Loading...

මිහින්තලය වේලන්කුළම හන්දියේදී රිය අනතුරකට ලක්වීමෙන් බරපතළ තුවාල ලබා මරණයට පත් වූ ගවයකුගේ මළකුණක් මස් මරන්නෙකු රැගෙනවිත් මස්කර මස් අලෙවියෙන් ලබාගත් මුදලින් මිහින්තලය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් එම ප්‍රාදේශීය සභාවේ සේවකයෙකුද සම්බන්ධකරගෙන මත්පැන් සාදයක් පවත්වා ඇති බව වාර්තා වෙනවා.

අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ග හරහා ගමන් කළ හොඳින් වැඩුණු ගවයා පසුගිය දා රාත්‍රි කාලයේ මිහින්තලය වේලන්කුළම හංදියේදී රිය අනතුරකට ලක් වී ඇති අතර මේ බව දැනගත් මිහින්තලය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් වන උපාලි ආනන්ද, මාධව ලක්ෂාන් සහ අරුණ නිශාන්ත යන තිදෙනා එම ගවයාගේ අවසන් කටයුතු සිදුනොකර පසුදින 14 උදෑසන ගවයා මස් කිරීම සඳහා කටයුතු සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව පෙරමුණගත් මන්ත්‍රීවරයෙකු කටුකැලියාව ප්‍රදේශයේ පදිංචි සතුන් මරන්නෙකු එහි ගෙන්වාගෙන ගවයා රැගෙන ගොස් මස් සඳහා සකසා ඇති බව සඳහන්.

මියගිය ගවයාගේ මස් කිලෝග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් ‍පොහොර උරවල දමා ගවයා මස් කිරීමට මුල් වූ මන්ත්‍රීවරයෙකු විසින් ගෙන්වා ගන්නා ලද ත්‍රිරෝද රථයක දමාගෙන මිහින්තලය නගර පුරා ඇවිදිමින් ආපනශාලාවලට හා නිවාඩු නිකේතනයන්ට ගවමස් අලෙවිකර ඇති ඔවුන් පසුව ඉන් ඉතිරි වූ මස් ප්‍රාදේශීය සභාවටත් රැගෙන ගොස් එහි සේවකයන් කිහිප දෙනෙකුට “හොඳ බඩු” යැයි පවසා කිලෝවක් රුපියල් 500 බැගින් අලෙවිකර තිබෙනවා.

පසුව මස් අලෙවියෙන් එක් රැස් කරගත් මුදලද රැගෙන මිහින්තලය නගර ආසන්නයේ පිහිටි නිවාඩු නිකේතනයකට ගොස් ඇති මන්ත්‍රීවරුන් තිදෙනා හා සභාවේ සේවයේ නියුතු සේවකයා අදාළ මත්පැන් සාදය පවත්වා ඇති අතර ඔවුන් මත්පැන් පානය කර ඇත්තේ අදාළ ගවයාගේම මස්වලින් සකස් කර ගත් කටගැස්මක රස බලමින් බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව ප්‍රාදේශීය සභා සේවකයා මිහින්තලය නගරය මැදින් වෙරිමතින් පරුෂ වචන කියමින් ගමන්කොට පෙර පාසලකට පැමිණ එහි ගුරුවරියට ද පරුෂ වචනයෙන් බැණ වැදී තිබෙනවා.

පසුව ඔහු නැවත ප්‍රාදේශීය සභාවට ගොස් එහි නිලධාරිගේ රාජකාරීවලට ද බාධාවන අයුරින් කෑ කෝගසා අශෝබන ලෙස හැසිරී ඇති අතර පසුව එම ආයතනයේ සේවයේ නියුතු නිලධාරියෙකු ඔහුගේ අතපය බැඳ මෙල්ලකර ඇති බව පැවසෙනවා.

අනතුරුව මත්පැන් සාදයේසිටි මන්ත්‍රීවරයෙකුම පැමිණ අදාළ සේවකයා නිවසට කැඳවාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධියත් සමග හදිසි අනතුරකින් මරණයට පත් වූ ගවයෙකු මස්කර මධුවිත වී තොළ ගෑ මන්ත්‍රීවරුන් තිදෙනාට හා සේවකයාට මේවන විට තිරිසන් සතුන් කිහිප දෙනෙකුගේ නම් පටබැඳී ඇති බව ද පුවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයට සහය පළ කරන්නන් බව සඳහන්.

Loading...