Loading...

දිනපතා වාර්තා වෙන රිය අනතුරු අතරින් පසුගිය 20 වෙනි දින කළුතර වස්කඩුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුර විශේෂිත එකක් විය.

ඒ එහි සිදු වූ රිය අනතුරින් බරපතළ තුවාල ලැබුවේ මෙරට ප්‍රධාන පාතාල කල්ලි නායකයෙකු වන මාකඳුරේ මදූෂ්ගේ පියා වීම නිසයි.

ඉකුත් 20වැනි දින රිය අනතුරින් බරපතළ තුවාල ලැබූ 62 හැවිරිදි සමරසිංහ ආරච්චිලාගේ ලක්ෂ්මන් නොහොත් ලාල් වහාම ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ කළුතර නාගොඩ රෝහලටය.

එදින සිට දින නවයකට ආසන්න කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ලක්ෂ්මන් 29 වැනි දින හදිසියේම මියගියේය.

මිය යනතෙක්ම ඔහු කාගේ කවුද යන්න පිළිබඳව වැඩි දෙනෙකු දැන සිටියේ නොමැත.

එහෙත් 29 වන දින රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ලක්ෂ්මන් මහතා මියයාමත් සමග ඔහුගේ ඥාතීන් විසින් සිරැර බාරගෙන එය රැගෙන ආවේ මාතර මාකඳුර ප්‍රදේශයේ මල් ශාලාවක් වෙතය.

ඒ වනවිට පොලිස් බුද්ධි අංශවල කනට මේ රහස හෙළි වී හමාරය.

දේහය එම්බාම් කිරීමේ පටන් දේහය මිහිදන් කිරීම දක්වා වූ මුළු සිද්ධිදාමය පිළිබඳව පොලිස් බුද්ධි අංශද සිටියේ සීරැවෙනි.

ඒ අන් කිසිවක් නිසා නොව දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බව කියන මාකඳුරේ මදුෂ් මෙම අවමඟුල සඳහා ඒවිදෝ යන සැකය නිසාවෙනි.

අවමඟුල් කටයුතු අවසන් වූ නමුත් මදුෂ් ආ බවක් දැනගන්නට නොලැබිණි.

මාතර මාකඳුර ප්‍රදේශයේ මල් ශාලාවක් වෙත රැගෙන ආ මදුෂ්ගේ පියාගේ දේහයට උපරිම ලෙස සැළකිලි දක්වමින් ප්‍රභූවරයෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සමාන වන අයුරින් එය පවත්වන ලෙසට මදුෂ්ගෙන් පවුලේ ඥාතීන් වෙත උපදෙස් ලැබී තිබේ.

ඒ අනුව දේහය තැන්පත් කිරීම සඳහාද අධික මිලෙන් යුතු පෙට්ටියක් තෝරා ගැනීමට ඥාතීන් පියවර ගෙන තිබුණි.

මල් ශාලාව වෙත රැගෙන ආ දේහය එහි සියලු කටයුතු අවසන් වීමෙන් පසු රාත්‍රි 8.00ට පමණ මාතර සිට රථ පෙළපාලියකින් රැගෙන ආවේ සූරියවැව හත්පෝරැව ප්‍රදේශයටය.

මාකඳුර ප්‍රද්ශයේ සිය නිවසේ මෙම අවමඟුල සිදුනොකර එකවරම සූරියවැව මහගම ජනපදය, හත්පෝරුව, සූරියවැව ලිපිනයේ පදිංචි සිය බාප්පා කෙනෙකුගේ නිවසට මෙම මරණය රුගෙන ආවේ කුමක් නිසාවෙන්ද යන්න පිළිබදව පොලිසියට ගැටලු රැසක් ඇති කරන්නට විය.

මදුෂ්ගේ ඥාතීන්ද දේහයේ අවසන් කයුතු සඳහා සූරියවැව තෝරාගත්තේ ඒ සඳහා යන එන මදුෂ්ගේ හිතවතුන් ඇතුළු සැමගේ ආරක්ෂාව පතා විය යුතුය.

එමෙන්ම මියගිය ලක්ෂ්මන් ද කලක් තිස්සේ අංක 354, මහගම ජනපදය, හත්පෝරුව ලිපිනයේ පදිංචිව සිටියේය.

දේහය සූරියවැව හත්පෝරැවේ නිවසට රැගෙන ඒමටත් පෙර සිටම නිවස හා අවට සුදු කොඩි දමා සරසා තිබුණේ දේහය පිළිගන්නටය.

