වර්තමානයේ බොහෝදෙනා උත්සාහ දරන්නේ තමන්ගේ සම පැහැපත් කරගන්නවාටත් වඩා සම සුදු කරගැනීමටය. නවීන විද්‍යාව දියුණුවීමත් සමඟම ලෝකයේ බොහෝ රටවල් සම සුදු කර ගැනීමට විවිධ ක්‍රම අත්හදා බලමින් සිටී. ඒවායින් ඇතැම් අත්හදා බැලීම් සාර්ථක වුවද ඇතැම් විට මිනිසාගේ සිරුරට අහිතකර, විවිධ අසාත්මිකතා ඇතිකරවන අවස්ථා මතු වේ.

සුදුවීමට වැඩිපුරම උත්සාහ දරන්නේ පිරිමි පාර්ශ්වයටත් වඩා කාන්තා පාර්ශ්වය වීම සාමාන්‍ය දෙයකි. එය ලෝකයේ බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවටත් පොදු වූ කරුණකි. කෙනෙක් සුදුවීමට උත්සාහ දැරීම වැරැද්දක් ලෙස සැලකීමට නොහැක. විශේෂයෙන්ම ඕනෑම කාන්තාවක් උත්සාහ දරන්නේ තමන්ගේ ස්වභාවික රූප සම්පත්තියට වඩා සුන්දරත්වයත් මෙන්ම සුදක් එක්කර ගැනීමටය. ඒ සඳහා කෙනෙකුට හානියක් නොවී තම නිරෝගීභාවය ආරක්ෂා කරගනිමින්ම සුදුවන්නට ක්‍රමයක් ඇත්නම් එය අත්හදා බලා ක්‍රියා කිරීමෙහි වරදක් දැකිය නොහැක. ඕනෑම කෙනෙක් අන් අයට ආකර්ෂණය වන ලෙස ජීවත් වෙන්නට කැමතිය. එය කුඩා කල සිට මහල්ලා දක්වා පොදු වූ කරැණකි. නමුත් ඒ සඳහා මීට වඩා සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත්ය.

“අපි උත්සාහ කරගත යුත්තේ අපේ පැහැය නිරෝගිමත් වන ලෙස, නිවැරදි ලෙස වර්ණවත් කර ගැනීමටයි. එය අපි පැහැපත්කම ලෙස හඳුන්වනවා. අපේ සිරුරේ ඇති පැහැය එමඟින් වැඩිදියුණු කරගන්නවා. නමුත් අපිට මුණගැහෙන්න එන කවුරුවත් “අනේ මට නිරෝගිමත් පැහැපත් භාවයක් ලබාදෙන්න” කියල කියන්නේ නම් නැහැ. ඒ අය ඇවිත් අපිට කියන්නේ “අනේ අපිව සුදු කරන්න” කියලායි යැයි ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී නදීශා ද සිල්වා මහත්මිය පැවැසුවාය.

ආසියාතික මිනිසුන් ලෙස අපට පිහිටා ඇත්තේ දුඹුරු රන්වන් පැහැය මිශ්‍ර සමකි. ඇතැමුන් ලා දුඹුරු පැහැති සමකට හිමිකම් කියති. ඕනෑම කෙනෙකුගේ පැහැය ජානවලින් පවතින දෙයකි.

“කෙනෙකු සුදු හෝ කළු පැහැය ඇතිවන්නේ ඒ තැනැත්තාගේ ජානවල හේතූන් නිසයි. යුරෝපා රටවල සියල්ලන්ම සුදු පැහැයෙන් යුක්ත වුවත් ආසියාතික රටවල බොහෝ මිනිසුන් දුඹුරු හෝ ලා දුඹුරු වර්ණවලින් යුක්ත වෙනවා. රටවල්වල දේශගුණික බලපෑම් අනුවද මිනිසුන්ගේ වර්ණය වෙනස් වෙනවා. කාලාන්තරයක් තිස්සේ ඒ ප්‍රදේශවල ජීවත්වීමෙන් ඒවාත් ඒ ජානවලට එකතු වෙනවා. මේ නිසා කෙනෙක්ට බලහත්කාරයෙන් තම වර්ණය වෙනස් කර ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නෙමේ. මීට අමතරව තවත් සමහරුන්ගේ ජානවල එම විකෘතිතා හේතුවෙන් සිරුර සුදු පැහැයක් ගන්නවා. ඇතැමුන්ගේ මෙම ජානවල විකෘතිතා හේතුවෙන් සිරුරේ තැනින් තැන සුදු පැහැයක් ගන්නවා. සුදු කළු භේදයට ප්‍රබලව බලපාන්නේ සමේ ඇති මෙළනින් වර්ණකය හේතුවෙන්. මෙම මෙලනින් වර්ණකය අඩු වූ විට සුදු පැහැයත් එය වැඩි වූ විට කළු පැහැයත් සිදුවෙනවා.” යැයි ආයුර්වේද විශේෂඥ වෛද්‍ය රූපලාවණ්‍ය උපදේශක ඒ.එච්. තෙන්නකෝන් මහතා පැවසීය.

