ඉස්ලාමික රාජ්‍යයේ ප‍්‍රකාශක ලෙස කටයුතු කළ මොහොමඞ් අල් අද්හානි නම් ත‍්‍රස්තයා මීට වසර කිහිපයකට පෙර සිදුකළ ප‍්‍රකාශයක් මෙලෙස උපුටා දක්වමි.

“අපි නුඹලාගේ රෝම නගරය ආක‍්‍රමණය කරනවා. නුඹලාගේ කුරුස කඩා දමනවා. නුඹලාගේ ස්ත‍්‍රීන් ලිංගික වහලූන් බවට පත්කරනවා. ඒ සඳහා අල්ලාහ් දෙවියන්ගේ අනුමැතිය ලැබෙනවා. ඇත්තටම රෝමය ආක‍්‍රමණයට අපට කාලය ඉතිරි නොවුණහොත් අපේ දරුවන් හෝ මුණුපුරන් හෝ මේ කාර්යය අනිවාර්යයෙන් කරනවා. එවිට නුඹලාගේ දරුවන් අපි වහලූන් ලෙස ගෙන විකුණා දමනවා” යැයි IS සංවිධානයේ ඊනියා මාධ්‍ය ප‍්‍රකාශකයා සඳහන් කර තිබුණේ යුරෝපයේ සුදු ක‍්‍රිස්තියානීන් භීතියට පත් කිරීම සඳහාය.

මේ ප‍්‍රකාශකයාත් විවිධ වහසි බස් දෙඩුවාට ඇමෙරිකානු ගුවන් ප‍්‍රහාරයකට ලක් වී කෑලි කෑලි කැඞී විනාශයට පත්විය.

රුසියානු හමුදාවත්, ඉරාක හමුදාවත් සිරියාවේ මෙන්ම ඉරාකයේ කළ මෙහෙයුම් නිසා IS සංවිධානය පරාජයට පත්විය.

නමුත් මොවුනගේ සාමාජිකයෝ දස අත විසිර සිටිති.

සිරියාවෙන් හා ඉරාකයෙන් පැන ආ ත‍්‍රස්තයන් කොටසක් දැන් ඇෆ්ගනිස්තානයේ කඳවුරු බැඳ සිටිති.

IS සංවිධානයේ ඉතිරිව සිටින සාමාජිකයන්ගේ අරමුණ වන්නේ රුසියාවට පහරදීමයි.

ඒ මෙහෙයුම් ක‍්‍රියාත්මක වනු ඇත්තේ ඇෆ්ගනිස්තානයේ සිටය.

මේ නිසාම රුසියානු ප‍්‍රව්දා පුවත්පත වාර්තා කර තිබුණේ සිරියාවෙන් පසුව ඇෆ්ගනිස්තානය වෙත හමුදාව යැවීමට මොස්කව් ආණ්ඩුව සූදානමින් සිටින බවයි.

මොහොමඞ් අල් අද්හානි ගැනත් IS සංවිධානය ගැනත් යළි සිහිකරනු ලැබුවේ ශ‍්‍රී ලාංකික මුස්ලිම් තරුණයකු ඔස්ටේ‍්‍රලියාවේ අත්අඩංගුවට පත්වීමත්, ඔහුට අයිසිස් සාමාජිකයකු යැයි චෝදනා එල්ලවීමත් නිසාය.

මොහොමඞ් කාමෙර් නිසාමුඞීන් නමැති මොහු පසුගිය 30 වැනිදා ඔස්ටේ‍්‍රලියානු ත‍්‍රස්ත විමර්ශන නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය.

යහපාලන ආණ්ඩුවේ පළාත් පාලන හා ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ බිරිඳගේ සොහොයුරියගේ පුත‍්‍රයා වන කාමෙර් හිටපු ලංකා බැංකු සභාපති ජෙහාන් කාසිම්ගේ මුණුපුරාය.

කාමර් ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මෙන්ම ආසියානු ජාත්‍යන්තර පාසලෙන් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනයට සිඞ්නි හී නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ඇත.

කාමෙර් අත්අඩංගුවට පත් වනවිට එහි ආචාර්ය උපාධිය හදාරණ ශිෂ්‍යයෙක් විය.

