Loading...

(මෙහි දැක්වෙන කිසිදු කරුණක් වෙනුවෙන් අප වෙබ්අඩවිය පෙනී නොසිටින අතර අප සිදුකරන්නේ මෙම ලිපිය පළ කිරීම පමණි)

මිනිසාගේ ආයුෂ ගෙවීයාම සතර ආකාරයකට සිදුවන බව බුදුු දහමේ ඉගැන්වෙයි. මරණයත් අතර වර්තමානයේ බොහෝ විට ඇසෙන්නේ අකාල මරණ පිළිබඳවය. අකාලයේ ආයුෂ නිමවීම් සිදුවන්නේ කෙනේද? මුදල බලය ඇත්තෝ අඩු වයසින්ම අකාලයේ මරු වසඟයට යති. දුගී දුප්පත් අසරණ ඇත්තෝ පරමායුෂ ගෙවා තම ආයු කාලය නිමා කරති.

ජ්‍යොතිෂයේ සඳහන් ආකාරයට ආයුෂ නිමවීම හඳුනාගන්නේ කෙසේද? බුදු දහම අනුව එය අර්ථවත් කරන්නේ කෙසේද?

ආයුක්‍ෂය මරණය සිදුවන්නේ සත්ත්වයන්ගේ නියමිත ආයුකාලය ගෙවී මෙනි. ඇතැම් සත්ත්වයෙකුගේ ආයුෂ කාලය කෙටිය. දින ගණනෙකි. තවත් සත්ත්ව වර්ගයක ආයුෂ වසර කිහිපයකි. මිනිසාගේ පරමායුෂ අවුරුදු එකසිය විස්සක් ලෙස නව ග‍්‍රහයන්ගේ මහ දසාවන් ගණනය කිරීමෙන් අවබෝධ වෙයි. වයස අවුරුදු හැත්තෑවේ සිට එකසිය විස්ස දක්වා කාලය මිනිසාගේ දීර්ඝායුෂ ලෙස සැලකෙයි.

කර්මක්‍ෂය මරණය සිදුවන්නේ ආයු කාලය නිම වීමට පෙරාතුවය. දුබල කර්ම බලයෙන් උපන් නැමැත්තා කර්ම බලය නිමවීමෙන් මෙළොව ආයුෂ හැරයයි.

උභයක්‍ෂය මරණය යනු ආයු කාලය සහ කර්ම ශක්තිය එකවර ගෙවී මෙන් සිදුවන මරණයයි. යමෙකු හට ආයුෂය සහ කර්මය එක වරම ගෙවී යෑමක් සිදුවන්නේ කලාතුරකිනි.

උපච්ජේදක මරණය යනු නොසිතූ ආකාරයෙන් සිදුවන ආයුෂය නිම වීමයි. ආයුෂය සහ කර්ම බලය තිබියදීම අතීත භවයන්හි හෝ වර්තමාන භවයේ කළ පාප කර්මයන් මත සිදුවන මරණය උපච්ඡේදක හෙවත් අකාල මරණ ලෙස හැඳින්වෙයි. රොා්ග හෝ අන්තරායන් මගින් මෙම ආයුෂ හැරයාම් සිදුවෙයි. නාගසේන මහ රහතන් වහන්සේ විසින් බිළිඳු රජුහට අකාල මරණවලට හේතු කාරක අවස්ථාවන් රැසක් වදාරා තිබේ. උපක‍්‍රමවලින් සිදුවන මරණය හෝ තමාගෙක් උපක‍්‍රමයෙන් සිදු කරගන්නා මරණය අකාල මරණයෙන් ආයුෂ හීන කරවීමට සමත්ය. අයෙකු ගෙළ වැලලා මරණයට පත්වීමත් තවත් අයෙකු හදිසියේ දුම්රියට හසුවීමත් අකාල මරණයන්ය.

ජන්මියෙකුගේ වයස අවුරුදු දොළස වනතුරු ආයුෂ හෝ පලාපල නිගමනයන් නිවැරැදි නොමැති බව ජ්‍යොතිෂයෙන් කියැවෙයි. ළදරුවා බාලග‍්‍රහ දෝෂයෙන්ද බාලාරිෂ්ඨ යෝගයෙන්ද මරුමුවට පත්විය හැකියි. ඇතැම් දරුවන් මව විසින් කරන ලද පාප කර්ම හේතුකොට ගෙනද නැතහොත් පියා විසින් කරන ලද පාපකර්ම හේතුකොට ගෙනද ආයුෂ හැරයෑමේ විපත්තියට බඳුන් වෙත්.

මේ අනුව දරුවෙකුගේ පළමු අවුරුදු හතරක කාලය තමන්ගේ කුසල් බලයත් හතරේ සිට අට දක්වා මවගේ කුසල් බලයත් අටේ සිට දොළස දක්වා පියාගේ කුසල් බලයත් මූලික කොට මෙළොව අවුරුදු දොළස ගත කරයි.

