Loading...

♦ ඊළඟ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක නාමාවලිය තුළ මංගල සමරවීරත් සිටිනවාද?

අනිවාර්යයෙන්ම නැහැ.

♦ මෙවර පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන්න ඔබලා කටයුතු කරනවාද?

ඇත්ත වශයෙන්ම අපි පක්ෂයක් හැටියට ගත්තොත් විශේෂයෙන් අපේ පක්ෂය බිම් මට්ටමේ ක්‍රියාකාරීන් මේ වන විට ඊළඟ පොදු අපේක්ෂකයා අනිවාර්යයෙන්ම එජාපයේ කෙනෙක් විය යුතුයි කියන මතයේ තමයි බහුතරයක්ම ඉන්නෙ.

♦ ඔබේ කැමැත්ත කුමක්ද? අගමැති රනිල් වික්‍රමසිංහද? නැතිනම් පක්ෂයේ වෙනත් සාමාජිකයෙක්ද?

මටත් හිතෙනවා 1994න් පසු අවුරුදු 25කට එජාපයේ ජනාධිපතිවරයෙක් ඉඳලා නෑ. ඒ වගේම එජාපයේ කියලා ආණ්ඩුවක් නොතිබීම තුළින් එජාප පාක්ෂිකයාට විශාල අසාධාරණයක් සිදුවී තිබෙනවා. ඒ කාලය තුළ ඔවුන්ට විවිධ ප්‍රශ්න රාශියක් තිබුණා. ඒ නිසාම ඔවුන් රජය ගැන සිහින මැවීම සාධාරණයි. එජාප ආණ්ඩුවක් තියෙන කොට තමයි චන්ද්‍රිකා මැතිනියත් එක්ක අපි ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවේ.

ඒ වගේම තත්ත්වයක් එදා ශ්‍රී ලනිප පාක්ෂිකයන්ට තිබුණා. විවිධ දේශපාලන පළිගැනීම් වගේ ඒවා. නමුත් දැන් ශ්‍රී ලනිප පාක්ෂිකයෝ අවුරුදු 25ක්ම තමන්ගේ ආණ්ඩු තිබිලත් ඒ අයට තියෙන ප්‍රශ්න දැන් නැති තරම්. ආණ්ඩුවේම ඉඳලා බලය විඳලා ගම්වල අයට වධහිංසා කරලා හිටපු ප්‍රා. සභා මන්ත්‍රිවරු, නායකයෝ වංචා දූෂණ කරලා මාලිගා හදන සංස්කෘතියක් බිහිකළා. නමුත් යූ.එන්.පී පාක්ෂිකයා අද අසරණයි. මාත් හිතනවා යූ.එන්.පී ජනාධිපතිවරයෙක් ලබාගැනීම කාලෝචිතයි කියලා.

♦ ඇයි එජාප ජනාධිපතිවරයෙක් බිහි කරගත නොහැකි වුණේ?

ඔය හේතු කාරණා කියන්න ගියොත් මං හිතන්නෙ නිබන්ධනයක් ලියන්න වෙයි. යථාර්ථය තමයි පත් වුණේ නෑ.

♦ ආණ්ඩුව පොරොන්දු වුණා විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවට. නැවත ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් තියෙනවද?

මම 1994 ඉඳන්ම විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයේ හිටියා. අදත් ඉන්නෙ එතැන. නමුත් 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල ජනාධිපතිතුමා දුන් පොරොන්දුවෙන් 50%ක්ම ඉටුකරලා ඉවරයි. ඒ 19 වන සංශෝධනය හරහා එතුමාගේ බලතල රාශියක් ඉවත් කර ගත්තා. ඊළඟ ජනාධිපතිවරණයෙන් පස්සේ මේ කියන ජනපති හා අගමැති බලතල බොහෝදුරට සමාන වෙනවා.

♦ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට ඔබ එකඟයි ඒ කියන්නෙ?

මම ඒකට 100%ක් පක්ෂයි. හැබැයි ප්‍රායෝගික කෙනෙක් හැටියට මං හිතන්නෙ දැන් ඕන තරම් හේතු තියෙනවා. මං නිදහසට කරුණු කියන්නෙ නෑ. ඒත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ජනමත විචාරණයකට යා යුතු කාලය පැනල දැන්. ඊළඟ ජනාධිපතිවරණයට මාස 15ක් වගේ කාලයක් තියාගෙන මේක කළොත් තවත් අවුලකට තුඩු දෙනවා. ඒ නිසා දැනට අපි ජනාධිපති ඡන්දෙකට ගිහින් ඊළඟ ජනාධිපතිවරණයේදී ඉතිරි ටිකත් කරයි කියලා මං ප්‍රාර්ථනා කරනවා.

