පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ සේවයේ නියුතුව සිටි 22 හැවිරිදි පොලිස් නිලධාරිනියක කපා කොටා ඝාතනය කර සිරුරට ගිනි තැබූ  ඇයගේ පෙම්වතා වන තුසිත නන්දන නමැති පුද්ගලයා ලබන 16 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල අතිරේක මහෙස්ත‍්‍රාත් ඒ. ජිනදාස  නියෝග කළා.

මෙසේ ඝාතනයට ලක්‌ වූයේ  බදුල්ල, හාලිඇල, කැටවල පදිංචිව සිටි 22 හැවිරිදි චන්දිමා ප්‍රියදර්ශනී නමැති පොලිස්‌ නිලධාරිනියක්.

චන්දිමා සහ සැකකාර නන්දන නමැත්තා අතර කාලයක පටන් පැවැති ආරවුල් කිහිපයක්‌ මෙම ඝාතනයට හේතුවී ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

මෙම ඝාතනයේ සැකකරු වන තුසිත නන්දන නමැත්තා හාලිඇල ප්‍රදේශයේ ක්‍ෂේත්‍ර නිලධාරියකු ලෙස සේවය කරමින් සිටින අයෙක්.

චන්දිමා සහ සැකකරු කාලයක පටන් පෙම්වතුන් ලෙස ඇසුරු කර ඇති අතර ඔවුන්ගේ විවාහයට දෙපාර්ශ්වයේම වැඩිහිටියන්ගේ ආශිර්වාදයද ලැබී තිබූ බව සඳහන්.

චන්දිමා පොලිස්‌ සේවයට එක්‌වීම පිළිබඳව තුසිත  දැඩි විරෝධය පළකර තිබූ අතර ඔවුන් අතර ආරවුල් හට ගැනීමට එයද ප්‍රධාන හේතුවක්‌ වූ බව අනාවරණය වී තිබෙනවා.

චන්දිමා මීට වසරකට පෙර පොලිස්‌ අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලැබූ අතර වලාන දූෂණ මර්දන ඒකකයට ඇයට මුල්ම පත්වීම ලැබී තිබුණේ මීට මාස තුනකට උඩදීයි.

මාස තුනක කාලයක්‌ එක දිගට දූෂණ මර්දන ඒකකයේ රාජකාරි කළ ඇය මුල්ම නිවාඩුව ලබා හාලිඇල පිහිටි නිවසට පැමිණ සිටිය දී මෙසේ ඝාතනයට ලක්‌ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

චන්දිමාගේ මව ඇය කුඩා කාලයේදීම සැමියාගෙන් වෙන්වී වෙනත් විවාහයක්‌ කරගෙන ඇති අතර ඇය හැදී වැඩී ඇත්තේ තම මිත්තනියගේ සෙවනේදීයි.

ඝාතනයට ලක්‌වන විට චන්දිමා සිය මිත්තනිය හා නැන්දණිය සමඟ හාලිඇල කැටවල නිවසේ පදිංචිව සිටියා.

පෙරේදා (01) දහවල් යාබද ඥති නිවසක දානමය පිංකමක්‌ පැවැති අතර චන්දිමා සහ මිත්තනියද ඊට සහභාගි වී තිබෙනවා.

සිය පෙම්වතාට දිවා ආහාරය සහිත පාර්සලයක්‌ රැගෙන ඇය තනියම නිවසට පැමිණ ඇති අතර පසුව පෙම්වතාට දුරකථන ඇමතුමක්‌ ලබා දී දිවා ආහාරය රැගෙන යෑමට නිවසට පැමිණෙන ලෙස ඇරයුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

නන්දන නමැත්තා හාලිඇල ප්‍රදේශයේ රජයේ නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිට ඇති අතර චන්දිමාගේ ඇරයුම මත ඔහු එදින දහවල් ඇගේ නිවසට පැමිණ ඇති බව පැවසෙනවා.

ඒ අවස්‌ථාව වනවිට චන්දිමා තනිවම නිවසේ සිට ඇති අතර ඔවුන් අතර කිසියම් බහින් බස්‌ වීමක්‌ ඇතිව තිබූ බව විමර්ශන වලින් හෙළිවූ බව පොලීසිය පවසනවා.

නන්දන නමැත්තා සිය පෙම්වතිය වන චන්දිමා ඝාතනය කිරීම සඳහා කල් තියාම පිහියක්‌ හා සිරුරට ගිනි තැබීමට පෙට්‍රල් බෝතලයක්‌ද රැගෙන ආ බව පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති බව සඳහන්.

ඔවුන් දෙදෙනා අතර ඇතිවූ බහින් බස්‌ වීමකින් පසුව චන්දිමාගේ කාමරයේදීම සැකකරු ඇයට පහරදී කපාකොටා ඝාතනය කර පසුව ඇගේ සිරුරට පෙට්‍රල් වත්කර ගිනි තබා පලාගොස්‌ තිබුණා.

මෙම ඝාතනය සැලවීමත් සමඟම ක්‍රියාත්මක වූ හාලිඇල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රියන්ත චන්ද්‍රසේකර ඇතුළු නිලධාරීන් පැය 24 ක්‌ ගතවීමට පෙර ඝාතනයේ සුලමුල අනාවරණය කරගෙන එහි ප්‍රධාන සැකකරුද අත්අඩංගුවට ගනු ලැබුවා.

කොස්තාපල්වරියගේ අවසන් කටයුතු පොලිස් උත්තමාචාර මැද හාලිඇල කැටවල පොදු සුසාන භූමියේදී අද (03) සිදු කෙරුණා

Loading...