ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරිඩා නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක විනෝද කී‍්‍රඩා සැණකෙළියක් පැවැත්විණි. ඒ පසුගිය සතියේය. ඬේවිට් කාට්න් තම මිතුරන් කිහිපදෙනකු සමඟ එයට සහභාගි විය. තරග කිහිපයකට ඬේවිට් සහභාගි විය. ඒ සියලූ තරගවලින් ඔහු පරාජයට පත් වූවේය. එම නිසා ඔහු සිටියේ අධික කෝපයකින් සහ සිත්තැවුලකිනි.

තරගවලින් ජය ගත්තෝ සතුට භූක්ති විඳිද්දී ඬේවිට් එය දරාගත නොහැකි විය. මෙලෙස පරාජයට පත් වනවාට වඩා ජීවිතය අහිමිකර ගැනීම සුදුසු යැයි ඔහුට සිතුණි. එහෙත් තමා මියයෑමට පෙර ජයග‍්‍රාහකයන්ගෙන් පළිගත යුතු යැයි ඔහු තීරණය කළේය.

ඬේවිට් වටපිට බැලූවේය. ආරක්ෂක නිලධාරීන් කිසිවෙකුත් ආසන්නයේ නොසිටියේය. ළඟ තිබූ ගිනිඅවිය එළියට ගත් ඔහු තමා ඉදිරියේ සිටි ජයග‍්‍රාහකයන් කිහිප දෙනකුට වෙඩි තැබුවේ පිස්සකු මෙන්ය. ඒ සමගම විනෝද කී‍්‍රඩා සැණකෙළියේ සිටි පිරිස විලාප තබමින් හිස්ලූ ලූ අත දිව්වේ තම ජීවිත බේරා ගැනීම සඳහාය. විනාඩි දෙක තුනක කාල පරාසයක් තුළ ඬේවිට් වෙඩි තබා තිදෙනකු ඝාතනය කර එකොළොස් දෙනෙකුට තුවාල සිදු කර තිබිණි.

කී‍්‍රඩා විනෝද සැණකෙළියේ වෙඩි තැබීම සැලවීමත් සමග ආරක්ෂක අංශ එම ස්ථානයට පැමිණියහ. එහෙත් ඔවුන්ට කිසි දෙයක් කළ නොහැකි වූහ. ඒ වනවිට ඬේවිට් කාට්න් ද තමාටම වෙඩි තබා ගෙන තිබිණි. වීඩියෝ කී‍්‍රඩාවලට තදින් ඇබ්බැහි වී සිටි ඬේවිට් අවසානයේ මිනිස් ජීවිත තුනක් බිලිගෙන තවත් එකොළොස් දෙනෙකුට මරණීය තුවාල සිදු කරමින් තම ජීවිතයද නැති කර ගත්තේ එලෙසින්ය.

එරට ආරක්ෂක අංශ පැවසුවේ ෆ්ලෝරිඩාවේ පමණක් නොව ඇමරිකා එක්සත් ජනපදය තුළ විටින් විට මෙවැනි සිද්ධීන් සිදුවන බවයි. ඇමරිකාවේ පමණක් නොව බොහෝ බටහිර රටවල්වලින් මෙවැනි සිද්ධීන් වාර්තා වේ. දැන් එය ශී‍්‍ර ලංකාව තුළද ව්‍යාප්ත වී තිබේ. එයට හොඳට උදාහරණය වනුයේ පසුගිය දිනක මොරටුව ප‍්‍රදේශයෙන් වාර්තා වූ මෙම සිද්ධියයි. සිද්ධිය සැකවින් මෙසේය.

ජනිත මොරටුව ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. තවමත් පාසල් අධ්‍යාපනය ලබන මොහු පරිගණක කී‍්‍රඩා සඳහා ඇබ්බැහි වූවෙකි. දිනක් ඔහු අන්තර්ජාලය තුළ අලූත් වීඩියෝ කී‍්‍රඩා තරගයක් තිබෙනු දුටුවේය. එය සෙල්ලම් කළ හැක්කේ අන්තර්ජාලය තුළ සිටින තවත් එක් පුද්ගලයකු සමගය. කොළඹ ප‍්‍රදේශයේ පදිංචි රසාංග ද වීඩියෝ කී‍්‍රඩා සඳහා තදින්ම ඇබ්බැහි වූවෙකි. ඔහු තවමත් සිටින්නේ පාසල් යන වයසේය. ඔහුද අන්තර්ජාලය තුළ තිබෙන අලූත්ම වීඩියෝ කී‍්‍රඩාව දුටුවේය. රසාංගට ඒක සෙල්ලම් කිරීමේ තද ආශාවක් ඇති වුණි.