♦ ගියවර පොදු අපේක්ෂකයා වෙනුවෙන් ඔබත් සෘජු දායකත්වයක් දුන්නා. අද වෙද්දී සෑහීමකට පත් විය හැකිද?

ඔව්. පොදු අපේක්ෂකයකු පත්කර ගැනීම වෙනුවෙන් මමයි චන්ද්‍රිකා මැතිනියයි 2013දී අපි ඉතාලියේ සිට තුර්කියට යන නැවකදි ඉඳන් කතා කළේ. ඒ වෙලේ ඉඳන් චන්ද්‍රිකා මැතිනියගේ ඔළුවෙ තිබුණෙ මෙත්‍රිපාල සිරිසේන මැතිතුමා ගැන. අවසානයේදී එය යථාර්ථයක් වුණා. මේ ආණ්ඩුව ගේන්න උත්සාහ කළ කාටවත් අමතක කරන්න බෑ එතුමා එය භාර ගත්තෙ පුදුම සහගත අවදානමක් ඇතිව. එතුමාත් දරු පවුලෙත් ජීවිත අවදානම ඇතිව රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමට එකඟ වුණේ. අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමත් ඇත්තටම විශාල පරිත්‍යාගයක් කළා. නැත්නම් ඔය වගේ අපේක්ෂකකමක් දෙන්නෙ නෑ. මම නම් හිතන්නෙ දැන් ඇත්ත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ වාරයයි කියලා.

♦ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදු වුණත් ඉන් කිසිදු ප්‍රගතියක් නැහැ නේද?

දැන් අලුත් ලේකම්වරයෙක් අලුත් ජාතික සංවිධායකවරයෙක්, අලුත් මාධ්‍ය සම්බන්ධීකරණවලදී අකිල, හරින්, නවීන් වගේ තරුණ නායකයෝ ඉදිරිපත් වී සිටිනවා. ඔනරබල් කියලා ගහනොගත්තත් අද විශාල වැඩකොටසක් බිම් මට්ටමින් සිදුවෙනවා.

♦ බලය ලබා නොදීම පිළිබඳ රාජ්‍ය විරෝධී සැලසුමක් හැදුවා කියලා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ඔබ පැමිණිලි කළා. මේවා මේ දේශපාලන රඟපෑම්ද?

පොඩ්ඩක්වත් රඟපෑමක් නෙවේ. මම දැන් බලන් ඉන්නවා ඒ වාර්තාව මට දෙනකම්. පොලිස්පතිවරයාගේ හෝ එහෙම නැත්නම් ආණ්ඩුවේ ඇමැතිවරයෙක් මෙවැනි බරපතළ පැමිණිල්ලක් සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් නොකිරීම ගැන පුදුම වෙන්න ඕනෑ. තව මාස කිහිපයක් බලලා ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන්න සූදානම්.

♦ ඒ වගේම රාජපක්ෂවරුන් අයථා ලෙස ඩොලර් බිලියන ගණන් විදෙස් ගිණුම්වල රඳවාගෙන කියලා ඔබ අවස්ථා කිහිපයක ප්‍රකාශ කළා. ඇයි මේවා ඔප්පු නොකරන්නෙ?

දැනට ඔප්පු කරමින් තියෙනවනේ. මම තවමත් කියනවා රාජපක්ෂලා ඩොලර් බිලියන ගණන් රඳවාගෙන ඉන්නවා කියලා. රාජපක්ෂලාට විරුද්ධව මේ වන විට නඩු කීයක් තියෙනවාද? නාමල් රාජපක්ෂට නඩු කීයත් තියෙනවද?. බැසිල් රාජපක්ෂට නඩු කීයක් තියෙනවද? ගෝඨාභය රාජපක්ෂ අන්තිමට යුද්දෙනුත් ගසා කෑවා කියලා ඔප්පු වෙමින් තියෙනවා. මේ ඔක්කොම ඔප්පු වෙයි.