රාත්‍රි 11ට පමණ දේහය නිවසට රැගෙන ආ අතර මෙම අවමඟුල සඳහා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වැය කිරීමටද විවිධ පිරිස් ඉදිරිපත් වූහ.

මළ ගෙදරට ගොස් ආ අයෙකු අපත් සමඟ පැවසුවේ මළ ගෙදරට සල්ලි පොම්ප කරනවා.

යන එන අයට දිවා රෑ කන්න බොන්න දෙන්නේ ඉස්තරම්ම ඒවා.

එන හැම කෙනෙකුටම හොඳම වර්ගයේ දුම්වැටි හා අධික මිලෙන් යුතු මත් වතුර තමයි දෙන්නේ කියාය.

එපමණක් නොව අවමඟුල් දින කිහිපය සූරියවැව හත්පෝරැව ඇතුළු අවට ගම් රැසක්ම දැඩි විස්මයට පත් කරන්නට විය.

මේ දින කිහිපයේ සූරියවැව පැවති අවමඟුල් උත්සවය සඳහා නවීන මෝටර් රථ වලින් පැමිණි පිරිස කවුරුන්ද යන්නවත් සිතිය නොහැකි තරම්ය.

මේ සියල්ල අස්සේ පාතාල නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ පිරිස් හා මාකඳුරේ මදූෂ්ගේ හිතවත් පාතාල සාමාජිකයින් රැසක්ද සූරියවැව හත්පෝරුව ප්‍රදේශයට පැමිණ සිටියේ සිය සගයාගේ පියාගේ අවසන් කටයුතු සඳහාය.

හත්පෝරුව ගමේ කවරදාකවත් සිදු නොවූ අයුරින් මළ ගෙදර කටයුතු සංවිධානය වී තිබුණි.

අවමඟුලට පැමිණි බහුතරයක් වූ පිරිස දුර බැහැර අය වෙති.

ඒ පැමිණි පිරිස් අතර මාකඳුරේ මදුෂ්ට හිතවත් ප්‍රබල පාතාල සාමාජිකයින් රැසක්ම පැමිණ සිටි බවද නොරහසකි.

දේහය නිවසේ තැන්පත් කළ මොහොතේ පටන් මිහිදන් කරන අවස්ථාව වන තෙක් නිවසට ආ ගිය සියලුදෙනා කෙරෙහි පිරිසක් උකුසු ඇස් ලා සිටියේ කුමක් හෝ නපුරක් විය හැකිව තිබූ නිසාවෙනි.

ඒ නිසා පිටතින් පැමිණෙන නාඳුනන පිරිස් කෙරෙහි පවුලේ ඥාතීන් හා හිතවතුන් දැඩි විමසිල්ලෙන් පසුවූහ.

එපමණක්ද නොව යන එන පිරිස් වීඩියෝගත කිරීමටද පියවර ගෙන තිබුණි.

ඊට අමතරව මළ ගෙදර පුරා සීසීටීවි කැමරා ද සවි කර තිබෙනු දැකගත හැකිවීය.

මළ ගෙදර සිටි ඇතැමෙක් පැවසුවේ මදුෂ් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මළ ගෙදර සියලු විස්තර බලා සිටි බවයි.

මේ සියල්ල අස්සේ සූරියවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රංගජීව මහතාද මෙම අවමඟුල් උත්සවය පැවති ස්ථානයට ගියේය.

ඒ ඔහුට ලැබී තිබූ තොරතුරක් අනුවය.

එහි ගිය ස්ථානාධිපතිවරයා එහි සවි කර තිබු සීසීටීවී කැමරා පද්ධතිය ගලවාගෙන ආ අතර මළගෙදර පැවති නිවැසියාගෙන් කට උත්තරයක්ද ලබා ගැනීමට පියවර ගත් බවද අනාවරණය විය.

මඟුල් ගෙයකට හා සමාන වු මෙම අවමඟුල සඳහා ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බව කියන පාතාල නායක මාකඳුරේ මදුෂ්ද ශෝක පණිවිඩයක් එවා තිබුණි.

එම ශෝක පණිවුඩය ඩිජිටල් බැනරයක ප්‍රදර්ශනය කර තිබූ අතර, යන එන අය සඳහා බෙදාදීමට හැකි පරිදි අත් පත්‍රිකාද මුද්‍රණය කර තිබුණි.