සුදුවීම වර්තමානයේදී කාලීන උමතුවක් වී හමාරය. බොහෝ අය සුදුවීමට උත්සාහ දරන්නේ විවිධ හේතුන් නිසාවෙනි. ඒ අතරින් කාන්තාවන් වැඩිවශයෙන් සුදුවීමට උත්සාහ දරන්නේ පිරිමින්ගේ ආකර්ෂණය දිනා ගැනීමටය. විශේෂයෙන් විවාහ වීමට සූදානම් වන වයසේ පසුවන තරුණියෝ තම ආදරවන්තයාගේ ආකර්ෂණය දිනාගැනීම සඳහා සුදුවීමට විවිධ ක්‍රම අත්හදා බලති.

මීට අමතරව බොහෝ අය සුදුවීමට උත්සාහ දරන්නේ තමන් කැමැති පුද්ගලයන්ගේ සමට සමාන වීමටය. විශේෂයෙන් තමන් වඩාත් ප්‍රියකරන නළු නිළියන්ගේ වර්ණයට සමාන වර්ණයක් ලබාගැනීමට උත්සාහ ගනිති. මේ නිසා මෙවැනි අය රූපලාවණ්‍යාගාරයට ගොස් “මට මේ නිළිය වගේ සුදු වෙන්න ඕනේ” යැයි රූපලාවණ්‍ය ශිල්පිණියට ඇවිටිලි කරනා අවස්ථාද නැතිවා නොවේ. පාසලේදී හෝ රැකියා ස්ථානයේදී අන් අය ඉදිරියේදී තම සිරුරේ වරණය නිස කොන්වන බව සිතට දැනීම නිසාත් තව සමහරු තම වර්ණය වෙනස් කරලීමටත් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ තම සුන්දරත්වය පෙන්වීමටත් හැකිවන ලෙස සුදුවීමට උත්සාහ ගනිති.

මේ නිසා බොහෝ කාන්තාවන් තුළ සුදුවීමට ඇත්තේ දැඩි කැමැත්තකි. මේ බොහෝදෙනා සුදුවීම සඳහා විවිධාකාර ආලේපන වර්ග භාවිත කරති. ඇතැම්හු බ්ලිචින් ක්‍රීම් ආලේප කරති. සමහරු දැන හෝ නොදැන ඉක්මනින් සුදුවීමට රසදිය වැනි බොහෝ රසායනික ද්‍රව්‍යයන් අඩංගු ක්‍රීම්වර්ග පාවිච්චි කිරීමට උත්සාහ ගනිති. එමගින් සිදුවන්නේ මිනිස් සිරුරේ ඇති උඩු ස්ථරය යම් පිළිස්සීමකට ලක්වීමය. මෙම පැහැය පිළිස්සීම හේතුවෙන් සිරුරේ පවතින රෝම කූප ඇතුළු සියල්ල යම් සුදු පැහැයකින් දිස්වේ. ඇතැම්විට එය රත්රන් වර්ණකයකින්ද පෙනී යා හැක. මේ අවස්ථාවේදී බැලූ බැල්මට සුදු පැහැය දිස්වුවද පැහැපත් වුවද කාලයක් ගතවෙද්දී තිබෙන පැහැයද නැතිවී, ආසාත්මිකතා හටගැනීම හේතුවෙන් ඇතැම්විට රෝහල් ගතවීමට ද පුළුවනි. මේ තත්ත්වයන් හේතුවෙන් සමහරුන්ට ජීවිතය අහිමි වූ අවස්ථාද නැතිවාම නොවේ.

“බොහෝ කාන්තාවන් වර්තමානයේදී සුදුවන්නට උත්සාහ දරන්නේ එන්නත් ක්‍රම මගින්. එසේත් නැත්නම් ලේසර් ක්‍රම මගින්. මෙම එන්නත් මඟින් ග්ලුටෝ පයෝන් ශරීරයට එන්නත් කරගන්නවා. ග්ලුටෝ පයෝන් අප ශරීරයේ සාමාන්‍ය ප්‍රමාණයක පවතින දෙයක්. මෙය අප ශරීරයේ වැඩිපුර පවතින දෙයක් නොවේ. ශරීරයට පිටතින් එන්නත් ක්‍රම මඟින් ග්ලුටෝ පයෝන් ඇතුළු කරගැනීමටත් වැඩිවන මෙළනින් නම් ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ග්ලුටෝ පයෝන් පාලනය කරගන්නවා. එවිට ප්‍රබලතම ප්‍රතිඔක්සිකාරකයන් සමඟ පාලනය වීමත් සමඟ යම්කිසි පැහැයක් ඇතිවෙනවා. නමුත් මෙම එන්නත් ක්‍රමය හිතුමතේට පාවිච්චි කරන්න බැහැ. එයටම සුවිශේෂී වූ විශේෂඥ වෛද්‍යවරැන්ට පමණයි මෙම එන්නත් ලබාදිය හැකි වන්නේ.” යැයි ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී නදීශා සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.