♦ නමුත් තම තමන්ට අවශ්‍ය පරිදි නඩු කල් දමනවා කියන චෝදනාව ඔබේ ආණ්ඩුවට සෘජුවම එල්ල වී තිබෙනවා?

නෑ. මින් පෙන්නුම් කරන්නෙ මේ රටේ නීතියේ ආධිපත්‍යයට අපි ඇඟිලි ගහන්නෙ නෑ කියලා. අපිත් කැමැතියි රාජපක්ෂලාගේ නඩු ඉක්මනින් අහලා ඉවර කරනවට. මගේ කුරුඳු පොලු නඩුව අවුරුදු 5ක් ගිහිල්ලත් තවම අහනවා. මමත් තවම කැබිනට් අමාත්‍යවරයෙක් විදියට මාස 3කට සැරයක් ගිහිල්ලා කූඩුවේ නඟිනවා. අපි බලය පාවිච්චි කරලා අපිව බේරගෙනත් නෑ. කවුරුත් බේරන්න උත්සාහ කරලත් නෑ. ඒ නිසා තමයි අන්තිමට තලතා අතුකෝරල අපි ළඟට ඇවිල්ලා විශේෂ උසාවි දාන්න කියලා සල්ලි ටිකත් ඉල්ලුවේ. දැන් එක උසාවියක් ආරම්භ කර තිබෙනවා. දැන් බලන්න ඊජිප්තුව වගේ රටවල තවමත් අවුරුදු 12ක් ගියත් ඒ අය හංගපු සල්ලි හොයාගෙන නෑ. ලේසිත් නෑ. බලන්න මේ අයට පවරල තියෙන නඩුවල වටිනාකමම කොච්චරද කියලා. ඩොලර් මිලියන ගණන්.

♦ ඔබ කියපු ඔය පැමිණිලි රාශියෙන් එකකට හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි ප්‍රමාදය තියෙන්නෙ කොතැනද එහෙනම්?

ඒ ප්‍රමාදය තියෙන්නෙ සමහරු කියන විදියට රජය රාජපක්ෂලා එක්ක ඩීල් ගහලා කියන එක නිසාවත් වෙන හේතුවක් නිසාවත් නෙවෙයි. ප්‍රමාදය තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ තුළ. ඒ වගේම පරීක්ෂණවලදී පොඩි දේකට රටවල් 7කට පමණ යන්න වෙලා තිබෙනවා. එහිදී රටවල් එක්ක එම ගිවිසුම් අස්සන් කරන්න වී තිබෙනවා. මේ ඔක්කොම එක්ක ප්‍රමාද තියෙනවා. අනෙක් පැත්තෙන් අපිට රටේ සියලු නීති කටයුතු නවත්තලා රාජපක්ෂලා පස්සෙ විතරක් යන්න තරම් වෛරයකුත් නෑ. මේක අපි නීතියට භාරදී බලා සිටිනවා.

♦ මාධ්‍ය නිදහස සම්බන්ධව ඔබ මොන තරම් ඉහළ කතා කිව්වත් අදත් මාධ්‍ය වාරණය එලෙසින්ම තිබෙනවා නේද? උදාහරණයක් ලෙස TNL නාළිකාවට සම්බන්ධ සිදුවීමට ප්‍රබල චෝදනාවක් රජයට එල්ල වුණා?

එතැන සුළු වරදවා වටහා ගැනීමක් ඇත්තෙ. ඒක මාධ්‍ය වාරණයක් නෙවේ. අද TNL රූපවාහිනිය හා TNL රේඩියෝව ඒ වැඩකටයුතු කරගෙන යනවා.

♦ එජාප මැති ඇමැතිවරුන් මාධ්‍ය හමුවලදී මාධ්‍යවේදීන්ට ප්‍රශ්න දෙකකට වඩා විමසීමට ඉඩ දෙන්නෙ නෑ කියලා ඇතැම් මාධ්‍යවේදීන්ගෙන් චෝදනාවක් එල්ල වෙනවා. ඒක වැරදියි නේද ඇමැතිතුමා?

වැරැදියි. අනෙක් පැත්තෙන් සමහර වෙලාවට නොකැඩී වැල වගේ සමහරු අහගෙන අහගෙන යනකොට කොහෙ හරි වෙලාවක නවත්වන්නත් සිදු වෙනවා.

♦ ඔබත් එවැනි වාරණයක් පනවනවද?

