Loading...

ඔබලා ඒකාබද්ධ විපක්ෂය හැටියට විවිධ අවස්ථාවල විවිධ දේවල් කළා. දැන් අවුරුදු තුනක් ගතවෙලා ආණ්ඩුව හදලා. මේ හදිසියේම ඇතිවෙච්ච විපක්ෂ නායක උණ මොකක්ද?

ඒක හදිසි සටනක් නෙවෙයි. අපි විපක්ෂ නායක ධූරය ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු දවසෙමයි. ඒ දිනේෂ් ගුණවර්ධන මහත්තයට දෙන්න කියලා. ඒ ඉල්ලීම ඉටුවුණේ නෑ. පසුගියදා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 16 ක් විපක්ෂයට එකතුවීමෙන් අපේ මන්ත්‍රී කණ්ඩායම 70 ක් බවට පත්වුණා. ඒ නිසා නැවත වතාවක් අපි මේ ඉල්ලීම සිදුකළා.

බොහෝ දෙනා කියන්නෙ ඔබලා එක පක්ෂයකින් ඇවිත්. කට්ටියක් ආණ්ඩුවේ කියලා. අනෙක් කට්ටිය විපක්ෂයේ ඉඳීම හරහා නෛතිකව විපක්ෂ නායක ධූරය ලබාදෙන්න බෑ කියලා?

පාර්ලිමේන්තුව හැමදාමත් පිළිගත්තෙ කණ්ඩායම් විතරයි. එහෙම නැතුව පක්ෂ නෙවෙයි. පක්ෂ පිළිගන්නෙ මැතිවරණ කොමිසම. කතානායක පිළිගන්නෙ කණ්ඩායම්. කතානායක පත්කරගත්තෙත් කණ්ඩායමක් එකතුවෙලා. අපිට ඕන තරම් උදාහරණ තියෙනවා. ඉතිහාසයේ මන්ත්‍රී කණ්ඩායම් විපක්ෂය ලෙස පිළිගත්තා. එක උදාහරණයක් කියන්නම්. වර්තමාන කතානායකවරයා 2007 දී 17 දෙනෙක් එක්ක විපක්ෂයේ ඉඳලා ආණ්ඩු පක්ෂයට ආවා. ඒ වෙලාවේ කතානායක ඔවුන්ව වෙනම කණ්ඩායමක් ලෙස පිළිගත්තා.

ඔබලා කියන්නෙ විපක්ෂ නායකකමට දිනේෂ් ගුණවර්ධන මහතා සුදුසුයි කියලා. වෙල්ගම මහත්තයගේ නමත් කරළියට එනවා. ඇත්තටම මේ විපක්ෂ නායකකම ඇතුළෙත් ප්‍රශ්නද?

පැහැදිලිවම 70 දෙනාගේ ඒකමතික තීරණය තමයි විපක්ෂ නායක ධූරය දිනේෂ් ගුණවර්ධන මහතාට ලැබිය යුතුයි කියන එක. එක එක අය කියනවා එක එක අය සුදුසුයි කියලා. එහෙම සුදුසු අයත් ඉන්නවා. ඒත් බහුතරය ඉන්නෙ දිනේෂ් ගුණවර්ධන මහතා ඕන තැන.

ආණ්ඩුව කියනවා ඔබලා ජනාධිපති කෙනෙක් ගේන්න හැදුවලු. ඊටපස්සෙ අගමැති කෙනෙක් ගේන්න හැදුවලු. දැන් විපක්ෂ නායකකම ගන්න පොරකනවලු. ඒකාබද්ධ විපක්ෂය පස්සට යනවා කියලා ඔවුන් කියන්නෙ?

නෑනේ. අපි ප්‍රාදේශීය සභා ඡන්දය තරග කළේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පත්කරගන්න. අවස්ථාව අනුවයි තරගය තීරණය වෙන්නෙ. මේ අවස්ථාවේදී අපි ජනාධිපතිවරණයක්වත් පාර්ලිමේන්තු මැතිවරණයක්වත් ඉල්ලන්නෙ නෑ. විපක්ෂය ශක්තිමත් වෙලා ඉන්න මොහොතේ අපි උත්සාහ කරන්නෙ විපක්ෂ නායක ධූරය ලබාගන්න. ඔය හැමදෙනාම එක එක අවස්ථාවලට මුහුණදෙනවා.

ආණ්ඩුවේ සභා නායකවරයා කියනවා ඊළඟට එන්නෙ ජනාධිපතිවරණයක් කියලා. ඔබලා එයට සූදානම්ද?

