“මම යුදහමුදා නිලධාරි නිවස්නයේ රාජකාරියේ නිරතවයි හිටියේ. නිවස්නයේ ඉඳලා එළියට ඇවිත් ටිකක් වෙරළ දිහා බලාගෙන හිටියා. වෙරළට මීටර් දහයක් දොළහක් ඈතින් යමක් පාවෙනවා දැක්ක නිසා මම ඒ දිහා බලාගෙන ඉඳලා ටිකක් ලොකුවට පෙනුණු නිසා මම ටිකක් ළඟට ගිහින් බැලුවා. එතකොටයි දැක්කෙ මළසිරුරක් පාවෙමින් තියෙනවා.”

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක අතුරුදන්ව ඇතැයි කියන පැමිණිල්ලක් පොලීසියට ලැබී තිබෙන අතරතුර ඇගේ මළසිරුර මුහුදේ පාවෙමින් වෙරළට ගොඩගසන අයුරු දුටු යුද හමුදාවේ සාමාන්‍ය සෙබළ ප්‍රදීප් ප්‍රියන්ත එසේ පැවසීය.

නඩරාසා පොතනායගී මහත්මිය නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපයේ ව්‍යාපාර අධ්‍යයන හා ජනසන්නිවේදන පීඨයේ කථිකාචාර්යවරියක වශයෙන් කටයුතු කළාය.

කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි ඇය නතර වී සිටියේ එම විශ්වවිද්‍යාලයේ නිල නිවෙසකය.

ඇගේ ස්වාමියා වව්නියාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක කළමනාකරු වශයෙන් සේවය කළ අතර දෙදෙනා එකට හමුවන්නේ සති අන්තයේදී පමණය.

මේ නිසා දීර්ඝ නිවාඩුවක් සහිත සති අන්තයක් එළැඹෙන බැවින් සිකුරාදා දිනය නිවාඩු ලබා ගෙදර යාමට බලාපොරොත්තුව සිටියාය.

ඉකුත් සිකුරාදා පෙරවරුවේ ත්‍රිකුණාමලය වෙරළ තීරයේ ශාරීරික අභ්‍යාසවල නිරතවීම සඳහා පැමිණි පුද්ගලයෙකි.

ටික වේලාවක් වෙරළේ දිවයමින් සිටි ඔහුට එක ස්ථානයක තිබූ අත්බෑගයක් සහ පාවහන් යුගලක් හමුව තිබුණි.

කාන්තාවකට අයත් බව පෙනුණත් ඒවායේ හිමිකාරියක් අසළක සිටියේ නැත.

එබැවින් ඒ පිළිබඳව විපරම් කළ ඔහු ඒ පිළිබඳ සැකයෙන් ඒ සියල්ල රැගෙන වෙරළ ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට බාරදීමට කටයුතු කර තිබිණි.

එහි නිලධාරියෙක් බෑගය පරීක්ෂා කරද්දී එය නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියකට අයත් බව දැනගෙන තිබුණේ හැඳුනුම්පත, සේවා හැඳුනුම්පත, ජංගම දුරකථනය, මුදල් පසුම්බිය සහ කුඩා කැමරාවක් ඇතුළු එහි තුළ තිබූ භාණ්ඩ පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.

ඒ අනුව එම නිලධාරීහු වහාම අදාළ කටයුතු විශ්වවිද්‍යාලයට දැනුම් දීමට කටයුතු කළහ.

විශ්වවිද්‍යාලයට දුරකථන ඇමතුමකින් ඒ තොරතුරු පැවසීමේදී එහි නිලධාරීන් පවසා තිබුණේ ඇය නිවාඩු ලබා ගෙදර යන බව පවසා පිටත්ව ගිය බවය.

මේ සිදුවීමෙන් පැය කිහිපයක් ගතවී තිබුණ ද කථිකාචාර්යවරිය පිළිබඳ හෝඩුවාවක් තිබුණේ නැත.

ත්‍රිකුණාමලය සංඝමිත්තා වෙරළ තීරයට යාබදව පිහිටි හමුදා කඳවුරකි.

එහි සේවයේ නිරතව සිටි සාමාන්‍ය සෙබළ ප්‍රදීප් ප්‍රියන්ත මහතා වෙරළට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ යමක් දැක ඒ පිළිබඳව විමසිලිමත් වී තිබේ.

එහිදී හඳුනාගෙන තිබුණේ මළසිරුරක් වෙරළට ගොඩගසන බවය.

එසේ ගොඩගසා තිබුණේ පෙර කී අතුරදන් වූ බවට පැමිණිලි ලැබුණු කථිකාචාර්යවරියගේ මළ සිරුරය.

එදින පෙරවරුවේ ඇගේ අත්බෑගය හා පාවහන් යුගළ හමුවූ ස්ථානයේ සිට කිලෝමීටර් එකහමාරකට පමන ඈතින් පිහිටි සංඝමිත්තා වෙරළේදී සිරුර ගොඩගසා තිබිණ.

මේ අයුරින් නිවාඩු ලබා ගෙදර යන බව පැවසූ කථිකාචාර්යවරියගේ මළසිරුර වෙරළෙන් හමුවීම තවමත් අභිරහසකි.

අනතුරැව ක්‍රියාත්මක වූ පොලීසිය සිද්ධිය පිළිබඳව දන්වා කථිකාචාර්යවරියගේ ඥාතීන් එම ස්ථානයට ගෙන්වා තිබුණි.

ඉන්පසුව ත්‍රිකුණාමලය අතිරේක මහේස්ත්‍රාත් හා කුච්චවේලි සංචාරක මහේස්ත්‍රාත් චමිලා රත්නායක මහත්මිය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරන්නට පැමිණියාය.

එහිදී මියගිය අයගේ සැමියා වන එස්. සෙන්දුරන් මළසිරුර සිය බිරියගේ බවට ප්‍රකාශ කළේය.

එහෙත් ඊට වඩා යමක් ඔහු ප්‍රකාශ කළේ නැත.

ඉන් අනතුරුව මළසිරැර පාවෙමින් වෙරළට ගොඩගසනවා දුටු යුද හමුදා සෙබළා සිද්ධිය පිළිබඳව විස්තර කළේය.

මළසිරුර පිළිබඳව නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ මියගිය තැනැත්තිය ගැබිණියක් වන හෙයින් විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙක් යටතේ මරණ පරීක්ෂණය සිදුකළ යුතු බවය.

ඒ අනුව මරණ පරීක්ෂණය ත්‍රිකුණාමලය රෝහලේ සිදු නොකොට යාපනය ශික්ෂණ රෝහලේ සිදුකිරීමට නියෝග කෙරිණි.

මේ අතර ඥාතීන්ට නියෝග කර තිබුණේ මරණ පරීක්ෂණයෙන් අනතුරුව බාරගන්නා දේහය ආදාහනය නොකොට මිහිදන් කළයුතු බවය.

ඒ අනුව වැඩිදුර විමර්ශනය ඔක්තෝබර් 12 දිනට සිදුකරන බවද ප්‍රකාශ කළාය.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් මරණයට හේතුව දියේ ගිලී සිදුවූවක් බවට දක්වා තිබුණි.

මරණය පිළිබඳව වෙනත් සැකසහිත යමක් හෝඩුවාවක් නොවීය.

නමුත් ගැබිණියක වූ කථිකාචාර්යවරිය සිය නිවෙසට නොගොස් මුහුදේදී සිදුවූ හදිසි මරණය තවමත් අභිරහසකි.

► සමන්ත ප්‍රදීප් විල්තෙර

Loading...