මම නම් පුළුවන් තරම් ඒකට උත්තර දෙනවා. නමුත් ඇත්තටම ප්‍රශ්න දෙකකට සීමා කිරීමත් ප්‍රශ්නයක් නෙවේ.

♦ අද ආණ්ඩුවට එල්ල වී තිබෙන බරපතළම චෝදනාව ආර්ථිකය කඩාවැටීමය. මුදල් අමාත්‍යවරයා ලෙස ඊට ඔබ සෘජුවම වගකිව යුතුයි කියා මා කියනවා?

අනිවාර්යයෙන්ම, නමුත් ආර්ථිකය පොඩ්ඩක්වත් කඩා වැටිලා නෑ. මේ වසරේ තමයි 1950 ගණන්වලින් පසු අපේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පෙන්වන්න ඒ කියන්නෙ අපේ ආදායමයි වියදමයි අතර අතිරික්තය. අපි ඒ අතිරික්තය තවත් වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන දශම 9කට විතර තිබුණා. ඒක හොඳ තත්ත්වයක්. රටේ ආර්ථිකය කියන තැන දැනගන්නට නම් මුල් තැනට යා යුතුයි. 2015 අපිට ලැබුණෙ ආර්ථික වශයෙන් සම්පූර්ණයෙන්ම කඩා වැටුණු මහා අවුල් ජාලාවක්. ජාත්‍යන්තර ප්‍රශ්න නිසා GSP+ අහිමිව තිබුණා. යුරෝපයට ටූනා මාළු යවාගන්න තහනමක් තිබුණා. අනෙක් පැත්තෙන් මහා ණය කන්දකට කර ගැහුවා.

මීතොටමුල්ල කුණු කන්ද වගේ නිදහස් ලංකාවේ වැඩිම ණය පොලී ගෙවන්නෙ 2008 ට්‍රිලියන 1.9ක්. අපේ ආදායම මුළු ආදායමම ටි්‍රලියන 2.5යි. අපට ඉතුරුවෙන්නෙ දශම 6ක් විතර. සමහර වෙලාවට අපි තවත් ණය ටිකක් අරගෙන කොහොම හරි රට ස්ථාවර තත්ත්වයකට ආවා කියන එක අද අපි විතරක් නෙවේ ලෝක බැංකුව පවා කියනවා. සංවර්ධන වේගයත් පසුගිය වසරේ 3.1 දක්වා පහළ වුණා.

♦ ආණ්ඩුවේ නොහැකියාවද මේ පෙන්නුම් කළේ?

ඒක කාගෙවත් බැරිකමවත්, නොහැකියාවවත් නෙවේ. සොබාදහම දරුණු ගංවතුරකට මුහුණ දීමෙන් ආර්ථිකයට බලපෑවා. එහෙම තියෙද්දීත් ලංකාවේ වැඩිම අපනයනය සිද්ධ වුණේ ගිය අවුරුද්දෙ. තිබුණ කඩා වැටුණ ආර්ථිකය අපි ශක්තිමත් කරලා තියෙනවා. තවමත් මං කියන්නෙ නෑ මේක 100%ක් හොඳයි කියලා. නමුත් තිබුණට වඩා 75%ක් අපි උඩට ඇවිත් තියෙනවා. ජනතාව සතුටු විය යුතුයි. GSP+ සහනය ලැබුණා. ධීවරයාට සහන ලැබුණා. රජයේ සේවකයාට විශාල වැටුප් වැඩි වුණා.

♦ නමුත් මේ ආණ්ඩුව තුළ දී පමණක් ජීවන වියදම රුපියල් 56,49කින් ඉහළ ගොස් තිබෙනවා?

ජීවන වියදම වැඩියි වැඩියි කියලා මන්තරයක් වගේ කිව්වත් තවමත් පෙට්රල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර මිල මහින්ද රාජපක්ෂ ඉන්න කාලෙට වඩා අඩුයි. ඕනෑම වෙලාවක බඩු මිල අඩු වැඩි වුණා. ගෑස් මිල අඩු කිරීමෙන් පමණක් එක පවුලකට රුපියල් දෙදාහක් තුන්දාහක් ඉතිරි වුණා.

♦ රටේ ණය කන්දෙන් බේරෙන්න කියලා රාජ්‍ය සම්පත් පැවරීම, විකිණීම ඔබ අනුමත කරනවද?

