වැරදුන ඉලක්‌කයකට ගොදුරු වී බරපතළ තුවාල සහිතව රාගම ශික්‌ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයක්‌ කර ඉන් පසු ජීවිතක්ෂයට පත් වූ ඈන් රසිකා රොයල් නමැති කාන්තාව 40 හැවිරිදි දෙදරු මවක්.

(වීඩියෝව සඳහා පහළට යන්න)

ඇය මේ අනපේක්‌ෂිත සිද්ධියට මුහුණ පෑවේ ඇය විසින් ආරම්භ කිරීමට සැලසුම් කළ නව ළදරු පාසලට නාමපුවරුවක්‌ ගෙන ඒම සඳහා තම 9 හැවිරිදි දියණියත් සමග තම මෝටර් රිය පදවාගෙන ජාඇලට යමින් සිටියදී කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ වැලිගම්පිටියේදීයි.

පොලිසිය පවසන්නේ සිද්ධිය වූ දින උදේ අපරාධ ගණනාවකට සැකකරන වස්‌කඩුවේ අජිත් නමැත්තකු කිසියම් අපරාධයක ඇප කොන්දේසි මත කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හා පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසයේ පෙනී සිට යමින් සිටියදී කිසියම් පිරිසක්‌ තමන් ලුහුබඳින බවට පොලිසියට පැමිණිලි කොට ඇති බවයි.

වෙඩික්කරුවන්ගේ ඉලක්‌කය වී ඇත්තේ අජිත් නමැත්තා   බවත් සැකකරුවන්ගේ ඉලක්‌කය වැරදී මේ කාන්තාව ඊට ගොදුරු වී ඇති බවත් පොලීසිය සැක කරනවා.

අජිත් සහ රසිකා පැදවූ මෝටර් රථ දෙකම එකම වර්ගයේ සහ එකම පැහැයේ වීම ඊට හේතුවයි.

ඈන් රසිකා දිගු කලක්‌ තම සැමියා වූ දීපාල් කොස්‌ටා සමග ඉතාලියේ රැකියාව කොට තිබෙනවා.

ඇගේ සැමියා අදටත් රැකියාව කරන්නේ ඉතාලියේයි.

මීට වසර අටකට පමණ පෙර තම දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු ගැන සිතා ඇය ලංකාවට පැමිණ තිබෙනවා.

ලංකාවට පැමිණි ඇය තම දරු දෙදෙනා සීදුව සාන්ත තෝමසුන්ගේ ජාත්‍යන්තර විදුහලට ඇතුළත් කොට තිබුණා.

9 හැවිරිදි එලිසා පස්‌වන ශ්‍රෝණියේත් 12 හැවිරිදි පුතා ජුලියර් සත්වැනි ශ්‍රෝණියේත් ඉගෙනුම ලබමින් සිටිනවා.

ඇයගේ දෙමාපියන් සහ අසල්වැසියන් පවසන අන්දමට කොයි කාගේත් හොඳ හිත දිනාගෙන සිටි ඈන් රසිකා ගුණ යහපත් වීරියවන්ත ගැහැනියක්‌ පමණක්‌ නොව යහපත් දුවක්‌ හා ආදරණීය බිරිඳක්‌ මවක්‌ ද වූවා.

මෙතෙක්‌ කල් ඇයත් ඇගේ දරුදෙදෙනාත් ජාඇල කපුවත්තේ වැලිකුරුඳුවත්තේ අංක 95 දරන නිවසේ පදිංචිව සිට ඇති අතර දැනට එම නිවෙසද වසා දමා තිබෙනවා.

තම මවට වෙඩි වදින අවස්‌ථාවේ එම රථයේ යාබද අසුනේ සිටි එලිසා දුව මේ වන විටත් බියවී යම්කිසි පීඩනයකින් ආතතියකින් පසුවන බව පෙන්නුම් කරන බව සඳහන්.

සිද්ධියට සම්බන්ධ කිසිවෙකුත් මේවනවිටත් අනාවරණය කරගැනීමට නොහැකි වී ඇති අතර සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්‌ෂණ පැවැත්වීමට විශේෂ කණ්‌ඩයම් දෙකක්‌ යොදවා ඇති බව කැලණිය කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පෙලිස්‌ අධිකාරි උපාලි ජයසිංහ මහතා පවසනවා.

සිද්ධිය මාර්ගයේ CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.

ජාඇල ප්‍රහාරයේ CCTV වීඩියෝව

ජාඇල ප්‍රහාරයේ CCTV වීඩියෝව

Posted by Sinhala Puvath on Sunday, 30 September 2018

Loading...