Loading...

ඉතාමත්ම සරලව විස්තර කළොත් පෞරුෂය කියන්නෙ අපි හිතන, හැඟීම් ප්‍රකාශ කරන අනෙකුත් අය අවබෝධ කරගන්න, අඳින පළඳින, කන බොන ආකාරය ලෙස හැඳින්වුවහොත් වැරදි නෑ. සමහරවිට ඔබටත් මේ ගැන අත්දැකීම් ඇති. යම්කිසි පුද්ගලයකු දෙස බලා ඔහු හෝ ඇය පිළිබඳ ප්‍රකාශ නිකුත් කරන අවස්ථා එමටයි. ඔහු හෝ ඇය හරිම අහිංසකයි, හරිම ප්‍රියමනාපයි, හරිම ලෙන්ගතුයි, කතා කරනවා දකින්න හරිම ආසයි. හරියට තරහ යනවා. හොස්ස ළඟින් මැස්සා යන්න බෑ. කිසිම හැඟීමක් නෑ. හරිම ආත්මාර්ථකාමීයි. හරිම කුහකයි.

ඔබගේ විවාහය හෝ සහකරු හෝ සහකාරිය හෝ පෙම්වතා හෝ පෙම්වතිය සමඟ පවතින සම්බන්ධතාවය සාර්ථක වීමට හෝ රසවත් වීමට ඔබගේ පෞරුෂය විශාල බලපෑමක් ඇති කරයි. මනෝ විද්‍යාත්මකව මේ දෙස බලන විට පෞරුෂයේ තිබෙන වැදගත් ලක්ෂණ දෙකක් මීට උපකාරී වෙනවා.

1. ඔබගේ සිතුවිලි (Cognition)
2. ඔබගේ හැඟීම් (Emotions)

ජීවිතය සාර්ථකව පවත්වා ගැනීමට ධනාත්මක සමාජශීලී සිතුවිලි වලින් අප මනස පෝෂණය වී තිබිය යුතුයි. මෙයට මනෝ විද්‍යාවෙ කියන්නෙ සමාජ බුද්ධිය (social cognition) කියල. අපි මෙය පුංචි උදාහරණ දෙකක් මගින් බලමු. අපි හිතමු ඔබේ අල්ලපු ගෙදර මනුස්සයා ඔහුගෙ කුණු බෑග් එක ඔබේ තාප්පය ළඟ තිබ්බ කියලා. මෙහිදී ඔබ ක්‍රියා කරන ආකාරය ක්‍රම දෙකකින් බලමු. ඔහු සමඟ ඍජුව රණ්ඩු දබර කර ගැනීම සහ තරහ වීම. අනෙක් ක්‍රමය නම් ඔහු සමඟ බොහොම සුහදව ඔහුගේ වැරැද්ද පෙන්වාදීම. සැබැවින්ම මේ ක්‍රම දෙකෙන් කුමන ක්‍රමය භාවිත කරන්නේද යන්න තීරණය වනුයේ ඔබගේ පෞරුෂය තුළ තිබෙන සිතුවිලි සහ හැඟීම් යන කොටස් දෙක ක්‍රියා කරන ආකාරයටයි.

අපි තවත් මෙවැනි සරල උදාහරණයක් ගනිමු. ඔබගේ බිරිඳ facebook එකේ යම්කිසි පුද්ගලයකු සමඟ කාලයක සිට යම් කතිකාව හෝ පණිවිඩ හුවමාරුවක යෙදෙනවා යැයි ඔබට දැනෙනවා. මෙහිදීද ඔබ ක්‍රියා කරන ආකාරය පහත යම් එක් ක්‍රමයක් විය හැකියි. එනම් ඇය වෙත කඩාපැන පහරදී අපහාස කර දුරකතනය පොළොවේ ගැසීම. අනෙක් ක්‍රමය නම් ඇයට ආදරෙන් ළංවී ඔබ එපාවීමට යම් හේතුවක් ඇත්දැයි සොයාගැනීමට උත්සාහ කිරීමය. මෙහිදීද ඔබ ක්‍රියා කරන ආකාරය තීරණය කරනුයේ ඔබගේ සිතුවිලි (cognition) සහ හැඟීම් (emotions) පාලනය වන ආකාරයටයs.