ණය කන්ද කියා කියන එකත් එක හේතුවක් වෙන්න පුළුවන්. නමුත් මේ විකිණීමක් නෙවේ. ආර්ථික දර්ශනය තුළ හැම රටක්ම අද දියුණු වෙද්දී ඉස්සරහට යන්න විවිධ රටවල් ආයෝජන ලබා ගන්න ඕනෑ. විශේෂයෙන්ම ලංකාව වගේ රටවල්. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව කියන්නෙ දුප්පත් රටක් නෙවේ. නමුත් ඕස්ට්‍රේලියාවේ ඩාවින් හාබර් එක චීනෙට දීර්ඝ කාලීන ලීස් එකකට ලබා දුන්නා. ප්‍රංශය, ජර්මනිය පවා එහෙමයි. අපිට මේ තරම් මුදල් ප්‍රශ්න තියෙනකොට මේක විකුණනවා නෙවේ. විදේශ ආයෝජකයන් සම්බන්ධ කරගන්නවා. තිබුණ මහා සුදු අලියා කිසිම නැවක් එන්න බැරිව තිබූ හම්බන්තොට වරාය. චන්ද්‍රිකා මැතිනියයි ඇත්තටම එදා මීට අස්සන් කළේ බංකරින් හාබර් එකට. ඒ තුළින් අපට විශාල වාසියක් කරගන්න තිබුණා. එදා මං කළ ප්‍රකාශයත් එක්ක තමයි ආණ්ඩුවෙන් එළවන්නත් හේතුව වුණේ මං සිංගප්පූරුව පැත්ත ගන්නවා කියලා. කාගේ හරි කොමිස් කුට්ටියකට, කාගෙ හරි වුවමනාවකට අන්තිමට වරායක් හැදුවා. දැන් ඒක ලාභ ලබන ආයතනයක් විතරක් නෙවේ. දකුණෙ තරුණයන් දහස් ගණනකට රැකියා දහස් ගණනක් දෙන්න ලැබෙන්න නියමිතයි. ඒකෙ මොකක්ද වරද? මොනරු ටිකක් පිරිච්ච මත්තල ගුවන්තොටුපොළ දැන් අපි ඉන්දියාව එක්ක කතා කර හවුල් ව්‍යාපාරයක් පටන් ගන්නවා. මේක තමයි අපි රටක් හැටියට යා යුත්තෙ. අපි ළිං ගෙම්බො වගේ ඉඳගෙන අපේ ඉඩම් කියලා බෙදාගෙන හිටියට රට දියුණු වෙන්නෙ නෑ.

♦ ඇයි ආණ්ඩුව දුන්නු පොරොන්දු කඩ කරන්නෙ?

මොනවද කඩකරපු පොරොන්දු.

♦ බයිසිකලයෙන් තෙමි තෙමී යන අයට පුංචි කාර් එකක් ගන්න අවශ්‍ය පසුබිම සලසන්න පොරොන්දු වුණා. නමුත් අද පුංචි කාර් එකටත් බදු පැනෙව්වා?

අපි සාමාන්‍ය ජනතාවගේ රජයක් මාධ්‍යම පාන්තිකයන්ගේ රජයක්, තරුණ තරුණියන්ගේ රජයක් විදියට හදවත මොකක්ද කියලා අපි දන්නවා. ඇත්ත අපි කිව්වා. හැම කෙනකුටම පුංචි කාර් එකක් ලබාගන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී රටක් හදන්න සිහින දැක්කෙ. තවමත් ඒ සිහිනය එහෙමයි.

වාහනේ එන්ජින් ධාරිතාව උඩ බදු ප්‍රතිපත්තියකට අපි ආවා. එකෙන් කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. මොකද එන්ජිමේ ධාරිතාව එහි ගහලම තියෙනවා. කාටවත් හොර කරන්නත් බෑ. රජයට පාඩුවක් වෙන්නෙත් නෑ. CC1000ට අඩු විශේෂයෙන්ම තරුණ තරුණියන්ගේ මධ්‍යම පන්තිය පාවිච්චි කරන වාහන ගිය ජනවාරි වන විට ලක්ෂ 8කින් අඩුවුණා.

