මීට මාස කිහිපයකට පෙර මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වූ සිංහල – මුස්ලිම් ජාතිවාදී ගැටුම  ජාත්‍යන්තර අවධානය පවා යොමු වූ සිදුවීමක් බවට පත් වූවා.

පසුව මෙම ගැටුම ඇරඹූ බවට සැක පිට මහසෝන් බලකාය සංවිධානයේ නායක අමිත් වීරසිංහ ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත් වුණා.

අමිත් ඇතුළු පිරිස තවමත් සිටින්නේ බන්ධනාගාරගතව යි.

මේ අතර අමිත් වීරසිංහගේ බිරිඳ ජාතික පුවත්පතක් වෙත මෙලෙස අදහස් පළ කොට තිබුණා.

“මගේ මහත්තයාව රිමාන්ඞ් කරලා දැන් මාස හයක් වෙන්න ආවා. අමිත් එක්ක එයාගේ අයියයි, මගේ මල්ලියි, තව හත් දෙනෙක් රිමාන්ඞ් කරලා ඉන්නවා. සේරම දහදෙනයි. සීයක් විතර අත්අඩංගුවට අරගෙන තවම නිදහස් කරලා නැත්තේ ඒ දහදෙනාව විතරයි. මහත්තයට විරුද්ධව කිසිම සාක්‍ෂියක් නැතිව සැකපිට හිර කරගෙන ඉන්න එක හරිම අසාධාරණයි.

නුවර සිංහල, මුස්ලිම් කෝලාහලය ඇති වෙන්න මුල් වුණේ බී ගත් මුස්ලිම් තරුණයන් පිරිසක් සිංහල තරුණයකුට පහරදී මරා දැමීම. ඒ සිද්ධියේදී සිංහල පිරිසට අසාධාරණයක් වෙනකොට මහත්තයා ඔවුන් වෙනුවෙන් කතා කළා. ඒත් මාර්තු 05 වැනිදා සිංහල තරුණයන් ප‍්‍රකෝප වෙලා තෙල්දෙණියට එකතු වෙලා හර්තාල් කරනකොට මහත්තයා හිටියේ ගෙදර පුතාලාට බත් කව, කව. කෝලාහලය ටිකක් ඇවිලිලා යනකොට පොලිසියේ ඞී.අයි.ජී. මහත්තයෙක් දුරකථනයෙන් අමිත්ට කතා කරලා චුට්ටකට තෙල්දෙණියට එන්න කියලා කිව්වා. මීට පෙරත් කඩුගන්නාවේ සිංහල, මුස්ලිම් ආරවුල වෙච්ච වෙලාවේ පොලිසියෙන් අමිත්ට කතා කරලා තරුණයන් පාලනය කරගන්න උදව් ඉල්ලූවා. එදත් අමිත් ප‍්‍රකෝපකාරී තරුණයන් අතරට ගිහින් කතා කරලා සිද්ධිය පාලනය කළා. සිංහල තරුණයෝ අමිත් කියන දේ අහනවා. තරුණයන් අතර අමිත්ට ලොකු ගෞරවයක් තියෙනවා. ඒ අමිත් හදාගත්ත ප‍්‍රතිරූපය.

තෙල්දෙණියේ සිද්ධිය වෙලාවෙත් ඞී.අයි.ජි. මහත්තයා කතා කරපු ගමන් අමිත් ගියා. ඒ යනකොට තෙල්දෙණියට විශාල සිංහල පිරිසක් එකතු වෙලා හිටියා. පොලිසියත් දෙදහක් විතර හිටියා. ඒ පිරිස අතරට අමිත් යනකොටත් සිංහල තරුණයන් කොටසක් දිගන පැත්තට ගිහින් ඉවරයි. ඊට පස්සෙ ඞී.අයි.ජී. මහත්තයා අමිත්ට කියලා දිගන පැත්තට ගිය පිරිස ගැන බලන්න කියලා. අමිත් තෙල්දෙණියේ තරුණයන්ව පාලනය කරලා දිගන පැත්තට යනකොටත් සිංහල මිනිස්සු මුස්ලිම් කඩවලට, පල්ලිවලට පහර දීලා ඉවරයි. කෝලාහලය දිගට ඇදිලා ගියා. මුස්ලිම් මිනිස්සු සිංහල මිනිස්සුන්ට පහර දුන්නා, පන්සල්, කඩ ගිනි තිබ්බා. සිංහල මිනිස්සුත් මුස්ලිම් මිනිස්සුන්ට පහර දුන්නා. මාර්තු 07 වැනිදා පොලිසිය අපේ ගෙදරට ඇවිත් අමිත්ව ඇහුවා. එතකොට අමිත් පන්සලට ගිහින් හිටියේ. මම කිව්වා අමිත් ගෙදර නෑ. පණිවුඩයක් තියෙනවා නම් කියන්න මම කියන්නම් කියලා.

