අනුරාධපුර, ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ සිට මොනරාගලට පැමිණි යුද හමුදාවෙන් පලාගොස්‌ සිටි සෙබළකු අවුරුදු 15 වයසැති බාලවයස්‌කාර පාසල් දැරියක්‌ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයට රැගෙන ගොස්‌ සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුවතක්‌ දඹගල්ල පොලිසියෙන් වාර්තා වනවා.

යුද හමුදාවෙන් පලාගොස්‌ සිටි 27 හැවිරිදි අදාළ සෙබළා මගහැරුණ දුරකථන ඇමතුමක්‌ ඔස්සේ මෙම පාසල් දැරිය සමග මිත්‍ර සම්බන්ධයක් ගොඩනගාගෙන ඇති අතර පසුව එය ප්‍රේම සබඳතාවක් තෙක් දුරදිග ගොස් ඇතිබව සඳහන්.

ඉන්පසු දෙදෙනා හොර රහසේ පැන යාමට සැළසුම්කර තිබෙනවා.

ඒ අනුව හමුදා සෙබළා මොනරාගල ප්‍රදේශයට පැමිණ අලුයම 5.00 ට පමණ දෙමාපියන්ට හොර රහසේ දැරිය රැගෙන පලාගොස්‌ ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගමනට තවත් හමුදා සෙබළෙක්‌ ද සහයට පැමිණ ඇති අතර එම සෙබළා ද තවත් තරුණියක්‌ රැගෙනවිත් තිබෙනවා.

සිවුදෙනාම කණ්‌ඩායමක්‌ වශයෙන් මොනරාගල නගරයේ සිට වැල්ලවාය හරහා කතරගමට ගොස්‌ මැණික්‌ ගඟෙන් දිය නෑමෙන් පසු එදින කතරගම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන ඇති අතර එහි දී මෙම බාලවයස්‌කාර පාසල් දැරිය සමග හමුදා සෙබළා ලිංගිකව එක්ව ඇති බව හෙළි වී ඇති බව පොලීසිය පවසනවා.

ඉන්පසු පසු දින මෙම සෙබළා දැරිය රැගෙන අනුරාධපුර ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පිහිටි සිය නිවසට ගොස් තිබෙනවා.

පාසල් දැරියගේ දෙමාපියන් මෙම තොරතුරු සොයාගෙන ඒ අනුව ගලෙන්බිඳුනුවැව පොලිසියට ගොස්‌ මෙම සිද්ධිය පිළිබඳව පැමිණිලි කර ඇති අතර ඒ සමග ක්‍රියාත්මක වූ පොලිසිය සැකකාර සෙබළාගේ නිවසට යන විටත් දැරිය සහ සෙබළා එම නිවසේ සිට ඇති බව සඳහන්.

බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීම සහ හමුදාවෙන් පලා ආ චෝදනා යටතේ පොලිසිය විසින් සැකකාර සෙබළාව අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකාර සෙබළා විවාහකයකු බව ද පොලිසිය පසුව අනාවරණය කරගෙන තිබෙනවා.

Loading...