එක පැත්තකින් ඒ පොරොන්දුව මිනිස්සු හිතුවටත් වඩා අපි ඉටු කර තිබෙනවා. ඊට පස්සෙ අපි බලනකොට පසුගිය මාස 5 තුළ දී විතරක් ඔය CC 1000 ධාරිතාව සහිත වාහන සුනාමියක් වගේ ආවා. ඒවගේම මේ තරම් වාහන ගන්න අපි විදේශ විනිමය පිටතට දෙන්න වෙනවා.

ගිය අවුරුද්දෙ පළමුවැනි මාස 5ට අපි  ඩොලර් මිලියන 316යි වාහන වෙනුවෙන් පිටරටවලට යැව්වෙ. නමුත් මේ අවුරුද්දේ ජනවාරි සිට මැයි දක්වා මාස 5ට ඩොලර් මිලියන 666 දක්වා වැඩි වෙලා තිබෙනවා. ඉතින් අපේ විදේශ විනිමය ඔය තරම් එළියට යද්දි අනෙක් පැත්තෙන් රුපියලේ ශක්තියට බලපානවා. රුපියල ඇත්ත වශයෙන්ම බාල්දු වෙන්න එක හේතුවක් තමයි ඔය තරම් විදේශ විනිමය පිටරට ගියා නම් සමහර විට ඩොලරය 167 දක්වා යන්නට තිබුණා. එහෙම වුණා නම් වාහනයේ මිල නැවත ඉහළ යනවා අපි වැඩි නොකළත්. අපි අන්තිමට මොකද කළේ බදු ගැහුවා. රුපියල් මිලියන 1.2ක්. නමුත් අදත් කවුරුත් කියන්නෙ නැති දෙයක් රාජපක්ෂ යුගයේ බදු ගැහුවා 1.6ක්. තවමත් ලක්ෂ 4ක් ලාභ ලැබුවා එදාට වඩා.

♦ “ගම්පෙරළිය” ව්‍යාපෘතිය ඔබලාගේ ඡන්ද ගුණ්ඩුවක් හැටියටයි බොහෝ දෙනෙක් හඳුන්වන්නෙ?

කිසිසේත්ම නෑ. ගමේ ආර්ථිකය සවිමත් කරන්න රජය විසින් ගෙන යන වැඩපිළිවෙළක්. අපේ ඉලක්කය මේ වසර තුන ජනතාව ලබාගත් ජයග්‍රහණ 2020 වූ අපේ දැක්ම හරහා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගෙන යෑම. මේ තුළින් කාන්තා ව්‍යවසායකයන් බිහිවීමේ වැඩි ප්‍රවණතාවක් තියෙනවා. ඒ වගේම මේ තුළින් ග්‍රාමීය ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් වර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එහිදී කඩාවැටුණු මංමාවත් විනාශ වූ වැව් අමුණු ප්‍රතිසංස්කරණයට අපේක්ෂා කරනවා. කවුරු මොන ආකාරයෙන් මෙය විවේචනය කළත් මෙය කිසිදු දේශපාලන හෝ ඡන්ද ව්‍යාපෘතියක වැඩසටහනක් නොවෙයි.

♦ එතකොට රටේ විරැකියා ප්‍රශ්නයක් නෑ කියලද ඔබ කියන්නෙ?

නෑ. ඒක බොරුවක්. ඕනෑ තරම් රස්සාවල් පෞද්ගලික අංශයේ තියෙනවා.

♦ ඔබ කිව්වා රාජ්‍ය ආයතනවල රැකියා දීමට පුළුවන්කමක් නෑ කියලා. නමුත් රජයේ රැකියා දේශපාලන පත්වීම් ලෙස ලබාදීම අරලියගහ මන්දිරය තුළත් සිදුවන බව වාර්තා වෙනවා?

අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා හැටියට රටේ තම ජනතාවට පත්වීම් දෙන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. හැබැයි දැන් දෙන පත්වීම් හැම එකක්ම වගේ මුදල් වෙන් කරපු කාඩර් එක තුළයි දෙන්නෙ. නමුත් පසුගිය කාලේ ඇත්ත වශයෙන්ම කාඩර් එකෙන් පිට දහස් ගණනක් අරගෙන. ඉතින් කියනවා දැන් මේ අය ස්ථිර කරන්නලු. පෙන්ෂන් දෙන්නලු. එහෙම දෙන්න ගියොත් මේ රටේ සංස්ථා ආයතන කඩා වැටෙනවා. ඒ නිසයි අපේ මේ මානසිකත්වය වෙනස් කරගෙන කටයුතු කළ යුතුයි. අපි පෞද්ගලික අංශයේ රැකියා ඕනෑ තරම් දෙන්නම්.