‘නෑ අපි ආවේ අමිත් ගෙදර ඉන්නවද කියලා බලලා යන්න’ කියලා පොලිසිය ගියා. මහත්තයා ගෙදරට ආවට පස්සෙ පොලිසිය ආපු විත්තිය මම කිව්වා. ඊට පස්සේ අමිත් කතා කරලා පොලිසියට එන්න ඕනාද කියලා ඇහුවා.

‘නෑ… නෑ… ප‍්‍රශ්නයක් නෑ. අමිත් ගෙදර ඉන්නවද බලන්නයි අපි අවේ’ කියලා පොලිසිය කිව්වා. මාර්තු 08 වැනිදා උදේ 1. 45 ට විතර පිරිසක් අපේ ගේ වට කරලා දොර කඩාගෙන ගේ ඇතුළට ආවා. එතකොට මමයි, දරුවො දෙන්නයි, මහත්තයි නිදාගෙන හිටියේ දොර කාමරේ. මගේ මල්ලියි, අමිත්ගේ අයියයි තව කිහිපදෙනෙක් මැද සාලයේ නිදාගෙන හිටියා.

‘ආ… මේ ඉන්නෙ සෙට් එකම’ කියලා හිටපු සේරම මාංචු දාලා අරගෙන යන්න ලෑස්ති වුණා. ඔයාලා කවුද? ඇයි මෙහෙම ගෙනියන්නේ කියලා අපි ඇහුවා. අපි අහන කිසිම ප‍්‍රශ්නයකට උත්තර දුන්නේ නෑ. මහත්තයලාව අරගෙන ගියා. මම පොලිසියේ දන්න නිලධාරීන් සේරටම කතා කරලා අමිත් ගැන ඇහුවා. ඒ හැමෝම කිව්වේ අපි දන්නේ නෑ කියලා. උදේ 8 ට විතර මම තෙල්දෙණිය පොලිසියට ගියා. මහත්තයලා හිටියේ නෑ. ඊට පස්සේ නුවර පොලිසියට ගියා. එතැනදී මහත්තයව විතරක් මට පෙන්නුවා. ඊට පස්සේ මට මැසේජ් එකක් එවලා තිබුණා මහත්තයව බලන්න 11 වැනිදා සීඅයිඩි ඔෆිස් එකට එන්න කියලා. මාර්තු 17 වැනිදා උසාවි දාලා බන්ධනාගාරගත කළා.

පොලිසිය කිව්වා අපේ ගෙදර තිබිලා පෙට‍්‍රල් බෝම්බ අත්අඩංගුවට ගත්තා කියලා. ඊට පස්සේ කිව්වා කාර්යාලයේ තිබිලා පෙට‍්‍රල් බෝම්බ හතක් අත්අඩංගුවට ගත්තා කියලා. මයික‍්‍රපෝනයක් පෙන්නලා කිව්වා මේකත් පාවිච්චි කරලා තියෙන්නේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් සඳහා කියලා. නුවර කෝලාහලය සම්බන්ධයෙන් ප‍්‍රධාන සැකකරුවන් මේ දහදෙනා කියලා තමයි දැන් පොලිසිය කියන්නේ. මගේ මහත්තයා කිසිම දවසක ප‍්‍රචණ්ඩකාරී විදිහට හැසිරිලා නෑ. ප‍්‍රචණ්ඩකාරී සිද්ධිවලට සම්බන්ධයි කියලා මීට පෙර බන්ධනාගාරගත වෙලත් නෑ. මගේ මහත්තයා හැම කෙනා එක්කම සුහදව කතාබහ කරලා සාමකාමීව ජීවත් වෙච්ච කෙනෙක්.