ඉහත සරල උදාහරණ දෙක අධ්‍යයනය කිරීමේදී අපට පෙනී යන්නේ අපගේ පෞරැෂය තුළ තිබෙන සිතුවිලි සහ හැඟීම් යන සාධක දෙක අප මෙහෙයවන ප්‍රබල සුක්කානමක් වී ඇති බවයි. කෙනකුගේ පෞරුෂය නිර්මාණය වීමට ජානමය මෙන්ම පාරිසරික සාධකද බලපායි. මොන තරම් හොඳ ජාන මව්පියන්ගෙන් ඔබට ලැබුණත්, ඔබේ දරැවා ආදරණීය සහ උත්තේජක පරිසරයක හැදී වැඩීමට අවකාශ නොලැබුණොත් සිතුවිලි සහ හැඟීම් යන පෞරුෂ ලක්ෂණ දෙකට විශාල හානියක් සිදුවේ.

අප සැමදෙනා තුළම පෞරැෂයේ නොයෙකුත් ගැටලු ඇත. නමුත් ඒවා විවාහයට හෝ අපගේ සම්බන්ධතාවලට බලපානුයේ ඒවායේ ඇති තීව්‍රතාවය හෝ එහෙමත් නැත්නම් අඩු වැඩිවීම මතයි. පෞරැෂය සම්බන්ධ මානසික රෝග රාශියක් මනෝ වෛද්‍ය විද්‍යාව තුළ හඳුනාගෙන ඇත. ජීවිතය අසාර්ථක වීමට මෙවැනි රෝගයක්ම ඔබට තිබිය යුතු නැත. යම් පෞරුෂ භින්නතාවයක මෙවැනි රෝග ලක්ෂණ (personality traits) කිහිපයක් තිබීම ප්‍රමාණවත් වේ. මේවා මොනවාදැයි අපි එකින් එක සොයා බලමු.

පහත සඳහන් කතාවලින් එක එක පුද්ගලයන්ගේ පෞරුෂයේ ඇති නොයෙකුත් ගැටලු (personality problems) ජීවිතයට බලපාන හැටි විමසා බලමු.

♥ සුගත් සහ මීනුගේ කතාව

මීනු පේරාදෙණිය සරසවියේ උපාධිධාරිනියක්. දැන් ඇය මාවතගම ප්‍රදේශයේ ගුරැවරියක ලෙස සේවය කරනවා. සරසවි ජීවිතයේදී ඇයට ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණා. නමුත් එය බිඳවැටුණා. ඉන්පසු මීනු කල්පනා කළේ කිසි දිනෙක එවැනි සම්බන්ධතාවයක් ඇති නොකරගන්නා බවත් යම් දිනෙක ගෙදරින් එන යෝජනාවකට කැමැති වන බවත්ය. මීනු සුගත් විවාහවෙලා දැන් අවුරුදු 4 ක් වෙනවා. මාස 12ක පුතෙකුත් සිටිනවා. මීනු අපට යොමුවූයේ ජීවිතය එපාවී සුගත් කෙරේ ඇති දැඩි කලකිරීමෙන් විවාහයද එපාවී සිටි අවස්ථාවකදීය. මීනු මෙසේ පැවසුවා.

“මට සුගත්ව හොයල දුන්නෙ දෙමව්පියො. ඔහු සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙක්. ඔහු කුරුණෑගල ප්‍රසිද්ධ පවුලක කෙනෙක්. මේ යෝජනාව ආපු දවස්වල මගෙ දෙමාපියන් හුඟාක් ඔහු ගැන හොයල බැලුවා. සුගත්ගෙ ගමේ අය කීවෙ හරිම නිශ්ශබ්ද හොඳට ඉගෙන ගත්ත තරුණයෙක් කියලා”

ඉතින් ඇයි ඔබට ඔහු එපාවුණේ?

