අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් ගිය සිකුරාදාවේ මහින්දගේ නිල නිවසට පැමිණියහ.

මාධ්‍යවේදී කීත් නොයාර්ගේ පැහැරගැනීම පිළිබඳ කටඋත්තරයක් ගැනීමටය.

ඒ බව මහින්දට කල් ඇතිවම දැනුම් දී තිබුණේය.

ඒ අනුව සිකුරාදා දහවල් දොළහයි තිහට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මහින්දගේ විජේරාම නිවසට පැමිණිහය.

එහෙත් සිකුරාදා දිනය මහින්දට මංගල උත්සව කිහිපයකටම සහභාගී වීමට තිබුණි.

විවාහ මංගල උත්සව දෙකකම සාක්ෂියට අත්සන් කිරීමට තිබුණේද මහින්දටමය.

උදෑසනම විජේරාම නිල නිවසේදී විවාහයක සාක්ෂිකරුවෙක් ලෙස අත්සන් කළ මහින්ද පසුව කිංස්බරි හෝටලයට ගියේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ හෝමාගම ප්‍රදේශයේ හිතවතකුගේ විවාහ මංගල උත්සවයක සාක්ෂිකරුවෙක් ලෙස අත්සන් තැබිමටය.

විවාහ උත්සවයේ ටික වේලාවක් සිටි මහින්ද එතැනින් නැගිට්ටේ “මට අද සී.අයි.ඩී. එකට කට උත්තරයක් දෙන්න තියෙනවා” යැයි කියමිනි.

ඒ වනවිට බන්දුල සිටියේද මහින්ද අසුන්ගෙන සිටි මේසයේය.

මහින්ද විජේරාම නිවසට පැමිණියේ බන්දුලත් තමන්ගේ වාහනයට නංවාගනිමිනි.

“බලන්නකෝ බන්දුල, කථානායකතුමා ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන බලන්නත් එක්ක. විශේෂයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන එක කථානායකවරයෙක්ගේ වගකීමක්” මහින්ද වාහනයේ එන අතරවාරයේදී බන්දුලට කීවේය

“සර්, හිටපු ජනාධිපතිතුමා වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. කීත් නොයාර් පැහැරගත්ත එක ගැන කථානායකතුමා දීපු කටඋත්තරයක් නිසා සර්ට කරදර කරන එක වැරදියි. අනෙක මන්ත්‍රීවරුන් ආරක්ෂා කරන්න ඉන්න කථානායකතුමා” බන්දුල මහින්දගේ අවධානයට යොමු කළේය.

“බන්දුල, මට දවසට කෝල් කීයක් නම් එනවාද? මට කොතරම් රාජකාරී තිබුණාද? මේවා සේරම මම මතක තියාගෙන ඉන්නේ නෑනේ. මේවා ඉතිං මඩ ගහන්න කරන වැඩනේ” මහින්ද කීවේ සැහැල්ලුවෙනි.

මේ කතාව අවසන් වන විට ඔවුන් දෙදෙනා විජේරාම නිවස අසලට ළඟාවී සිටියහ.

ඔවුන් දෙදෙනා එහි එන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ සිටි අතර නිවස තුළට ගිය මහින්ද සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන පැමිණ සාක්ෂි දුන්නේය.

මහින්දගෙන් කට උත්තරයක් ගත්තේ දැනට අවුරුදු දහයකට පෙරදී ‘නේෂන්’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ හා ආරක්ෂක තොරතුරු වාර්තාකරු වූ කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන්ය.

කීත් නොයාර් පැහැරගැනීම ගැන එකල එම පුවත්පත අයත් සමාගමේ විධායක නිලධාරියා වූ ක්‍රිෂාන්ත කුරේට තොරතුරු ලැබිමෙන් පසුව ඔහු ඒ බව දැනුම් දී තිබුණේ ඔහුගේ පෞද්ගලික හිතවතෙක් වන කරු ජයසූරියටය.

ඒ වන විට කරු මහින්දගේ ආණ්ඩුවේ ස්වදේශ කටයුතු හා රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා විය.

“සර් වගේ මහත්මා දේශපාලනඥයෙක් මේ වගේ වැඩ කරන ආණ්ඩුවක ඉන්නේ කොහොමද” යැයි ප්‍රශ්න කරමින් කීත් නොයාර් බේරාගන්නැයි ඔහුගෙන් ඉල්ලා තිබුණේය.

ඒ අනුව කරු මැදියම් රැයේදීම මහින්දට දුරකථන ඇමතුමක් දී තිබුණේය.

මහින්දගේ දුරකථනයට උත්තර දුන් පුද්ගලයා කියා තිබුණේ ඒ වන විට මහින්ද නින්දට ගොස් ඇති බවය.