මදුෂ්ගේ පියාගේ අවසන් කටයුතු ඉකුත් 01 වැනි දින මිහිදන් කෙරැණේද පවුලේ සුසාන භූමියේදීය.

දේහය මිහිදන් කිරීම වෙනුවෙන්ද දර්ශනීය ලෙස ටයිල් අල්ලා විදුලි බල්බ දැමූ වළක් සකස් කෙරුණි.

විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව අවසන් කටයුතුද සිදුකෙරුණි.

ආගමික වතාවත් ඇතුළු සියලු කටයුතු අවසන් වු පසු දේහය විනාඩි 20ක් පමණ කාලයක් මිහිදන් කිරීමට ප්‍රමාද කෙරුණි.

ඒ දේහය සඳහා අවසන් මොහොතේ ගුවනින් මල් දමා ගරුබුහුමන් දක්වන බව පැවසීම නිසාය.

මළගෙදරට පැමිණ සිටි අයට මෙන්ම අවට ගම් වැසියන්ටද මෙය අමුතු අත්දැකීම් විය.

සවස 4.20ට පමණ පුද්ගලික සමාගමකට අයත් හෙළිකොප්ටර් යානයක් හදිසියේම සූරියවැව හත්පෝරුවට පැමිණියේය.

එලෙස පැමිණි හෙළිකොප්ටරය පළමුවෙන්ම හත්පෝරුව ප්‍රදේශයේ විද්‍යාලයක ක්‍රිඩාංගණයට බස්සවා විනාඩි කිහිපයක් තබාගෙන ඊට මල් ගෝනි ලබා දීම සිදු කෙරුණේ කිසිවකුත් නොසිතූ අයුරිනි.

ඒ වනවිටත් ආරක්ෂක අංශ පවා සිටියේ තුෂ්නිම්භූතවය.

පාතාල නායකයෙකුගේ පියෙකුගේ දේහයට ගුවනින් මල් ඉසිනවා කියූ සැණින් එය රට පුරා මහත් ආන්දෝලනයට තුඩු දෙන්නක් වීය.

එපමණක් නොව මළගෙදර පුරා පැතිර ගියේ ගුවනින් මල් ඉසීමට අවශ්‍ය මල්ද ඉන්දියාවෙන් ගෙන් වු බවයි.

එය කෙසේ නමුත් මල් සහිත හෙලිකොප්ටරය පැය භාගයකට ආසන්න කාලයක් දේහය මිහිදන් කරන ස්ථානයට රැගෙන යන තෙක් ගුවනින් මල් ඉසීම සිදු කෙරුණි.

දේහයට ගුවනින් මෙන්ම පා ගමනින්ද මල් ඉසීම සිදු කෙරුණේ පාවඩ මතින් ගෙන යමිනි.

මේ සියලු ක්‍රියා සඳහා බොහෝ පිරිසක් ඉතා යුහුසුළුව වැඩෙහි යෙදුණි.

මේ සියලු සිදුවීම් මාකඳුරේ මදුෂ් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ බලා සිටි බවයි මළගෙදර සිටි පිරිස් පැවසූහ.

ගුවනින් හා පාවඩ මතින් මල් ඉසිමින් රැගෙන ආ දේහය සහිත දෙන වටා වාර කිහිපයක් ගමන් කිරීමෙන් පසු එම ස්ථානයේදීද විනාඩි කිහිපයක් ප්‍රදර්ශනය කිරීමෙන් පසු දේහය වළ තුළට යැවීය.

එහෙත් එහිදී සිදුවූයේ කිසිවකුත් නොසිතූ දෙයකි.

දේහය තැන්පත් කිරීමට වළ සකස් කර තිබුණද එහි ඉඩකඩ මදි විය.

වළ තුළට දේහය සහිත දෙන සම්පුර්ණයෙන්ම රිංගා යැවීමට නොහැකි විය.

එහිදී දැඩි කලබලකාරී තත්ත්වයක්ද ඇති විය.

විවිධ උපක්‍රම සිදුකළද එය අසාර්ථක වීම නිසා සියයට අසූවක් පමණ වළ තුළට රිංගවා තිබු පෙට්ටිය නැවත දැඩි පරිශ්‍රමයක් දරා එළියට ඇද ගත්තේ ලණුවල අධාරයෙනි.

