කොළඹ වරායේ කන්ටේනරයක් තුළ තිබී අධි සාන්ද්‍රණයෙන් යුත් ට්‍රැමඩෝල් පෙති තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අද අලූයම සොයාගනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර  කියා සිටියේ ට්‍රැමඩෝල් පෙති එක්කෝටි පනස් ලක්ෂ පන්දහස් එකසිය හැත්තෑවක් මෙලෙස සොයාගත් බවයි.

ඉන්දියාවේ සිට කොළඹ වරාය හරහා ලිබියාවට රැගෙන යාමට මෙම පෙති තොගය සූදානම් කර තිබූ අතර, එය පෙට්ටි 585 ක අසුරා තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර මෙම ට්‍රැමඩෝල් පෙති මාරාන්තික ප්‍රතිඵල අත්කර දෙන්නක් බව වෛද්‍යවරු පවසනවා.

ඇබ්බැහි වීම සහ ප්‍රතිඵල අනුව මෙය හොරොයින්වලට සමාන බවත්, මේවා අයත්වන්නේ හෙරොයින් අයත්වන කාණ්ඩයටම බවත් ඔවුන් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් ට්‍රැමඩෝල්වල වේදනා නාශක ගුණයක් පවතින බැවින් අනෙකුත් වේදනා නාශක ප්‍රතිඵල නොදෙන පිලිකා වැනි රෝගී තත්ත්ව වල දී මෙය සුළු මාත්‍රාවකින් රෝගීන් වෙත ලබා දෙන බවත්, එසේ ලබා දෙන්නේ ද වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණයක දී පමණක් බවත් සෞඛ්‍ය අංශ පවසනවා.

එමෙන්ම එලෙස සුළු මාත්‍රයකින් පවා රෝගීන් වෙත දිගුකාලීනව ට්‍රැමඩෝල් ලබා නොදෙන බව යි වැඩිදුරටත් පැවසෙන්නේ.

එවන් පසුබිමක් තුළ අද හමුවූ වර්ගයේ අධි මාත්‍රයික ට්‍රැමඩෝල් පෙති කිසියම් අයෙකු පරිහරණය කළ හොත් දින කිහිපයක් ඇතුළත මරණය සිදුවීම අනිවාර්යය බව සඳහන්.

මත්ද්‍රව්‍යවලට ආදේශක ලෙස මත් ලෝලීන් මෙවන් වේදනා නාශක භාවිත කරන බවත් වෛද්‍ය අනුමැතියකින් තොරව කිසිදු ඖෂධයක් පරිහරණය කිරීම වැලැක්වීමේ නීති දැඩි කිරීම මගින් මෙවන් දෑ සංසරණය වීම වැළැක්විය හැකි බවත් වෛද්‍යවරු පෙන්වා දෙනවා.

Loading...