ආයුෂයන් වර්ග කිරීමක්ද ජ්‍යොතිෂයේ පවතී. වයස අවුරුදු තිස්දෙක දක්වා අල්පායුෂද එතැන් සිට සැත්තෑව දක්වා මධ්‍යායුෂද එතැන් සිට අවුරුදු එකසිය විස්ස දක්වා දීර්ඝායුෂ ද වන බව පැරණි ජ්‍යොතිෂ පොතපතෙහි සඳහන් කර තිබේ.

ජන්මියෙකුගේ මාරක ග‍්‍රහයාගේ සොභාවය අනුව ආයුෂය විනාශ වන අනතුරු රෝග පීඩා ඇතිවෙයි.

රවිගෙන් හෘද රෝග – මොළයේ රෝග – අස්ථි විකෘතිතා ඇතිවෙයි. කල්පනාව අහිමි වෙයි.

සඳුගෙන් ජලය සම්බන්ධ වී මරණය සිදුවෙයි. ඇදුම සෙම්රෝග ඇතිවෙයි. කුජගෙන් ලේ විෂ වීම් හදිසි අනතුරු ඇති කරයි.

බුධ වා පිත් සෙම් සහ නහරගත රෝගවලින් ජන්මියාගේ ආයුෂය පරිහානියට පත් කරවයි.

ගුරු ග‍්‍රහයා දියවැඩියා සෙංගමාලය පිළිකා ආදී රෝගත් රුධිර ධාවනයේ වෙනස් වීමත් ඇති කරවයි.

සිකුරු බෙල්ල – කම්මුල් සහ රහස් ප‍්‍රදේශයන්හි රෝගාබාධවලින් ජන්මියාහට තම අයහපත් බලය පෙන්වයි.

සෙනසුරු අංශභාග – පිළිකා වැනි නිදන්ගත රෝගත් බාධක ලෙස පාද ආබාධ සහ ක්තැන්වීම් හෙවත් ඔත්පලවීම් ඇති කරවයි. රාහු කුජගේ පීඩාවන්ද කේතු සෙනසුරුගේ පීඩාවන්ද උරුම කර දෙන බව කියැවෙයි. මානසික විකෘති වීම් ඇතිවීමද කේතුගේ බලය පෙන්වීමකි.

ගර්ග ඉසිවරයාගේ මතය අනුව ග‍්‍රහයන් අනුව ජන්මියාට අනතුරුදායක කාල වකවානු සඳහන් කර තිබේ.

උපතේ සිට වසර දක්වා සදුගේ බලයද වසරේ සිට වසර තුන දක්වා කුජගේ බලයත් වසර තුනේ සිට දොළස දක්වා කුජගේ බලයත් දොළසේ සිට තිස්දෙක දක්වා සිකුරුගේ බලයත් ඇතිවේ. වසර තිස්දෙකේ සිට වසර පනහ දක්වා ගුරුට ද වසර පනහේ සිට වසර හැත්තෑව දක්වා රවිටද වසර හැත්තෑවේ සිට වසර එකසිය විස්ස දක්වා සෙනසුරුටද ජන්මියාගේ අවනත වීම් ඇතිවේ.

ලග්නාධිපති රවි ග‍්‍රහයාගේ සතුරෙකු නම් අල්පායුෂ ද සම ග‍්‍රහයෙක් නම් මධ්‍යායුෂ ද මිත‍්‍ර ග‍්‍රහයෙක් නම් දීර්ඝායුෂ ද හිමි වන බව ජ්‍යොතිෂමය නිගමනයයි.

අල්පායුෂ යෝගයෙන් උපන් අය විපත් තැනක හිමි ග‍්‍රහයාගේ දසා කාලයේද මධ්‍යායුෂ යෝගයෙන් උපන් තැනැත්තා ප‍්‍රත්‍යාරි නැකත හිමි ග‍්‍රහයාගේ දසා කාලයේදීද දීර්ඝායුෂ යෝගයෙන් උපන් තැනැත්තා වඳ නැකත හිමි ග‍්‍රහයාගේ දසා කාලයේද මරණයට පත්විය හැකිය.

උපන් ලග්නයෙන් තුන්වැන්නත් අටවැන්නත් ජන්මියාගේ ආයුෂ තීරණය කිරීමට ඉවහල් වෙයි. විසිදෙවන දෙර්කාණාධිපතිගේ බලයද මෙහිදී විමසුම් කළ යුතුය. ලග්නාධිපති සහ අෂ්ඨමාධිපති ආයුෂ සඳහා අධිපති වන ග‍්‍රහයෝය. ආයුෂය සඳහා සියල්ල විශේෂ ඇඳුරත් ඇසුරෙන් දැකීම යහපත්ය. එහෙත් බලවත් වන්නේ මරණයට වඩා ජීවත් වන ඉදිරි කාලය යහපත්ව දැකීමයි.

– ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

Loading...