සභා නායකවරයා ඔය කතාව කියන්න මාස දෙකකට කලින් තමයි අපි කිව්වේ ඊළඟ ජනාධිපතිවරණය පවත්වන කල් කිසිදු මැතිවරණයක් නෑ කියලා. එතුමා දැන් හරි කියපු එක ගැන මම සතුටු වෙනවා. ඒ වගේම අපි ජනාධිපතිවරණයකට නෙවෙයි, ඕනෑම මැතිවරණයකට සූදානම්. කනගාටුව මේ ආණ්ඩුව තවම කිසිම මැතිවරණයකට සූදානම් නැතිවීමයි.

ඊළඟ ජනාධිපතිවරණය ගැන ඔබලාගේ කඳවුරෙන් රාජපක්ෂවරු ගණනාවකගෙ නම් එනවා. මහින්ද, ගෝඨාභය, බැසිල්, චමල් වගේ අයගේ. ඒ කියන්නෙ තවම හරි කෙනෙක් තෝරාගන්න බැරිද?

ඒ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයක ලක්ෂණයක්. මොකද, එජාපයේ වසර 25 ක් පුරා නායකත්වය දෙමින් මැතිවරණ 40 ක් පරාජයට පත්කරපු රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බව පක්ෂයේ මහ ලේකම් කියද්දි අනිත් සියලු දෙනාම ඒක වහලුන් සේ පිළිගන්නවා. කවුරුවත් හඬ නගන්නෙ නෑ. හැබැයි අපේ විකල්ප මත තියෙනවා. විකල්ප මත ගැටෙනවා. අවසානයේ ඒකමතිකව තීන්දුවක් ගත්තම සියලු දෙනාම ඒ දේ වෙනුවෙන් ගැටගැහෙනවා. ඒ වගේම ජනාධිපතිවරණයට තව මාස 15 ක් තියෙනවා. විපක්ෂය ජනාධිපති අපේක්ෂකයා නම් කළේ ජනාධිපතිවරණය ප්‍රකාශ කළාට පස්සෙ. දැනට අපි සංවාදයේ යෙදිලා ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන යන නම් හතර ගැන. අවසානයේ වඩාත් සුදුසු අපේක්ෂකයා නම් කරනවා.

කවද්ද ඔබලගේ අපේක්ෂකයා එළියට දාන්නෙ?

එක දෙයක් කියන්නම්. මහින්ද රාජපක්ෂ මහත්තයා නුදුරු දිනයකදී නම එළියට දානවා. ඒ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා හැටියට නෙවෙයි. රටේ මීළඟ ජනාධිපතිවරයා ලෙස. මොන අපේක්ෂකයා දැම්මත් ඔහුව දිනවලා නැවත මහින්ද යුගයක් බිහිකරනවා.

ඔබ කියනවා පක්ෂයේ සංවාද තියෙනවලු. ඒත් අපි දකින්නෙ ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයෝ කියනවා නම නොකියා මේ අපේක්ෂකයා අර අපේක්ෂකයා අපිට එපා කියලා?

එහෙම අවලාද නගන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය භූක්ති විඳින්නෙ නැති එක්සත් ජාතික පක්ෂය වැනි පක්ෂවල උදවිය. අපි සංවාදයෙන් අපේක්ෂකයා තෝරන්නෙ. මොකද, අපේ අපේක්ෂකයො පෙරැම්පුරන බෝසත්වරු නෙමෙයි. අපේ අපේක්ෂකයන්ගෙ හොඳත් තියෙනවා. නරකත් තියෙනවා. අපි දාන්නෙ වැඩියෙන් හොඳ තියෙන අඩුවෙන් නරක තියෙන අපේක්ෂකයෙක්.

දැන් ඔබලගේ සියලු ඡන්දවලට නායකත්වයට ඉන්නෙ රාජපක්ෂවරු විතරමද?

මම ඉස්සෙල්ලා නම් කරපු නම් හතරේ දිනේෂ් ගුණවර්ධන මහත්තයගේ නමට මුලටවත් අගටවත් රාජපක්ෂ කෑල්ලක් නෑ.

දිනේෂ් ගුණවර්ධන මහත්තයගෙ නම කියන්නෙ ඔබ විතරයි?