සුදුවීමට පමණක් නොව වර්තමානයේදී බොහෝ කාන්තාවෝ තම රූපය සුන්දර කර ගැනීමට විවිධ නවීන ක්‍රම අත්හදා බලති. විශේෂයෙන් මුහුණේ රැලි වැටීම තාවකාලිකව හෝ වළක්වා ගැනීමට, පපු ප්‍රදේශය විශාල කර ගැනීමට, දෙතොල විශාල කර ගැනීමට උත්සාහ ගනිති. නමුත් මේ සියල්ලම කළ යුත්තේ ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් හා අනුමැතිය ඇතිව පමණි. අද බොහෝ රූපලාවණ්‍යාගාර තුළදීද මෙවැනි එන්නත් ක්‍රම සිදුකරයි. හතු පිපෙන්නා සේ රූපලාවණ්‍යාගාර බිහිවන්නා සේ ඒ හා සමානවම එවැනි ආයතනවලින් රූපයට යම් හානියක් සිදුවීමෙන් රෝගී වූ අවස්ථාද නැතිවාම නොවේ. ඇතැමුන් මෙම එන්නත් තමන් විසින්ම එන්නත් කරගනී. එය ඉතා භයානක තත්ත්වයකි. එන්නත් කිරීම යනු ඉතා වේදනාකාරී අවස්ථාවකි. සුදුවීමට ඇති බලවත් ඕනෑකම නිසාම මෙම අධික වේදනාව වුවද විඳදරා ගැනීමට මොවුහු පෙළඹෙති.

වර්තමානයේ කතුන් සුදු කරන විශාලම මාෆියාව වන්නේ ආලේපන වර්ගයි. මේ වනවිට නොයෙකුත් වර්ගයේ ක්‍රීම් වර්ග වෙළෙඳපොළේ ඇත. ඇතැම් ක්‍රීම් රූපලාවණ්‍යාගාරවලම නිෂ්පාදනය කෙරේ. වෙළෙඳපොළට ගොස් ආලේපන වර්ගයක් ආලේපනය කරද්දී සොයා බැලිය යුතු කරුණු කාරණා රාශියකි. “හිතුමතේට ආලේපන වර්ග මිලදී ගන්න එපා. තව කෙනෙකු පාවිච්චි කරන, ක්‍රීම් ආලේපන වර්ගයක් තමන් හිතුමතේට ආලේප කරන්න එපා. වෙළඳපොළේ ඉතා සාර්ථක, ඉතා උසස් ආලේප වර්ගද පවතිනවා. ඒවා මිලදී ගන්න. යම් ආලේපන වර්ගයක් මිලදී ගනිද්දී එහි වෙළෙඳ නාමය, නිෂ්පාදිත රට, එහි අන්තර්ගතව ඇති ද්‍රව්‍යයත්, ආනයනය කරන සමාගම, නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය හා ඒ සම්බන්ධව ඇති තත්ත්ව සහතිකය පිළිබඳව අවධානය යොමුකරන්න.” යැයි මේ පිළිබඳ බොහෝ විශේෂඥයෝ අවවාද කරති.

වෙළෙඳ පොළ විවෘතය. නමුත් පාරිභෝගිකයා බුද්ධිමත් විය යුතුය. ජීවත්වීමට විශාල කාලයක් නොමැත. ඒ කාලය තුළ සුන්දරව ජීවත්වන්නට ඕනෑම කෙනෙකු කැමැතිය. එහි කිසිදු වැරැද්දක් නැත. නමුත් හිතුමතේට වෙළෙඳ පොළේ ඇති ආලේපන මුහුණේ ආලේප කිරීමත් අඩු මුදලට වෙළෙඳ පොළේ ඇති ආලේපනවලට රැවටීමත් හානිකර ප්‍රතිඵල උදාකරයි. ඇතැම් ආලේපනවල අලුතින් ස්ටිකරයක් අලවා තිබීම දක්නට ලැබේ. ඒ කල් ඉකුත් වූ දිනය වෙනුවට නව දිනයක් ආදේශ කරමින්ය. මෙවැනි ආලේපන භාවිතයෙන් අසාත්මිකතා ඇතිවේ. ඇතැම්හු මේ පිළිබඳව තව කෙනෙකුට කීමට පවා මැලිවෙති. මේ තත්ත්වයට වැඩිපුරම මුහුණ දෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවය. මුදල් හදල් ඇති අය වැඩිපුර මුදලක් වියදම් කොට විදෙස් රටකට ගොස් ඉහළ ප්‍රමිතියකින් යුත් එන්නත්, ආලේපන, මඟින් සුදුවීමට උත්සාහ ගනිති. නමුත් මාසේ වැටුපෙන් යම්තමින් ජීවත්වෙන කුඩා සැෂේ පැකට්ටුවක් ගෙන ලස්සන වෙන්නට උත්සාහ ගන්නා අප රටේ තරුණ තරුණියන් බහුතරයකට සුදුවන්නට ගොස් තිබෙන ලස්සනත් නැති කරගෙන ඇතැම් විට ජීවිතෙන්ම වන්දි ගෙවන්නට සිදුවීම කොයිතරම් නම් අවාසනාවන්තද?

► දිශානි ජයමාලි කරුණාරත්න

Loading...