♦ සේවක වැටුප් වැඩිකරන්න කියලා විටින් විට දැවැන්ත වැඩ වර්ජන සිදු කරනවා. ඇයි ආණ්ඩුව මේවා ඇඟට නොදැනෙන ගානට ඉන්නෙ?

ඇඟට නොදැනීමක් නෙවේ. අපිට ඇඟට හොඳට දැනෙනවා. නමුත් එක පැත්තකින් අපිට වැඩ වර්ජනවලට බයවෙන්න බෑ. මොකද වැඩ වර්ජනය කියන එක ප්‍රජාතන්ත්‍රවාදී රටක අයිතියක්. ලොකු ලොකු රටවලත් තියෙනවා. වැඩ වර්ජනවලදී ජනතාව අයථා ලෙස අපහසුවට පත් කිරීම ගැන මමත් කියනවා. මීට වඩා තදින් කටයුතු කළ යුතුයි කියලා. බලන්න අද ට්ර්ර්ණී කියන සංගමය සම්පූර්ණ දේශපාලන බළල් අතක් බවට පත්වෙලා. ඒ අය කවදාවත් අපේ රෝහල්වල තියන තත්ත්වය දියුණු කරන්න කියලා වර්ජන කරන්නෙ නෑ. මේ තමන්ගෙ දරුවන්ට සුපිරි පාසල් ගන්න, තව මොනව හරි දීමනා වැඩිකරගන්න ඉතාමත් දේශපාලන බළල් අතක් හැටියට ඔය “පාපදෙණිය” හඳුන්වන්නෙ. රටේ පාපයට උපන්න අය. ජාතියට හෙණ ගැහුවත් කමක් නෑ කියලා වැඩ කරන්නෙ. නමුත් සියලු ‍ෙදාස්තරලා නෙවේ නමුත් මේ අය කරන්නේ දේශපාලන ක්‍රියාවලියක්. මම කියනවා කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට මීට වඩා සෘජුව රජය කටයුතු කළ යුතුයි කියා.

♦ මිල සූත්‍රයක් තියලා ඉන්ධන මිල වැඩි කර නැවත පහළ දමා නැවත ඉහළ දානවා. ඔබලා සම්මුතිවාදී ආණ්ඩුවක් කරනවා වෙනුවට තනි තනි තීන්දු ගැනීමක් ද මේ වෙන්නෙ?

මේක කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව තමයි අපි ආරම්භ කළේ. මේක ඇත්තටම හොඳයිනේ. දියුණු රටවල පවා ඉන්දියාවෙත් දිනපතා මිල සූත්‍රය වෙනස් වෙනවා. නමුත් අපිට දිනපතා වෙනස් කරන්න හැකියාවක්, තාක්ෂණයත් නෑ. මොකද ඉන්දියාවේ නම් හැමදාම රාත්‍රි 12.00ට රටේම පෙට්රල් ෂෙඩ් මිල ඒ මීටර්වල වෙනස් කරන්න පුළුවන්. ගියවර මිල වෙනස් වූ අවස්ථාවේ සාමාන්‍ය පෙට්රල් ඩීසල් වැඩි වුණේ නෑ. තුන්වැනි ලෝකයේ බනානා ජනරජයක් හැටියට නෙවේ වගකිව යුතු රජයක් ලෙස අප ගෙන ආ යුතුයි. මිල අඩුවෙද්දී කවුරුත් මොකුත් කියන්නෙ නෑ.

♦ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක අවස්ථා කිහිපයකදී ඔබේ අමාත්‍යාංශයට අදාළ චෝදනා කිහිපයක් කළා. විටෙක රටේ බදු ප්‍රතිපත්තියක් නැහැ කිව්වා. විටෙක මහ බැංකුව ගැන බලන්න කෙනෙක් නෑ කිව්වා?