“කිසිදු සුමට හෝ ආදරණීය බවක් නැහැ. ඔහු නිතරම දකින්නෙ අනුන්ගෙ වැරදි. දැන් මගෙ දෙමාපියො ගෙදර එන්නෙත් නෑ. නෑදෑයො හිතමිතුරන් හැමදෙනාම ඈත්වෙලා. ඔහුට පේන්නෙ මේ හැම එක්කෙනාම තර්ජනයක් කියලා. ඔහු නිතරම කියන්නෙ කිසි කෙනෙක් ඇසුරු නොකර හුදෙකලාව සිටින එක ඇඟට ගුණයි කියලා. Office එකෙත් ඔහුට හරිම ප්‍රශ්න. ඔහුගෙ යටතෙ හුඟක් සේවකයො සිටිනවා. ඔහු නිතරම ඒ අයගෙ වැරදි හොයන්නෙ. මේ නිසාම මුළු office එකම ඔහුත් එක්ක තරහයි. ඔහුට යාළුවෝ නෑ. හුඟක් ආස හුදෙකලාව ඉන්න. ඔහු අතින් සිදුවන ඕනෑම වරදක් අනුන් පිට පටවන්න තමයි නිතරම බලන්නෙ.

දැන් ඉන්න ගෙදර ඉස්සරහ මම ලස්සනට මල් වවලා තියෙනවා. මේ ළඟදි ඔහුගෙ කාර් එක පිටිපස්සට ගන්නකොට මල් පෝච්චියක් උඩින් ගියා. ඒ වරද ඔහු මගේ පිට තමයි දැම්මෙ. මම මල් වවල තියෙන විදිහ වැරදියි කියලා තමයි ඔහු කීවෙ. ඉතා කුඩා දේකටත් ඔහු දැඩි ලෙස කිපෙනවා. නිතරම අනුන්ගෙ වැරදි කියමින් ඒවා හරිගස්සන්න තමයි මහන්සි වෙන්නෙ”

මෙහි එන සුගත් සැකය නැමති පෞරුෂ භින්නතාවයේ (paranoid personality) සමහර රෝග ලක්ෂණවලින් පෙළෙන බව පෙනෙන්නට තිබේ. එම ලක්ෂණ නම් සෑමදෙනා දෙසම සැකෙන් බැලීම, හැමදෙනාගේම වැරදි දැකීම. සුගත් කල්පනා කරනුයේ තමා වටේ සිටින අය තමාගෙන් කඩා වඩාගැනීමේ අපේක්ෂාවෙන් ඇසුරු කරනවා කියායි. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට පාරිසරික හා ජානමය හේතු දෙකම බලපානවා. සුගත් කුඩා කාලයේදී හැදී වැඩී ඇත්තේ තම මව්පියන්ගේ දැඩි පාලනය යටතේය. සුගත්ගේ පියා සැර පරැෂ ගතිපැවතුම් ඇති පුද්ගලයෙක් බව සුගත් නිතරම කීවේය. මින් පෙනී යන්නේ සුගත් කුඩා කල දෙමාපියන් යටතේ යම් ආකාරයක මානසික අපයෝජනයකට පත්වී ඇති බවයි.

♥ නයෝමි සහ නුවන්ගේ කතාව

නයෝමි සහ නුවන් විවාහ වී අවුරුදු 5 ක් වෙනවා. නුවන්ට නයෝමිව හමුවුණේ තම මිතුරකුගේ ප්‍රිය සම්භාෂණයකදීය. වසරක පමණ ප්‍රේම සම්බන්ධතාවයකින් පසුව දෙදෙනා විවාහ වී ඇත. නුවන්ට දැන් නයෝමි සමඟ ගත කරන ජීවිතය හොඳටම හෙම්බත් වී ඇත. කළ යුත්තේ කුමක්දැයි නොදැන ලෝක දෙකක අතරමං වී සිටින නුවන් අප වෙත ආවේ නයෝමිද සමඟය. නුවන් ඔහුගේ කතාව මෙසේ පැවසුවා.

“නයෝමි මගෙ බිරිඳ. මෙයත් එක්ක ජීවත් වෙන්න හරිම අමාරුයි. පුංචි දෙයක් දිහා බලන්නෙත් හරිම අවිශ්වාසෙන්. තරහ ගියාම පාලනය කරගන්න බෑ. බිත්තියේ ඔළුව ගහගන්නවා. එහෙමත් නැත්නම් අත කපාගන්නවා. දැන් ඇය පාවිච්චි කරන්නෙ හතරවැනි ඇපල් phone එක. iPhone 3ක්ම පොළොවෙ ගැහැව්වා. දෙසරයක්ම ජීවිතේ නැතිකරගන්න උත්සාහ කළා.

