2015 වසරේ සිදු වූ නවක වද සිදුවීමක් හේතුවෙන් සියදිවි නසාගත් සිසුවියක් පිළිබඳව මාධ්‍ය විසින් යළි වාර්තා කිරීම හේතුවෙන් ඒ පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

එම පුවතෙන් අනතුරුව සමාජ ජාල ඔස්සේ ද මේ පිළිබඳව දැඩි කතාබහක් හටගත් අතර අදාළ සිසුවිය සියදිවි නසාගැනීමට පෙර තමන්ට නවකවදය දුන් සිසුවියන් පිළිබඳව ලිපියක සටහන් තැබූ තරුණියන්ගේ නම්, ඡායාරූප සහ ලිපිනයන් පවා සමාජ ජාල තුළ විශාල ලෙස සංසරණය වෙමින් පවතිනවා.

සබරගමුව විශ්ව විද්‍යාලයේදී දැඩිලෙස නවකවදයට ලක්වී, එම නිසාම දැඩි මානසික පීඩාවට පත්ව අවසානයේ සියදිවි නසා ගත් අමාලි චතුරිකා පිළිබද පුවත යළි මතු වූයේ එම සිදුවීම පිළිබඳව නිසි පරීක්ෂණයක් පවත්වන ලෙස අදාළ සිසුවියගේ මව පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලක් පිළිබඳ පුවතක් ජනමාධ්‍ය ඔස්සේ පළ වීමත් සමගයි.

අමාලි චතුරිකා මිය යාමට පෙර ලිපි කිහිපයක් ලියා සබරගමු විශ්ව විද්‍යාලයේදී තමන් මුහුණ පෑ භයානක ඉරණම පිළිබදව විස්තර කර තිබුණා.

එහිදි ඇයට නවකවදය ලබා දුන් ජ්‍යේෂ්ඨ ශිෂ්‍යාවන් දෙදෙනාගේ නම්ද  ඇය විසින්  අවසන් වරට ලියූ ලිපි වල සදහන් කර තිබුණු අතර ඇයට දැඩි පීඩාකාරී ලෙස නවකවදය ලබා දී තිබුනේ “මාෂා” සහ “ඉසුරු” නම් ශිෂ්‍යාවන් දෙදෙනෙකු බවයි එම ලිපිවල සඳහන් වූයේ.

මියගිය අමාලිට පිරිමි සිසුන් ලවා පවා දැඩි ලිංගික හිංසන ද සිදු කරවීමට මෙම “මාෂා” සහ “ඉසුරු” යන ශිෂ්‍යාවන් දෙදෙනා කටයුතු කර තිබෙන බව වාර්තා වූවා.

ඇයව පිරිමි සිසුන් වෙත ගෙන ගොස් පරිගණකයකින් අසභ්‍ය දර්ශන පෙන්වමින් එම දර්ශන රඟ දක්වන ලෙසට මාෂා සහ ඉසුරු යන ශිෂ්‍යාවන් දෙදෙනා බල කර තිබෙන බවයි අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම සබරගමු විශ්ව විද්‍යාලයේ ආපනශාලාව අසල දි ද අසභ්‍ය චිත්‍රපට නිළියක් කෑගසන ආකාරය අනුකරණය කරන ලෙසටත්, එම දර්ශන ප්‍රසිද්ධියේ රඟ දක්වන ලෙසටත් මාෂා සහ ඉසුරු අමාලි වෙත නියෝග කර තිබෙනවා.

එම නියෝගය ප්‍රතික්ෂේප කළ විට ඔවුන් ලබා දුන් පීඩනය අමාලිට දරාගත නොහැකි වී ඇති අතර එම නිසායි ඇය දිවි නසාගෙන ඇත්තේ.

මිය ගිය අමාලි

මේ අතර විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පොලිස් කොමිසමට යැවූ ලිපියේ සඳහන් වන පරිදි සැකකාර මාෂා කිරිවත්තුඩුව, පිටපන දකුණ, අංක 324 ස්ථානයේ පදිංචිව සිටින බවත් ඇයගේ සම්පූර්ණ නම ඒ.එම්.එම් අතුකෝරාළ හෙවත් මාෂා අතුකෝරාළ බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වූවා.

සැකකාර ඉසුරු නමැති ශිෂ්‍යාව හෝමාගම, කැන්දලන්ද, අංක 170 යන ලිපිනයේ පදිංචිව සිටින බවත් ඇයගේ සම්පූර්ණ නම ඒ.අයි.එන් අකරවිට හෙවත් ඉසුරු අකරවිට බවත් වැඩිදුරටත් දැක්වුණා.

අමාලිට නවකවදය ලබා දී සිය දිවි නසා ගන්නා තත්ත්වයකට පත් කළ මාෂා අතුකෝරාළ සහ ඉසුරු අකරවිට යන ශිෂ්‍යාවන් දෙදෙනා අමාලි මෙන්ම කොළඹ ප්‍රදේශයේම ජීවත් වූ, කොළඹ ප්‍රදේශයේ පාසල්වල අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවන් වීම විශේෂත්වයක්.