කෙසේ නමුත් විනාඩි 20කට අධික කාලයක් දැඩි පරිශ්‍රමයක් දරා දේහය සහිත පෙට්ටිය වළ තුළට රිංගවා දැමුවේ බලහත්කාරයෙන් මෙනි.

එය මළ ගෙදරට පැමිණ සිටි බොහෝ දෙනෙකුගේ දැඩි විවේචනයටද ලක් විය.

සවස 6.30 පමණ වනවිට අවමඟුල් උත්සවයේ සියලු කටයුතු අවසන් වූ අතර පැමිණ සිටි පිරිස්ද සෙමින් සෙමින් සූරියවැවෙන් පිටත් වී ගියහ.

මේ අවමඟුල් උත්සවය ගැන පොලිස් පරීක්ෂණද මේ වනවිට ආරම්භ කර තිබේ.

ඒ අන් කිසිවක් නිසා නොව පාතාල නායකයෙකුගේ පියෙකුගේ දේහයට හෙළිකොප්ටරයක්ද පැමිණීම නිසාවෙනි.

මේ කටයුත්ත සඳහා හෙළිකොප්ටරය ලබාදුන පෞද්ගලික ගුවන්යානා සමාගමේ නියෝජිතයෙකුගෙන් සිදු කළ විමසීමකදී ඔවුන් පැවසුවේ කොට්ටාව ප්‍රදේශයේ පදිංචි දිනේෂ් නැමති අයෙකු ක්‍රෙඩිට් කාඩ් පතක් මගින් මුදල් ගෙවා ඇඹිලිපිටිය ප්‍රදේශයේ ප්‍රභූ මළ ගෙදරක් සඳහා මෙම ගුවන් යානය වෙන් කර ගත් බවත්, එය මාකඳුරේ මදුෂ්ගේ පියාගේ අවමඟුල් උත්සවය බව නොදැන සිටි බවත්ය.

කෙසේ වෙතත් රත්මලානෙන් පිටත්ව ඇති හෙළිකොප්ටරය මදුෂ්ගේ පියාගේ අවසන් මොහොතට මල් දැමීමට පැමිණෙන බව අන්තිම තප්පරය වනවිටත් ප්‍රදේශය බාර ආරක්ෂක අංශ නොදැන සිටි බවයි, අනාවරණය වන්නේ.

අවමඟුල් උත්සවයේ වැඩ කටයුතු අවසන් වීමෙන් පසු නිවේදක මහතා පවසා ඇත්තේ සියලුදෙනාට මෙහි මඳ වේලාවක් රැඳී සිටින ලෙසත් ගුවනින් දේහයට මල් ඉසින බවත්ය.

එම තොරතුර පොලීසියට ලැබීමත් සමඟ හතර අතේ දුරකතන ඇමතුන් දුන්නත් ඒ වනවිට කිසිවකුටත් කිසිවක් කළ නොහැකි විය.

කොළඹින් ඒ වනවිටත් ගුවන් යානය පිටත්ව පැමිණ හමාරය.

මෙම අවමඟුල සඳහා මුදල් ලැබුණේ කොහෙන්ද යන්න පිළිබඳව නිවැසියන්ගෙන් පොලිසිය ප්‍රශ්න කර ඇති බවත්, එහිදී නිවැසියන් ඊට පිළිතුරු ලෙස තමා ගොවිතැන් කර එකතු කර ගත් මුදල් හා ඥාතීන්ගෙන් ලද මුදල්වලින් මෙම අවමඟුල කළ බවත් පවසා ඇති බවද අනාවරණය වීය.

මෙහි ඇත්ත නැත්ත කුමක් වුවත් පාතාල නායක මදුෂ් තමන්ට ඕනෑ වූ පරිදි සිය පියාගේ අවමඟුල කර ගැනීමට සමත් වී තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට පරීක්ෂණ පවත්වන පොලීසිය හෙළිකොප්ටරය ලබාගත් අයුරැ පිළිබඳව සේම මේ සඳහා මුදල් වියදම් කළ ආකාරය පිළිබඳව මෙන්ම මාධ්‍යවේදීන්ගෙන්ද ප්‍රකාශ කිහිපයක් ලබාගෙන ඇති බවද අනාවරණය විය.

පාතාල නායකයෙකුට මෙලෙස තමන්ට හිතු හිතූ පරිදි කටයුතු කර ගැනීමට හැකිවීම පුදුමයට කරුණකි.

– රෙහාන් රාසික්

Loading...