අන්තර්ජාලය තුළ එම කී‍්‍රඩාවේ නියැළෙන පුද්ගලයන්ව ඔහු සොයා බැලූවේය. ජනිත රසාංගගේ මිතුරකු වන්නේ ඒ හරහාය. දෙදෙනා ලද සෑම අවස්ථාවකම අන්තර්ජාලය හරහා එම කී‍්‍රඩාවේ නියැළුණේය. ඒ සෑම අවස්ථාවකම ජයග‍්‍රහණය කළේ ජනිතයි.

අවස්ථා කිහිපයකදීම ජනිතව පරාජය කිරීමට රසාංග උත්සාහ කළේය. එහෙත් එය සාර්ථක නොවීය. සෑම මොහොතකම ජයග‍්‍රහකයා වූයේ ජනිතයි. රසාංග ෆ්ලෝරිඩාහි සඳහන් කළ ඬේවිට් කාට්න්ට සමාන චරිතයක් විය. පරාජය ඔහුට දරා ගැනීමට නොහැකි විය. එම නිසා රසාංග සිටියේ ජනිත කෙරෙහි බද්ධ වෛරයකිනි.

ජනිතව කිසි දිනක පරාජය කළ නොහැකි බව රසාංග දැන ගත්තේය. එම නිසා ඔහුට මතක සිටින පාඩමක් ඉගැන්විය යුතු යැයි ඔහු තීරණය කළේය. දින කිිහිපයක් ඔහු ඒ පිළිබඳව කල්පනා කළේය. එහෙත් කිසිදු අදහසක් ඔහුගේ සිත තුළට නො ආවේය. අවසානයේ රසාංග මේ පිළිබඳව තම හොඳම මිතුරන් කිහිප දෙනකුට පැවසුවේය. ඒ මෙලෙසින්ය.

‘‘මචං උඹලාගෙන් මට පොඩි අයිඩියා එකක් ගන්න තියෙනවා.’’

‘‘ඒ මොකක්ද බං. ගෑනු ළමයෙක් ගැනද?’’

‘‘මොන ගෑනු ළමයි ද බං. උඹලා දන්නවනේ මම කැමැති වීඩියෝ ගෙම්වලට විතරයි කියලා.’’

‘‘ ඒක නම් ඇත්ත. උඹ කවදා හරි මැරිලා යන්නෙත් ඔය ගේම් එක්කම තමයි.’’

‘‘එක නොවෙයි මොකක්ද උඹට වෙන්න ඕන අපෙන්’’

තවකෙක් විමසුවේය.

‘‘ නැහැ මං මේකයි ඇත්ත කතාව. මම මොරටුවේ එකෙක් එක්ක ඔන් ලයින් ගේම් එකක් ප්ලේ කරනවා. ඒත් හැමදාම මම පරාදයි. මට ඌට පාඩමක් උගන්වන්න ඕන.’’

‘‘උඹට පිස්සුද බං. ඌට පාඩමක් උගන්වන්න නම් කොහොම හරි ගේම් එක දිනපන්.’’

‘‘මම ඒකට මාස ගණනක් උත්සාහ කළා. එහෙත් හරි ගියේ නැහැ. බැරිම තැන තමයි උඹලගෙන් උදවු ඉල්ලන්නේ’’

‘‘ ඉතින් අපිට උඹ තරම්වත් ඔය ගේම් ප්ලේ කරන්න බැහැනේ.’’

‘‘ගේම් එකෙන් නොවෙයි අතින් පයින් පාඩමක් උගන්වන්න ඕන.’’

‘‘යකෝ ඕවා පොලිසි යන වැඩනේ.’’

කලණ බියෙන් යුතුව පැවසුවේය.

‘‘ ඒ කියන්නේ උඹලා මට උදවු කරන්නේ නැහැ කියලනේ.’’

‘‘ කලණ කියපු ඒවා ගණන් ගන්න එපා. ඌ ඒ වාගේ වැඩවලට කැමැති නැහැනේ. අපි ඉන්නවා උඹත් එක්ක. මොකක්ද කරන්න ඕනෙ උඹම කියපන්.’’

‘‘මට නම් ඕනේ මූව මඟට ගෙන්න ගෙන දෙකක් තුනක් ඇනලා බය කරලා දාන්න.’’

‘‘ ඒක හරි අපි වැඬේ සෙට් කරමු.’’

