අනියම් ප්‍රේම සම්බන්ධතාවයක්‌ මත ඇති වූ බහින් බස්‌ වීමක්‌ දුරදිග ගොස්‌ පහරදී ඝාතනය කර හදිසි අනතුරකට ලක්‌ වූ බව පවසා බළපිටිය මූලික රෝහලට භාර දෙන ලද ඌරගස්‌මන්හන්දිය, යටගල ප්‍රදේශයේ තරුණියගේ ඝාතනයට සම්බන්ධ බව කියන ඇයගේ අනියම් පෙම්වතා රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට ඇල්පිටිය මහෙස්‌ත්‍රාත් ගයාන් මීගහගේ මහතා නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශනය කර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක්‌ මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්‌ත්‍රාත්වරයා ඌරගස්‌මන්හන්දිය පොලිසියට දැනුම් දුන්නේය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ පරප්පුව, පැලෑගස්‌ පළාත, කොස්‌ගොඩ ලිපිනයේ පදිංචි හේවගේ තිලාන් ජයසිංහ (27) නැමැති අයයි.

ඌරගස්‌මන්හන්දිය, යටගල ප්‍රදේශයේ පදිංචිව සිටි සුරංගි සඳමාලී නමැති 24 හැවිරිදි අවිවාහක තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

විවාහකයකු වන සැකකරු, ඝාතනයට ලක්‌ වූ අවිවාහක තරුණිය සමග දීර්ඝ කාලයක සිට අනියම් ප්‍රේම සම්බන්ධතාවයක්‌ පවත්වාගෙන ගොස්‌ තිබේ.

සැකකරුට අයත් වෑන් රථයෙන් සැකකරු සමග මෙම තරුණිය බොහෝ අවස්‌ථාවල විවිධ ගමන් බිමන්ද ගොස්‌ තිබෙන බව පොලිස්‌ පරීක්‍ෂණවලදී තහවුරු වූයේ යෑයි ඌරගස්‌මන්හන්දිය පොලිසිය කියයි.

ඇඟලුම් කම්හලක සේවය කරන ඝාතනයට ලක්‌ වූ තරුණිය සේවය නිම වී පසුගිය ජුනි 12 දින රාත්‍රී නිවසට පැමිණෙමින් සිටියදී සැකකරු විසින් සිය වෑන් රථයට නංවා ගෙන තිබේ.

එයින් පසුව දෙදෙනා අතර ඇති වූ කතාබහක්‌ බහින්බස්‌ වීමක්‌ දක්‌වා දුරදිග ගොස්‌ ඇත.

එහිදී ඝාතනයට ලක්‌වූ තරුණිය, සැකකරුගේ කම්මුලට වැරෙන් පහරක්‌ එල්ල කර තිබෙන බවත් එයින් පසු සැකකරු වාහනයේ ජැක්‌ ලිවර් එක රැගෙන තරුණියට පහරක්‌ එල්ල කර ඇති බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී තහවුරු වූයේ යැයි ඌරගස්‌මන්හන්දිය පොලිසිය කියයි.

තරුණියගේ හිස ඉලක්‌ක කරගෙන එල්ල කරන ලද එම පහර බෙල්ලට වැදුන බවද සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත.

එයින් පසුව තරුණිය සිහි සුන්ව ඇද වැටී ඇති බවත් සිය වෑන් රථයෙන්ම තරුණිය බළපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බවත් සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබේ.

තරුණිය බළපිටිය මූලික රෝහලට රැගෙන එන ලද වෑන් රථයේ අංකය ඔස්‌සේ පරීක්‌ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ඌරගස්‌මන්හන්දිය පොලිසියේ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේය.

සැකකරුගේ විවාහක බිරිය මීට වසර දෙකකට පමණ පෙර සැකකරු අතහැර ගොස්‌ තිබෙන බවත් ඇය එයින් පසුව සැකකරු සමග කිසිදු සම්බන්ධතාවයක්‌ පවත්වා නොමැති බවත් පොලිස්‌ පරීක්‍ෂණ වලදී තහවුරු වී තිබේ.

ඌරගස්‌මන්හන්දිය පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සුජිත් ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීම මත උප පොලිස්‌ පරීක්‍ෂක කේ. ජී. සොයිසා, පොලිස්‌ සැරයන් ධනපාල යන නිලධාරීහු සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙය වූහ.

Loading...