ඇයට දැන් කිසිම යාළුවෙක් නෑ. මගෙ දෙමව්පියො එක්කත් දැන් තරහවෙලා. ඕනැම කෙනෙක්ට වේගයෙන් ළංවෙනවා. ඉක්මනින් යාළුවෙනවා. යාළු වුණාම වියරුවෙන් මෙන් ඔහුට හෝ ඇයට ළංවෙනවා. හැබැයි පුංචි සිදුවීමක් ඇති ඔහු හෝ ඇය එපාවෙන්න. මගෙ දෙමව්පියො එක්ක තරහ වුණු හැටි බලන්න. දවසක් ඒ දෙන්නට කෑමකට එන්න කීවා. ඉතින් නයෝමි හරිම සතුටින් උද්‍යෝගයෙන් ඒකට ලෑස්ති වුණා. කොහොම හරි එදා මගෙ තාත්තට වෙන වැඩක් යෙදිලා ඔවුන්ට එන්න බැරිවුණා. නයෝමිට මේකට කොච්චර තරහ ගියාද කියනව නම් මුළු කෑම මේසයම පොළොවෙ ගැහැව්වා. මගෙ අම්මට call කරල කීවා තවත් මේ පැත්ත පළාතෙ එන්න එපා කියලා.

නයෝමිගෙ චරිතය තුළ මෙවැනි දේවල් මම යාළුවෙලා ඉන්න කාලෙත් දැක්කා. ඒත් මම හිතුවෙ මේවා බැන්දට පස්සෙ හරියයි කියලා. මට නම් දැන් ජීවිතේ තිත්තවෙලා. මොනවා කරන්නද කියල හිතාගන්න බෑ”

මෙහි එන නයෝමි ගොදුරු වී ඇත්තේ “බෝඩර්ලයින්” නම් පෞරැෂ භින්නතාවයටයි. (Borderline personality) පිරිමින්ට වඩා කාන්තාවන් මීට ගොදුරැ වේ. 2% ක් පමණ ප්‍රජාව තුළ සිටී. කුඩා කාලයේදී දරුවකු ලිංගික අපයෝජනය, ශාරීරික අපයෝජනය වැනි තත්ත්වයන්ට ගොදුරුවීම මීට එක් හේතුවකි. නයෝමිගෙ කුඩා කාලය පිරික්සීමේදී ඇයගේ වයස අවුරුදු 10 සහ 12 කාලය තුළ තම පවුලේ ළඟම ඥාතියකුගෙන් ලිංගික අඩත්තේට්ටම්වලට භාජනය වී ඇත. ඇය මේ කරුණු අපට රහසිගතව පැවසුවාය. මෙම පෞරුෂ භින්නතාවයේ ලක්ෂණ වනුයේ හැඟීම් පාලනයට ඇති අපහසුව, කෙනකුට වේගයෙන් ළංවීම සහ අතහැර දැමීම, ජීවිතය නැතිකර ගැනීමට උත්සාහ කිරීම, තදබල ලෙස කෝපයට පත්වීම, තමාට දැනෙන අසාමාන්‍ය පාළුව හෝ හිස් බව, තමා කෙරේ අභිමානයක් නොමැති වීම, අත කපාගැනීම හෝ ශරීරයට හානිකර ගැනීම, තමාට ආදරය කරන අය තමා අතහැර දමාවි යැයි යන භීතියයි.

දෙදෙනකු අතර යහපත් නිරෝගී සාර්ථක සහ රසවත් සම්බන්ධතාවයක් ගොඩනැගීමට ඔහු හෝ ඇයගේ පෞරුෂය ඉතාම වැදගත් සාධකයකි. ජීවිතයේ සාර්ථකත්වය තීරණය වනුයේ ඔබට හිමි එම පෞරැෂය මගින් නිර්මාණය කරන සිතුවිලි හා හැඟීම්^ අනුවය. ඔබගේ පෞරැෂයේ කොටසක් ජානවලින් හිමිවන අතර අනෙක් කොටස පරිසරය මගින් නිර්මාණය කරයි. කුඩා කල සිට ඔබගේ දරැවා මානසිකව හෝ ශාරීරිකව අපයෝජනයට පත් නොකර හදාවඩාගැනීම මෙවැනි තත්ත්වයන් වළකාගැනීමට ඇති හොඳම රහසයි.

කිරිබත්ගොඩ මූලික රෝහලේ
මනෝවෛද්‍ය නයනානන්ද කුමාරනායක

Loading...