මහසෝන් බළකාය ආරම්භ කරලා අවුරුදු තුනක් වෙනවා. සංවිධානය වෙනුවෙන් නත්තරංපොත කාර්යාලයක් විවෘත කරලා තියෙනවා. සංවිධානයේ සියලූ වැඩ සිද්ධ වුණේ ඒ කාර්යාලයේ. කිසිම කෙනෙකුගෙන් බලපෑමක් තිබුණේ නෑ. කාටවත් බලපෑම් කරන්න ගියෙත් නෑ. කිසිදු ක‍්‍රියාකාරකමක් සම්බන්ධයෙන් සංවිධානය තහනමට ලක් වුණෙත් නෑ. බෞද්ධ ආගමට, සිංහල ජාතියට නරකක් වෙන තැනදී එයට එරෙහිව ප‍්‍රසිද්ධියේ කතා කළා. අන්‍ය ආගමිකයන්ට ගහන්න, ගෙවල් කුඩු කරලා ප‍්‍රචණ්ඩකාරී විදිහට හැසිරෙන්න කියලා අමිත් කිසිම දවසක කාටවත් අනුබල දුන්නේ නෑ. මහසෝන් බළකාය එහෙම ප‍්‍රචණ්ඩකාරී සංවිධානයක් වුණා නම් රටේ මෙතරම් ප‍්‍රබල හඬක් ගොඩනඟාගන්න බැරි වෙනවා.

සංවිධානය ආරම්භ කරනකොට සාමාජිකයන් එකසිය පනහක්වත් හිටියේ නෑ. ඒත් මේ වෙනකොට සාමාජිකයො ලක්‍ෂයකට වැඩිය ඉන්නවා. ඒ අමිත්ගේ ශක්තිය. සංවිධානයට පුදුම කැපවීමක් තිබුණේ. එයාගේ ව්‍යාපාරයෙන් එන ආදායමෙනුත් බාගයක්ම වියදම් කළේ ඔය සංවිධානයට. ඒ හැරෙන්න මෙරට, පිටරටවල සිංහල මිනිස්සුන්ගේ උදව් උපකාර නොඅඩුව ලැබුණා. ඒ ලැබුණ සියලූ මුදල් වියදම් කළේ උතුර, නැගෙනහිර වෙහෙර විහාරස්ථාන නඟාසිටුවන්න සහ දුප්පත් සිංහල ගම්මානවල මිනිස්සුන්ගේ අභිවෘද්ධිය සඳහා. මේ වෙනකොට විනාශ වෙමින් තිබෙන විහාරස්ථාන විශාල ප‍්‍රමාණයක් නැවත ප‍්‍රතිසංස්කරණය කරලා තියෙනවා. සිංහල ගම්මානවලට වැසිකිළි හදලා දුන්නා. දරුවන්ට පාසල් උපකරණ බෙදා දුන්නා. ස්වයං රැකියා ආරම්භ කරන්න කාන්තාවන්ට මූල්‍යමය ආධාර දුන්නා.

අමිත් සංවිධානයේ මුදල්වලින් රුපියලක් තමන්ගේ පරිභෝජනයට කියලා ගත්තෙ නෑ. එයා කිව්වේ සංවිධානයේ මුදල් සාංඝික දේපළක් කියලා. සංවිධානයේ සියලූ කටයුතු කරගෙන ගියේ හාමුදුරුවරු සම්බන්ධ කරගෙනයි. සිංහල ජාතියට, බෞද්ධ ආගමට වෙන කෙණහිලිකම් ගැන මිනිස්සු දැනුවත් කරන්න ලංකාව පුරා විවිධ ප‍්‍රදේශවලට ගිහින් රැස්වීම් තිබ්බා. ඒ හැම තැනකදීම කිව්වේ මේ රට සිංහල බෞද්ධ රටක් වුණත් සියලූ ජාතීන් එකට ජීවත් වෙන්න ඕනෑ. ඒ වගේම සියලූ ජාතීන්ට පොදු නීතියක් යටත් රටේ සාමය ස්ථාපිත වෙන්න ඕනෑ කියලා අමිත් ප‍්‍රසිද්ධියේ කිව්වා. ඒ දේශන පවත්වන්න යන ගමනකටවත් අමිත් සංවිධානයේ සල්ලි ගත්තේ නෑ. එයා අතින් වියදම් කරගෙන අපේ ඇල්ටෝ කාර් එකෙන් තමයි ඒ ගමන් ගියේ. අපි ජීවත් වුණේ අමිත්ගේ ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමෙන්.