පුවත් වෙබ් අඩවියක් වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ  අමාලිට නවකවදය ලබා දුන් මාෂා අතුකෝරාළ කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවක් බවයි.

මියගිය අමාලි ද එම විද්‍යාලයේම ශිෂ්‍යාවක් වීම තවත් විශේෂත්වයක්.

හිංසාකාරී නවකවදය හේතුවෙන් අමාලි මිය යද්දී, සිය පාසලේම  ඉගෙනුම ලැබූ ඇයට නවකවදය ලබා දුන් මාෂා අතුකෝරාළ මේ වන විට පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් විවාහ වී පවුල් ජීවිතය ගත කරමින් සිටින බව සඳහන්.

එමෙන්ම මිය ගිය අමාලි  සිය අවසන් ලිපියෙන් දන්වා ඇත්තේ තමන්ගේ අවමංගල්‍යයට සබරගමුව විශ්වවිද්‍යාලයේ කිසිදු ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට සහභාගී වීමට ඉඩ ලබා නොදෙන ලෙසයි.

“කිසිම සබරගමු කැම්පස් එකේ ළමයෙක්ට මගේ අවමංගල්‍යයට සහභාගි වීමට ඉඩ නොදෙන ලෙස තරයේම ඉල්ලා සිටිනවා”

ඇයට විශ්වවිද්‍යාල ජීවිතය කොතෙක් එපා වූවාද යන්න එයින් හොඳින්ම පැහැදිළි වනවා.

අමාලි ලියූ අවසන් ලිපිය

මේ අතර මියගිය අමාලිගේ මරණයට සාධාරණයක් ඉටු කිරීම ප්‍රතික්ෂේප කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ එවකට උපකුලපතිවරයා වූ මහාචාර්ය චන්දන උඩවත්ත නැමැත්තා, නවකවදය ලබා දුන් ශිෂ්‍යාවන් වෙනුවෙන් පෙනි සිටිමින් අමාලිගේ මරණයේ සාක්ෂි වසන් කර තිබෙන බව ද අමාත්‍යවරයා යැවූ ලිපියේ දැක්වෙනවා.

චන්දන උඩවත්ත හිටපු උපකුලපතිවරයා නවකවදය ලබා දුන් ශිෂ්‍යාවන් ආරක්ෂා කරමින් ඔවුන්ට එරෙහිව පැවති සියලු සාක්ෂි සඟවා තිබෙන බව ද පැවසෙනවා.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ඒ පිළිබඳව පළ කලේ මෙවන් අදහසක්.

 “2015 සිද්ධවෙච්ච සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වද සිද්ධියක් යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දැන් ආයෙ සාකච්ඡාවක් ඇවිල්ලා තියෙනවා. විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා බොහොම පැහැදිළිව කියලා තියෙනවා, ඒක නවක වද සිද්ධියක් නෙවෙයි කියලා. දැන් සබරගමුව විශ්වවිද්‍යාලයේ සහෝදරිය සඳහන් කරපු  නම් දෙකක් අල්ලගෙන මේ රටේ සමාජ ජාල මාධ්‍ය මෙහෙයවන තුප්පහි, නින්දිත මිනිස්සු ටිකක් අර සහෝදරියෝ දෙන්නා වැරදිකාරයෝ කරලා ඉවරයි”

සමස්ත සමාජයේම පවතින ප්‍රචණ්ඩත්වය විශ්වවිද්‍යාල තුළ පැවතීම පුදුමයක් නොවන බව, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.

එමෙන්ම බලධාරීන් ප්‍රකාශ කරන තරම් දරුණු නවක වදයක් විශ්වවිද්‍යාල තුළ නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කිසිදු ප්‍රශ්ණයක් වෙනුවෙන් අවධානය නොකරපු විජේදාස රාජපක්ෂ ඇමතිවරයා කිව්වා නවක වද සිද්ධීන් නිසා එක්දාස් හයසිය ගාණක් විශ්වවිද්‍යාල හැර ගිහිල්ලා තියෙනවා කියලා. මොන විශ්වවිද්‍යාලවල, මොන පීඨවල, කවුද ගියේ කියලා කියන්න”

නවක වදය නිසා සරසවි සිසුන් මියගිය බවට වාර්තා පළ වුව ද, 1998 වසරෙන් පසුව කිසිදු ශිෂ්‍යයෙකු නවක වදය හේතුවෙන් මියගොස් නැතැයි ද ඔහු  සඳහන් කළා.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ශුද්ධ භූමි නොවන බව ද ඔහු එහිදී කියා සිටියා.

නවක වදය ලබාදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ දඬුවම් නියමවී ඇති සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාරය අහෝසි කිරීමට රජය ගත් තීරණය පිළිබඳව ද ළහිරු වීරසේකර අදහස් ප්‍රකාශ කළා.

එහි දී ඔහු ඒ සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාගෙන් මෙලෙස විමසා සිටියා.

“අපි අහනවා, රවී කරුණානායකගේ කම්පැණි දෙකක් මහපොල මුදල් කොල්ල කෑවා කියලා විජේදාස ඇමතිවරයා කිව්වනේ. ලෑස්ති ද ක්‍රියාමාර්ග ගන්න?”

Loading...