යතුරුපැදියක් පසුපස ගමන්කරන ඇමතිවරයෙකුගේ ඡායාරූපයක් ඊයේ දහවල් සමාජ ජාලයන්හි සංසරණය වීමත් සමග ඒ වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුනා.

(ඡායාරූප සඳහා පහළට යන්න)

මෙලෙස යතුරුපැදියක ගමන්කරන්න සිදුවුනේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්ටයි.

තමන්ට මුහුණ දීමට සිදුවූ මෙම අනපේක්ෂිත අත්දැකීම පිළිබඳව පාර්ලිමේන්තුවට පැමිණි අමාත්‍යවරයා සිය කතාව අතරතුරදී ද විස්තර කළා.

“දැන් අද මට පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණ 03ක් තිබුණා. මම 12ට ගෙදරින් එන්න පිටත් වුණේ. පැයක් හිටියා එන්න බැරුව. අන්තිමට රාජගිරියෙන් මම බැහැලා අතදාලා මෝටර් සයිකලේක නැගලා ආවෙ. රාජගිරියේ ඉඳන් මෙතනට එනකල් තෙමි තෙමී ආවේ. මොකක් හරි ක්‍රමවේදයක් හදන්න. හෙල්ලෙන්නෙවත් නෑ සමහර දවස්වලට. මේ පාරේ එන්න බෑ”

මේ අතර ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව අකිල විරාජ් අමාත්‍යවරයා මෙලෙස යතුරුපැදියක ගමන් කිරීම තවත් පිරිසකගේ විවේචනයට ද භාජනය වී තිබෙනවා.

සමාජ ජාල තුළින් ඔවුන් ප්‍රශ්ණ කරන්නේ සාමාන්‍ය ජනතාවට බලපාන මෙවැනි මූලික මාර්ග නීති පවා අමාත්‍යවරුන්ට බලනොපාන්නේද යනුවෙන්.

එමෙන්ම තවත් පිරිසක් අදහස් පළ කොට ඇත්තේ සාමාන්‍ය ජනතාව එදිනෙදා  සෑම දිනකම අත්විඳින මෙවැනි කරදරයකට එක් දිනක් හෝ අමාත්‍යවරයෙකු මුහුණ දීම යහපත් සිදුවීමක් බවටයි.

Loading...