ඒකත් මහා ලොකු ව්‍යාපාරයක් නෙමෙයි, ගොඩනැඟිලි කොන්ත‍්‍රාත් ගන්න පුංචි ව්‍යාපාරයක්. බුදු සරණින් අපි හතරදෙනාට කාලා ඇඳලා ජීවත් වෙන්න ප‍්‍රමාණවත් ආදායමක් ලැබුණා. අමිත් අනුන්ගේ දේවල් කඩා වඩාගෙන කාපු කෙනෙක් නෙමෙයි. හැම වේලාවේම උත්සාහ කළේ පන්සිල් ආරක්‍ෂා කරගෙන ජීවත් වෙන්නයි. නැති, බැරි අයට උදව් උපකාර කරන්නයි. අමිත් ඉස්කෝලේ යන කාලෙත් පාසලේ දුප්පත් ළමයින්ට පුළු, පුළුවන් විදිහට උදව් උපකාර කළා. මම අමිත්ව දන්නේ පාසල් යන කාලේ ඉඳලා. අපි දෙන්නම පාසල් ගියේ කෙන්ගල්ල නවෝද්‍යා මහා විද්‍යාලයට. පාසලේ අපි ඉගෙනගත්තේ එකට. උසස් පෙළ කළේ කලා අංශයෙන්. අපි දෙන්නා සම වයසෙ. ඒ වගේම පාසල් කාලේ ඉඳලා පෙම්වතුන්. අද අපි අඹු සැමියන්. අමිත් වගේ සැමියෙක් ලැබෙන්න මම පිං කරලා තිබුණා.

අපි කසාද බැන්දේ 2013 අවුරුද්දේ. පදිංචි වෙලා ඉන්නේ දිගන ප‍්‍රදේශයේ. ආදරය කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා අපි දෙන්නා අතර වචනයකින්වත් හිත් අමනාපයක් වෙලා නෑ. ලස්සන පවුල් ජීවිතයක් ගත කළා. අමිත් හැම දෙයක්ම කරන්නෙ බොහෝම කල්පනාවෙන්. කිසිම කෙනෙකුගේ හිත් රිදෙනවට කැමති නෑ. ඒ වගේම අසාධාරණයටත් කැමති නෑ. සිංහල බෞද්ධයන්ට වෙන අසාධාරණකම් බලාගෙන ඉන්න බැරි තැන තමයි අමිත් තරුණයන් එකතු කරගෙන මහසෝන් බළකාය පිහිටෙව්වේ. අමිත් වටා එකතු වෙච්ච දේශහිතෛෂී සියලූ දෙනා අදටත් අමිත් එක්ක ඉන්නවා. අපිටත් උදව් උපකාර කරනවා. ඒ සහෝදරයන්ගේ උදව් උපකාර නැතිව මට මේ ගමන යන්න බෑ. අමිත්ව බලන්න අනුරාධපුර බන්ධනාගාරයට යන්න ඕනෑ. නඩු හබවලට වියදම් කරන්න ඕනෑ. දරුවො දෙන්නා ජීවත් කරවන්න ඕනෑ. ලැබෙන දෙයකින් ඒ දේවල් කරගන්න පුළුවන්. ඒත් අපේ ව්‍යාපාරය කඩා වැටිලා.