ඇමැති ඥාති පුත‍්‍රයාට එල්ල වී ඇති චෝදනා නම් ඉතා බරපතළය.

හිටපු අගමැති මැල්කම් ටර්න්බුල්, විදේශ ඇමැතිනී ජුලියනා බිෂොප් ඝාතනය කිරීමත් සිඞ්නිහි ප‍්‍රධාන ස්ථාන කිහිපයක් පුපුරා දැමීමටත්, කුමන්ත‍්‍රණය කිරීම මොහුට එරෙහි ඉදිරිපත්ව ඇති චෝදනා වේ.

ඔස්ටේ‍්‍රලියානු මාධ්‍ය ප‍්‍රකාශ කරන පරිදි මේ චෝදනා ඔප්පු වුවහොත් කාමේර්ට වසර 15 ක සිරදඬුවම් නියම වනු ඇත.

ඇමැති මුස්තාපා ප‍්‍රකාශ කරන්නේ සිය ඥාති පුත‍්‍රයා අහිංසකයකු බවයි.

එසේම කාමේර්ගේ ඔස්ටේ‍්‍රලියාවේ වෙසෙන සිංහල මිතුරන් කිහිපදෙනකු ද මොහු විවෘත මනසක් ඇති පුද්ගලයකු බවත් කිසිම විටක මූලධර්මවාදී අදහස් දැරුවෙක් නොවන බව ප‍්‍රකාශ කර ඇත.

නමුත් කාමේර් IS සංවිධානයේ තනි වෘකයෙක් ලෙස කටයුතු කළා ද යන්න පිළිබඳව බරපතළ සැකයක් මතුව ඇත.

ලෝකය පුරා විවිධ ස්ථානවල බරපතළ ප‍්‍රහාර එල්ල කර ඇත්තේ IS තනි වෘකයන් විසිනි. :

2014 වසරේ ඔක්තෝබර් මාසයේ 29 වැනිදා කැනඩා පාර්ලිමේන්තුවට ප‍්‍රහාරයක් එල්ල විය.

ක්වෙබෙක් ප‍්‍රාන්තයේ උපන් 32 හැවිරිදි මයිකල් සෙහාන් නම් පුද්ගලයා මෙම ප‍්‍රහාරය එල්ල කළ තැනැත්තාය.

හෙතෙම සැබැවින්ම තනි වෘකයෙකි.

මුස්ලිම් ආගම වැළඳගත් පුද්ගලයකු වූ මොහු කැනඩා පාර්ලිමේන්තුවේ ආරක්‍ෂකයකු ද වෙඩිතබා මරා ඒ ගොඩනැඟිල්ල ඇතුළට කඩා වැදීමට උත්සාහ කරද්දී ආරක්‍ෂකයන්ගේ වෙඩි ප‍්‍රහාරයකින් මරුමුවට පත්විය.

මේ පුද්ගලයා ගැන කැනඩා ආරක්‍ෂක බලධාරීන් කළ පරීක්‍ෂණවලදී සොයාගැනීමට හැකිවූයේ කුමක්ද?

මොහු ද ක‍්‍රියාත්මක වී ඇත්තේ ඉස්ලාමික රාජ්‍යයේ ප‍්‍රකාශකගේ වීඩියෝ පට නරඹා ඒ අනුව තනි වෘකයකු ලෙස ක‍්‍රියාත්මකව ඇති බවයි.

එසේ නම් කාමේර්ට කාගෙන් හෝ උපදෙස් ලැබුණාද?

2017 මාර්තු 22 වැනිදා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය.

මෙය සිදුකරනු ලැබුවේ ද තනි වෘකයකු විසිනි.

ඔහු අයිසිස් අනුගාමිකයෙකි.

52 හැවිරිදි කාලිඞ් මෂුඞ් මේ වෘකයාය.

ඔහුගේ ප‍්‍රහාරයෙන් පස් දෙනකු මරණයට පත් වූ අතර තවත් පනස් දෙනෙක් තුවාල ලැබීය.

(චතුර පමුණුව – දිවයින)

Loading...