ගැටවර වයසේ සිටි රසාංගගේ යහළුවෝ දුරදිග නොබලා තරුණ මදයෙන් එම තීරණයට එකඟ වූහ. රාජගිරියේ යම්කිසි ස්ථානයකට ජනිතව ගෙන්වා පහර දෙන අයුරු ඔවුහු රසාංගට රඟදක්වමින් පෙන්වූහ. දිනය, ස්ථානය, වේලාව සහ පහරදීමට රැගෙන එන ආයුධ ගැනද ඔවුහු කතිකා කර ගත්හ. උපක‍්‍රමශීලීව ජනිතව රාජගිරියට රැගෙන ඒමට රසාංග පොරොන්දු විය.

නියමිත දිනට පෙර දින රසාංග ජනිතට දුරකථන ඇමතුමක් දී මෙලෙස පැවසුවේය.

‘‘මචං මම රසාංග කතා කරන්නේ. හෙට ඔයා මොකද කරන්නේ.’’

‘‘විශේෂ වැඩක් නම් නැහැ. ඇයි රසාංග මොකක්ද? වෙන්න ඕන.’’

‘‘නැහැ නැහැ. අලූත් වීඩියෝ ගේම් එකක් හම්බ වුණා. අපේ රට ඉන්න අයියා කෙනෙක් ගෙනත් දුන්නේ එක ඔයාට දෙන්න.’’

‘‘ ආ එහෙමද මොකක්ද ගේම් එක.’’

‘‘ ඒක එහෙම කියන්න බැහැ. ඔයාට රාජගිරියට එන්න පුළුවන්ද?’’

‘‘අවුලක් නැහැ. මම එන්නම්. කීයටද එන්න ඕන?’’

‘‘ඔයා 10.30 වෙන කොට රාජගිරියට ඇවිත් මට කොල් එකක් දෙන්න.’’

‘‘ ඕකේ. මචං මම එන්නම්’’

පසුදින උදා විය. ජනිත නියමිත වෙලාවට රාජගිරියට පැමිණ රසාංගට දුරකථන ඇමතුමක් ලබා දුන්නේය. රසාංග ඉකුත්දා පැමිණිය යුතු ස්ථානය ඔහුට පැවසුවේය. අලූත් වීඩියෝ ගේම් ගැන සිතමින් ජනිත එම ස්ථානයට ගියේය.

නියමිත ස්ථානයට පැමිණි පසු රසාංග සහ යහළුවො දහදෙනෙක් පමණ ජනිතව වටකර ගත්හ. එක්වරම සිදු වන්නේ කුමක්දැයි ජනිතට සිතා ගැනීමට නොහැකි විය. අන්ද මන්ද වූ ඔහු රසාංගගෙන් මෙලෙස විමසුවේය.

‘‘මචං මොකක්ද මේ වෙන්න යන්නේ.’’

‘‘ වෙන්න යන දේ උඹට දැන් බලාගන්න පුළුවන්. උඹ හිතන්නේ මහා ලොකු චණ්ඩියෙක් කියලද?’’

‘‘ඇයි උඹ එහෙම….. ජනිතට පැවසීමට හැකි වුණේ එපමණයි. රසාංග ඇතුළු පිරිස ජනිතව වටකර ගෙන පහර දුන්හ. ජනිත ට එයින් බේරීමට නොහැකි විය. ඒ අතර පිහි පාරක්ද ජනිතගේ උදරය ප‍්‍රදේශයට එල්ල කළේය. පණ බේරා ගැනීම සඳහා ජනිත කෑගසා උදව් ඉල්ලූවේය. ජනිතගේ කෑගැසීමට තරුණයො කිහිප දෙනෙක් එම ස්ථානයට පැමිණියහ. දුරතියාම රසාංග ඇතුළු පිරිස එය දුටුවෝය. එම නිසා වහාම ඔවුහු එම ස්ථානයෙන් පැන ගත්හ. පැමිණි තරුණයෝ ජනිතව වහාම රෝහල්ගත කිරීමට පියවර ගත්හ. එලෙස එම තරුණයන් නොපැමිණියේ නම් ජනිතට මියයන තුරු පහරදීමට ඉඩ තිබිණි.

වීඩියෝ තරගයකින් පරාජය වීම නිසා රසාංග තම මිතුරාට ප‍්‍රති උත්තර දුන්නේ එලෙසින්ය. වර්තමානයේ මෙරට පාසල් වයසේ සහ ඉන් ඔබ්බට ගිය තරුණයෝ බොහොමයක් මෙම වීඩියෝ තරග සෙල්ලම් කරති. එම නිසා දෙමාපියන් ඔවුන් ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. එසේ නොවුණහොත් වන්නේ රසාංගගෙන් ඔබ්බට ගිය ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරිඩාවල ඬේවිට් කාට්න් වැනි දරුණු ගණයේ පුද්ගලයන් මෙරටින්ද බිහි වීමයි.

(දිවයින)

Loading...