එහෙත් කරු මහ රෑ මහින්ද සම්බන්ධ කරගැනීමේ උත්සාහය අතහැර තිබුණේ නැත.

කෙසේ හෝ මහින්ද සම්බන්ධ කරගෙන තිබුණි.

“ජනපතිතුමා ‘නේෂන්’ පත්තරේ කර්තෘ පැහැරගෙන ගිහින් තියෙනවා. මේ වගේ දේවල් වෙන ආණ්ඩුවක ඉන්න මට ලැජ්ජයි” කරු මහින්දට කියා තිබුණි.

කීත් සොයා ගැනීමට නොහැකි වුවහොත් තමා ආණ්ඩුවෙන් ඉවත්වන බව කරු ජනපතිට පවසා තිබුණි.

මේ දුරකථන ඇමැතුමෙන් පසු පසුදා උදේ වනවිට කීත් නොයාර් මහ මග දමා ගොස් සිටියදී සොයාගෙන තිබුණි.

මේ ගැන පරීක්ෂණ කටයුතු අවුරුදු ගණනක් තිස්සේ ඇදී යමින් තිබුණත් පසුගිය කාලයේදී එම පරීක්ෂණ කටයුතුවලට පණ ලැබි තිබුණේය.

එය කොතරම් ඉදිරියට ගියේද යත් හිටපු ජනාධිපතිවරයාගෙන් කට උත්තරයක් ගන්නා තැනට තෙක් එය ඇදී ගොස් තිබුණේය.

මහින්දගෙන් එම කට උත්තරය ගෙන තිබුණේ කරු ජයසූරිය දෙතුන් මසකට ඉහතදී මෙම පැහැර ගැනීම ගැන දුන් සාක්ෂිය අනුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කට උත්තර ලබාගැනීමෙන් පසුව එතැනට පැමිණ සිටි රූපවාහිනී වාර්තාකරුවෝ මහින්දගෙන් ඒ ගැන විමසීමට නිවස අසලට ගියහ.

මහින්ද නිවසේ පඩියක් මත සිටගෙන මාධ්‍යවේදීන්ට කතා කිරීමට සූදානම් විය.

එහෙත් එතැනට පැමිණ සිටි දේශපාලඥයෝ කිහිපදෙනෙක් මහින්ද වටකරගත්හ.

අපි එළියට යමු මහින්දගේ පෞද්ගලික ‍ලේකම් උදිත් ලොකුබණ්ඩාර කීවේය.

එවිට මහින්ද වටකරගත් පිරිස තවත් වැඩිවිය.

ඒ නිසා මහින්ද පැත්තකට තල්ලුවිය.

ඒ සමග මහින්දගේ මුහුණ අඳුරුවී ගියේය.

“මාව උස්සගෙන ආවනේ මෙහේට. මහ මෝඩ යකෙක් මූ” යැයි මහින්ද කීවේ උදිත් දෙසට අත දිගු කරමිනි.

එවිට උදිත් නිරුත්තර වී මහින්ද අසලට ළංවූවා මිස කිසිවක් කියන්න ගියේ නැත.

“මේ අන්න අරහෙට වෙලා ඉන්නවා” ඔහු තමන් අසලට එනු දුටු මහින්ද කීවේය.

එවිට එතැන රැස්ව සිටි අනෙක් අය ද උදිත්ව පසුපසට තල්ලු කර දමනු දැකගත හැකි විය.

මෙම සිදුවීම ජනමාධ්‍යයන්ගේ ප්‍රචාරය වූයේ නැත.

කෙසේ වෙතත් සිද්ධියේ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබුණේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක සේවය කරන්නෙකු හරහා ය.

එසැණින් එම කෙටි වීඩියෝ පටය වේගයෙන් පැතිරයන්නට විය.

පැය කිහිපයකින් සමාජ ජාල අතර ආන්දෝලනයට තුඩුදුන් එම වීඩියෝව සම්බන්ධයෙන් පසුදින හිටපු ජනාධිපතිවරයාගෙන්  මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කොට සිටියෝ ය.

එහි දී මහින්ද සඳහන් කළේ “නෑ.. කිසිම තරහක් ගියෙ නෑ ඉතින්.. පොඩි අය හදන්න ඕන වැරදි කළාම” යනුවෙනි.

“පුතෙක් වගේනේ පොඩි එකා” යනුවෙන් ද හිටපු ජනාධිපතිවරයා උදිත් ලොකුබණ්ඩාර සම්බන්ධයෙන් සඳහන් කළේ ය.

තවමත් උණුසුම පහව නැති එම වීඩියෝව පහතින්..

Loading...