නෑ. මම නෙමෙයි යෝජනා කළේ. අමතක කරන්න එපා, බැසිල් රාජපක්ෂ ඇමැතිතුමා පවා දිනේෂ් ගුණවර්ධන මහත්තයගේ නම යෝජනා කළා. ඒ නිසා දිනේෂ් ගුණවර්ධන මහත්තයත් ප්‍රබල අපේක්ෂකයෙක්. එතකොට රාජපක්ෂවරු වීම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුසුකමකුත් නෙවෙයි. නුසුදුසුකමකුත් නෙවෙයි. හිතන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රාජපක්ෂවරයකු ලෙස සලකලා ආරක්ෂක ලේකම්කම ලබා නොදුන්නා නම් අදටත් අපි දරුණු යුද්ධයක ඉන්නෙ.

2014දිත් ඔය තැන තමයි රාජපක්ෂ කඳවුර තිබ්බේ. හිතෙන්නෙ නැද්ද එදා වගේ ඇතුළෙම කෙනෙක් විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයා හැටියට හිටගනී කියලා?

මුලින්ම කියන්න ඕනෙ 2014 හෙළ උරුමයෙන් ඉවත්වෙලා මාධ්‍ය හමුවක් තියලා මම කිව්වා මොවුන් ජයග්‍රහණය කරන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් බෙදුම්වාදය හිස ඔසවනවා කියලා. ඒ පාපකර්මයට සම්මාදම් වෙන්න බැරි නිසයි මම ඉවත් වෙන්නෙ කියලා කිව්වා. ඒ අනුව පරාජය වීමේ අවදානම දැනගෙනයි අපි මහින්ද රාජපක්ෂ පිලට එකතු වුණේ. ඒක වක්‍රව කිව්වත් මම ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, චරිත් හේරත් යන අයට කිව්වා ලක්ෂ 05කින් අපි පරාජය වෙනවා කියලා. ඇත්ත, බුදුන්ට දෙව්දත් හිටිය නම්, ජේසුස් වහන්සේට දේවත්ත හිටිය නම්, මහින්ද රාජපක්ෂට මෛත්‍රීපාල සිරිසේන හිටියා කියලා පුදුමවෙන්න දෙයක් නෑ. හැබැයි මහින්දට පාඩමක් උගන්වන්න ගිහින් ජනතාව ලොකු පාඩමක් ඉගෙන ගත්තා. ඒ නිසා අපෙන් කවුරු කැඩිලා ගියත්, කුමන අපේක්ෂකයෙක් ඉදිරිපත් වුණත්, අපේ පිල ජයග්‍රහණය කළ යුතුයි කියලා ජනතාව තීරණය කරලා ඉවරයි.

යම් ආකාරයකින් ශ්‍රීලනිපය එජාපය එකතුවෙලා ඊළඟ මැතිවරණවලට ඉදිරිපත් වුණොත් මොකද කරන්නෙ?

පරණ වයින් අලුත් බෝතලයකට දාලා දුන්නට අහුවෙන්න එපා කියලා කියනවා. අපේ සතුට තමයි මේ සියලු දෙනා එකතුවෙලා ඡන්දය ඉල්ලන එක. එතකොට සතුරෝ එකට දැකගන්න පුළුවන් වෙයි. අන්න එදාට ඔක්කොම එකතු කරලා පරාජය කරන්න පුළුවන්.

ඔබලා ඉන්න කඳවුර දෙස ඉතිහාසයේ ඉඳලා බලද්දි සුළු ජාතික ඡන්දවල අඩුවක් තියෙනවා. කොහොමද තීරණාත්මක මොහොතක ඒ ඡන්ද ගැන විශ්වාසය තියාගන්නෙ?

සුළු ජාතික නායකයන් වැඩ කරලා තියෙන්නෙ සෑම මොහොතකම ජයග්‍රාහී පිළ එක්ක. ඒ නිසා පුංචි ඡන්ද ප්‍රතිඵලවලින් පස්සෙ සුළු පක්ෂ ගණනාවක් ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මහත්වරු හමුවෙමින් සාකච්ඡා පවත්වමින් තියෙනවා. ජනාධිපතිවරණය ළංවෙද්දි වතුකරේ ජනතාවගේ නායකයන්, මුස්ලිම් ජනතාවගේ නායකයන් අපි සමඟ එකතුවෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා.

දැනට ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්ෂ නායකයනුත් ඔය සාකච්ඡා අතරේ ඉන්නවද?

ආණ්ඩුව නියෝජනය කරන සුළු ජාතික නායකයන් ජනාධිපතිවරණයට පෙර හිටියෙ අපිත් එක්ක.

ඔබලා පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල තක්සේරුවේ ඉන්නෙ. හැබැයි ආණ්ඩුවේ පක්ෂ දෙකත්, දෙමළ සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණත් එකතු වුණාම ඔබලාට විරුද්ධ ඡන්ද ප්‍රමාණය වැඩියි කියලා ආණ්ඩුවේ අය කියනවා?