හිටපු ඇමැතිතුමා හිතේ අමාරුවෙන් ඉන්නෙ. ඉතින් හිතේ අමාරුවෙන් කියන ඒවට මං උත්තර දෙන්න ඕනැත් නෑ. නමුත් අපි මහ බැංකුව බලන්නෙ නෑ කියන කතාව මොකක්ද? එය ස්වාධීන ආයතනයක්. රාජපක්ෂ යුගයේදී තමයි මහ බැංකුව අල්ලා ගෙන තමන්ට ඕනෑ ඕනෑ දේවල් කළේ. එහි නිලධාරීන් ස්වාධීන තීන්දු ගත්තත් මා සමඟ දීර්ඝ සාකච්ඡා කරලා කටයුතු කරන්නෙ. බොහොම හොඳ තීන්දු ගන්න ඒ අය මං පොලඹවලා තියෙන්නෙ. උදාහරණ විදියට පසුගියදා අපි දිස්ත්‍රික්ක 12ක තියෙන ක්‍ෂුද්‍ර ණය සමාගම්වලින් ණය අරන් අපහසුවට පත් වූ කාන්තාවන් 75,000කගෙ පොලිය කපලා ණය ගෙවන්න තීරණය කළා. මහ බැංකුව එක්ක. අනෙක් එක ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කියන්නෙ මං හිතන්නෙ ලංකාවේ විතරක් නෙවේ ලෝකේ දියුණුම රටක වුණත් මහ බැංකු අධිපති වෙන්න සුදුසුකම් තියෙන අයෙක්.

මේ නිලධාරීන් කඩාකප්පල්කාරී ලෙස කටයුතු කරනවා නම් මං ඉතාම දැඩි තීන්දු ගන්නවා. එහෙම නැතිව මං මගේ නිලධාරීන්ට මහ බැංකුවේ වේවා මොන ආයතනයක වේවා මම ගොඩක් ආදරෙයි. මං ආර්ථික විශේෂඥයෙක් නෙවේ. මම නිර්මාණ ශිල්පියෙක්. ඒ නිසා මං දන්නවා මේ ආර්ථිකය නිර්මාණය වෙන්නෙ කොහොමද කියලා. ජනපති, අගමැති සමඟ කතා කර මේ ආර්ථිකය අපි නවීන වෙළෙඳපොළ ආර්ථිකය බවට පත්කිරීම වේගවත් කර තියෙනවා. මම අවුරුදු 30ක් ආණ්ඩුවල ඉඳලා තියෙනවා. වගකීමකින් කටයුතු කරන නිලධාරීන් මට හම්බ වුණේ මේ කාලය තුළ. මට නම් ඉන්නෙ උපදේශකයො දෙන්නයි. නමුත් රාජපක්ෂ යුගයේ උපදේශකයෝ 20 – 30 වට කරගෙන හිටපු යුගයකුත් තිබුණා.

♦ මොකක්ද මේ හිටපු මුදල් ඇමැතිට වෙලා තියෙන හිත් රිදීම?

එතුමා මේ ආණ්ඩුව ගන්න විශාල මෙහෙයක් කළා. විශාල වශයෙන් එජාපය තුළ සටනක් කළා. ආණ්ඩුව ගත්තට පස්සෙත් කඩා වැටුණ ආර්ථිකය උස්සන්න ජනතාවට සහන ලබා දෙන්න කටයුතු කළා. ලබා දුන්නු යම් යම් සහන ගැන නම් මට ප්‍රශ්න තියෙනවා. මට නම් හිතෙන්නෙ මං හිටියා නම් ඒ තරම් සහන ලබාදෙන්න නෑ. ඒ තුළින් ආර්ථිකයට තවත් බරක් ආවා. නමුත් එතුමා ඒ හැමදෙයක්ම හොඳ හිතින් කළේ.

♦ ඒ වගේම හිටපු මුදල් ඇමැතිවරයා පසුගියදා සෘජු ප්‍රකාශයක් කළා. ජනාධිපතිටයි, අගමැතිටයි මේ ආර්ථිකය කරගෙන යන්න බැරි නම් සුදුසු පුද්ගලයකුට භාරදෙන්න කියලා. ඒ කියන්නෙ දැන් ඉන්නෙ සුදුස්සා නොවේද?

ඒ නිසාම තමයි සුදුසුම පුද්ගලයාට දීලා තියෙන්නෙ. මම.

♦ නමුත් මීට සති දෙකකට පෙර ඔහු ඒ ප්‍රකාශය කළේ?

එතුමා කවුරු හරි නම් කළා නම් ජනාධිපතිතුමා ඒ ගැන සලකා බලයි.

සංවාදය – අනුරාධා හේරත්

Loading...