදී, සිරුරුවල සියළු පද්ධති අකර්මන්‍ය වී තිබූ බවයි ඔහු සඳහන් කළේ.

සියළු පද්ධති අකර්මන්‍ය වීමෙන් මෙලෙස ඔවුන් මරණයට පත්ව ඇති බවයි වෛද්‍යවරයා පෙන්වා දුන්නේ.

මෙවන් තත්ත්වයක් ඇතිවීමට ආසන්නතම හේතුව යම් විෂ සහිත ද්‍රව්‍යයක් ශරීර ගත වීම බවට උපකල්පනය කළ හැකි බව ද ඔහු සඳහන් කළා.

මේ අතර ප්‍රසංගයට සහභාගි වූ පිරිස් පවසන්නේ නරඹන්නන් පමණ ඉක්මවා එම ගොඩනැගිල්ල තුළ සිටි බවයි.

එමෙන්ම එය තුළ දරාගත නොහැකි තරමේ උෂ්ණත්වයක් ද පැවැතුණු බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

Loading...