වාහනයේ ෆිනෑන්ස් ඇරියස් වෙලා විකුණන්න වුණා. අමිත්ගේ ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම හැරෙන්න අපිට වෙනත් කිසිම ආදායම් මාර්ගයක් තිබුණේ නෑ. කීයක් හරි ඉතුරු කරගෙන හිටියා නම් දැන් ඒකත් නඩුවලට ඉවර වුණා. දිගන සිද්ධියට විතරක් නඩු තුනක් තියෙනවා. අත්අඩංගුවට ගත්තට පස්සේ පරණ සිද්ධිත් එළියට අරගෙන තවත් නඩු දැම්මා. දැන් නඩු ගොන්නක් තියෙනවා. ඒ නඩුවලට විශාල මුදලක් වියදම් වෙනවා. දැන් අපේ සේසතම වියදම් වෙලා ඉවරයි. පවුල් සේරම අවුල්. මගේ මල්ලිට අවුරුදු දහඅටයි. එයත් සිරභාරයේ. අමිත්ගේ අයියට රැකියාව නැති වුණා. ඒ හැම දෙයක්ම ඉවසගන්න පුළුවන්. පුතාලා දෙන්න තාත්තාව අහලා අඬනකොට පපුව හෝස් ගාලා ඇවිළෙනවා.

අමිත්ව සිරභාරයට ගන්නකොට පොඩි පුතාට වයස මාස හයයි. දැන් අවුරුද්දක් වෙනවා. එයාට නම් ලොකු මතකයක් නෑ. ලොකු පුතාට නිදා ගත්තෙත් තාත්තා එක්ක. ලොකූ නිතරම අහනවා තාත්තා කෝ කියලා. එතකොට මම කියනවා අනුරාධපුරේ හිරගෙදර බිල්ඩින් එකක හදනවා, තවම වැඩ ඉවර නෑ කියලා. ඒත් බන්ධනාගාරයට ගිහාම අහනවා ඇයි අම්මේ අපේ තාත්තාව හිරකරගෙන ඉන්නේ කියලා. එතකොට මට දෙන්න උත්තර නෑ අයියේ.

පුතාල දෙන්නව දැක්කම අමිත්ටත් වාවන්නේ නෑ. ‘තාත්තේ කවදද ගෙදර එන්නේ. අපිට සෙල්ලම් කරන්න ඉක්මනට එන්නකො’ කියලා ලොකු කියනකොට අමිත්ගේ ඇස්වලට කඳුළු පිරෙනවා. එහෙම වෙලාවට අමිත් වැඩි වෙලා කතා කරන්නෙත් නෑ. දැන් ලොකු පුතා ඉස්සරටත් වඩා තාත්තා ගැන අහනවා. අපේ ජීවිත ගෙවිලා යන්නේ පොලිසි, උසාවිවල. ලොකු පුතාට පෙර පාසලට යන්න නෑ. මට දුක මේ ප‍්‍රශ්න නිසා හයක් හතරක් නොතේරෙන අපේ දරුවො මානසිකව දුක්විඳින එක ගැනයි. අපිව මේ තරම් අසරණ කරන්න මේ දරුවන්ගේ තාත්තා ත‍්‍රස්තවාදියෙක් නෙමෙයි. හැම වේලාවේම පෙනී හිටියේ සිංහල බෞද්ධ ජාතිය වෙනුවෙන්. ජාතිය වෙනුවෙන් කතා කරපු නිසාද අපිට මෙහෙම කරන්නේ?

මහත්තයට හිරේ ඉඳලත් නිදහසක් නෑ. මේ ළඟදි පොලිසිය අපේ ගෙදරට ඇවිත් ‘කෙන්ගල්ල දියබුබුල සහ අවට ප‍්‍රදේශවල පිරිත් දානවා. ඒකට අනුබල දීලා තියෙන්නේ අමිත් කියලා පෙත්සම් ගිහිල්ලා තියෙනවා’ කියලා කිව්වා. මේ බෞද්ධ රටේ සිංහල ගමක පිරිත් දාන්න අමිත් කියන්න ඕනද. මුස්ලිම් පල්ලිවල දවසට හත්අට පාරක් මරලතෝනි දෙනවා. ඒවට කවුරුත් මොනවත් කියන්නේ නෑ. මේවා මහා හතරබීරි කතා අයියේ. මේ අවනඩු කාට කියන්නද? අපට කාගේ පිළිසරණක්ද?

Loading...