Loading...

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම ගිය සතියේ සුපුරුදු පරිදි මහින්දගේ විජේරාම නිවසේදී පැවැත්විණි.

එහිදී වැඩි අවධානයක් යොමුවූයේ පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය ගන්නේද නැද්ද යන්න කෙරෙහිය.

සාකච්ඡාව ආරම්භවීමට පෙර මහින්ද එහි පැමිණ සිටි මන්ත්‍රීවරු පිරිසක් සමග සුහද කතාබහක යෙදෙමින් සිටියේය.

ඒ අතර මහින්දට දුරකතන ඇමැතුමක් ලැබුණේය.

“සර්ට සී.අයි.ඩී. එකෙන් එන්න කියලා තියෙනවාද?” මහින්දගෙන් ඇසුවේය.

“නෑ..මට එහෙම කැඳවීමක් ලැබිලා නෑ” මහින්ද උත්තර දුන්නේය.

“කීත් නොයාර්ට පහරදීම ගැන ප්‍රකාශයක් ගන්න ඔබතුමා කැඳවලා තියෙනවා” හිතවතා මහින්දට කීවේය

“මම එහෙම එකක් දන්නේ නෑ. එහෙම කැඳවීමක් ලැබුණොත් යනවා. මම ඕවට බය නෑ” මහින්ද පැවැසුවේය.

“සී.අයි.ඩී. එකෙන් මට එන්න කියලා තියෙනවාද” දුරකථනය විසන්ධි කළ මහින්ද තමන්ගේ කාර්ය මණ්ඩලයේ අයගෙන් ඇසුවේය.

“එහෙම එකක් තවම ඇවිත් නෑ සර්” කාර්ය මණ්ඩලයේ අයෙක් උත්තර දුන්නේය.

ඉන් පසුව මහින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක්ට දුරකථන ඇමතුමක් ගත්තේය.

“ඔහෙලා මගෙන් ප්‍රකාශයක් ගන්න ඕන කියලා තියෙනවාද” මහින්ද ඇසුවේය.

“ඔව් සර්. හැබැයි අපිට ඔබතුමාගෙන් වෙලාවක් ලැබුණේ නෑ” මහින්දට උත්තරයක් ලැබුණි.

“ඔයාලා කාටද කතා කළේ. කවුද වෙලාව නොදුන්නේ” මහින්ද ඇසුවත් එයට උත්තරදීමට ‍පොලිස් ප්‍රධානියා අදිමදි කළේය.

“ඔහොම දෙයක් තියෙනවා නම් මට කෙළින්ම කතා කරන්න. මම එන්නම්. හරි දැන් කවදද මම එන්න ඕන. ඕන නම් මට සිකුරාදා උදේ දහයට එන්න පුළුවන්” මහින්ද වෙලාවක් දුන්නේය.

“ඉන්න සර්. මම බලලා කියන්නම්” කියා දුරකථනය විසන්ධි කළ නිලධාරීයා පසුව මහින්දට ඇමැතුමක් ගෙන කීවේ මහින්දගේ නිවසට පැමිණ  ප්‍රකාශයක් ගන්නා බවය.

මෙම කතාබහ ඇදී යමින් තිබෙන අතරවාරයේදී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා එහි පැමිණියේ පක්ෂ නායක රැස්වීමට සහභාගීවීමටය.

“අනේ සර් මට ‍පොඩි වෙලාවක් දෙන්න. අපේ ලොකු අයියා එනවා” ඔහු එනු දුටු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා නැගිට ගියේය. දෙදෙනා අතර හිත් හොඳ නැති බව දන්නා මහින්ද ඒ දෙස වැඩි උන්නදුවකින් බැලුවේය.

“අයියේ මට සමාවෙන්න” මහින්දානන්ද වෙල්ගම ඉදිරියට ගොස් ඔහු බදාගත්තේය.

“අයියෝ මල්ලි, සමාව ගන්න දෙයක් නෑ. ඔයා මට දෙයක් කිව්වා. මම ඒකට උත්තර දුන්නා. ඒකට සමාව ගන්න ඕන නෑ” වෙල්ගම උත්තර දුන්නේය.

ඔවුන් දෙදෙනා වැලඳගෙන සිටිනු දුටු දිලුම් අමුණුගම මන්ත්‍රීවරය තමන්ගේ ජංගම දුරකථනය රැගෙන ඡායාරූපයක් ගත්තේ රණ්ඩුවුණ දෙදෙනා බදාගෙන සිටින ඡායාරූපයක් තිබිම වැදගත් බව කියමිනි.

මේ අතර දහසයේ කණ්ඩායමේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ද එහි පැමිණියේ ඔවුන් බදාගෙන සිටින විටදීමය.

“මේ බොරු රණ්ඩු කරගන්න අය” ඔවුන් කීවේද දෙදෙනාටම සිනාවෙමිනි.

“අපි රණ්ඩුවෙනකොට සමහරුන්ට හරි චූන්. හැබැයි ඔය චූන් එක වැඩි කාලයක් තියෙන්නේ නෑ” මහින්දානන්ද කීවේය

ඉන් පසුව පක්ෂ නායක රැස්වීම ආරම්භවූ අතර විපක්ෂනායක ධුරය ගැන එහිදී දීර්ඝ ලෙස අවධානය යොමුවිය.

Loading...