ඒ මැතිවරණ ප්‍රතිඵල ගැන මෙලෝ හසරක් නොදන්න අය මතුකරන තර්කයක්. ලංකා ඉතිහාසයේ පුරාම පළාත් පාලන ඡන්දය ජයග්‍රහණය කරලා තියෙන්නෙ ආණ්ඩු පක්ෂයේ අය. විපක්ෂයෙ ප්‍රධාන පක්ෂයට 30%ක ඡන්ද ප්‍රමාණය ඉක්මවලා ඡන්ද ලබාගන්න හැකියාවක් ලැබිලා නෑ. ඒත් ඉතිහාසයේ ප්‍රථම වතාවට අවුරුදු එකහමාරක් වයස පක්ෂයකට දිනන්න පුළුවන් වුණා. ඒ ඡන්දය පරාද නම් ආණ්ඩුව ගැන කවර කතාද?

මහින්ද මහත්තයගේ පරාජයෙන් පස්සෙ ඔහුව වේදිකාවට නැවත අරගෙන ආවේ ඔබ, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර වගේ අය. දැන් දැන් කඳවුරට විශාල පිරිසක් එකතු වෙනවා. ඔබලට ඉදිරියේ තැනක් තියේවිද?

ඇත්තෙන්ම කෙනකුට ජීවිතේ හම්බවෙන පළවෙනි කාන්තාව තමයි අම්මා. ඊටපස්සෙ තමයි අනෙක් අය. හැබැයි ඔවුන්ට අම්මගේ තැන ගන්න බෑ. අද මේ පොහොට්ටුව බවට පත්වෙලා තියෙන ජනතා ව්‍යාපාරය මහින්ද සුළඟ හැටියට පටන්ගත්තෙ අපි. ඒ පිළිබඳව මහින්ද රාජපක්ෂ මහත්තයගෙත්, පාක්ෂිකයන්ගෙත් ලොකු තැනක් අපිට හම්බවෙලා තියෙනවා. ඒවා ජනතාව අතරට ගියාම දැනෙනවා. ඒ අපි පටන්ගත්ත දිය දහර මහ ගංගාවක් වෙන එක ගැන අපිට සතුටුයි. ඒකෙන් වෙන්නෙ අපේ ජනතා ව්‍යාපාරය ශක්තිමත් වෙන එක. අපේ තැන උදුරගෙනත් නෑ. උදුරගන්නෙත් නෑ.

2015 ජනවාරි 08 පරාජය වුණේ ඔබේ කඳවුරේ ඇතැම් ප්‍රශ්න නිසා. දැන් නැවත එන්නෙත් ඒ අයමයි. මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් නේද?

නෑ. කොහෙත්ම නෑ. ජනතාව දේශපාලනමය වශයෙන් අතිශය පරිණතයි. දැන් තියෙන පාර්ලිමේන්තුව අවුරුදු හතර හමාරක් යනකල් අපිට විසුරුවන්න බෑ. ඒ කියන්නෙ නාගයා මරන්න බෑ. හැබැයි නාගයාගේ විෂ දළ කඩන්න පුළුවන්. ඒ තුනෙන් දෙක බිඳ දමලා.

ශ්‍රීලනිපයෙන් කියනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තරග කරනවා කියලා. හදිසියේ ඔහු තරග කරලා අගමැති අපේක්ෂකත්වය ඔබලට දුන්නොත්?

අපේ අරමුණ අපේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන එක. එහෙම නැතුව දැන් තියෙන අගමැති ජනපති ගැටුම තවදුරටත් ඉස්සරහට ගෙනියන්න වුවමනාවක් අපිට නෑ.

ආණ්ඩුව කියන්නෙ වර්තමාන වර්ජන පිටුපස ඉන්නෙ ඔබලා කියන එක. ඇත්තද ඒ කතාව?

වැඩ බැරි ආණ්ඩුව වැඩ කරන්න බැරිවුණාම අනුන්ට ඇඟිල්ල දිගුකරන එක ලජ්ජා සහගතයි. හරියට නටන්න බැරි මිනිහට පොළොව ඇදයි කිව්වා වගේ. අනික අපි සටන් කරද්දී හැම මොහොතෙම සටනේ ඉදිරිපිට හිටගත්තෙ. හැංගිලා හිටියෙ නෑ.

► ගයාන් ගාල්ලගේ

Loading...