Loading...

දඹුල්ල ක්‍රීඩාංගණයේ වැසි ආවරණ ඉවත් කිරීමෙන් අනතුරුව එහි සිදු කරමින් තිබූ ජලය ඉවත් කිරීමේ කටයුතු අවසන් වූවා.

(ඡායාරූප සඳහා පහළට යන්න)

අනතුරුව විනිසුරුවරුන්, දෙපිලෙහි ක්‍රීඩකයින් සහ නිලධාරීන්  පිටියට පිවිසියේ එහි තත්ත්වය පරීක්ෂා කර බැලීමට යි.

ඩක් වර්ත් ලුවිස් ක්‍රමයට අනුව පන්දුවාර ගණන අඩු කර තරගය යළි ආරම්භ කරනු ඇති බවට බොහෝ ක්‍රීඩා විචාරකයින් මත පළ කළ ද එය එසේ වූයේ නැහැ.

ඒ අනුව පිටිය පරීක්ෂාවෙන් අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට තරම් තත්ත්වයක් නොමැති බවටයි තරග තීරක සහ විනිසුරුවරුන් තීරණය කළේ.

පිටියෙහි මැද කොටස හොඳින් වියැලී ඇතත් හතරේ සීමාව ආසන්නයේ බොහෝ සෙයින් ජලය රැඳී ඇති බවටයි වාර්තා වන්නේ.

තරගය අතහැර දැමීමට තීරණය කිරීමත් සමග දෙපිලේ නායකයින් දෙදෙනා එකිනෙකාට අතට අත දී  පිටියෙන් නික්මුණා.

ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පළමු එක්දින තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූයේ අද සන්ධ්‍යාවේ යි.

එහෙත් අතරමග දී දැඩි වර්ෂාවක් ඇද හැළීමත් සමග තරගය තාවකාලිකව අත්හිටවූවා.

කෙසේ වෙතත් පැය ගණනාවක් යනතුරු වැසි තත්ත්වය මගහැරුණේ නැහැ.

අවසානයේ වර්ෂාව තුරල් වීමත් සමග වැසි ආවරණ ඉවත් කර පිටිය පිරිසිදු කිරීමට ක්‍රීඩාංගණ සේවකයින් කටයුතු කළේ තරගය යළි ඇරඹීමට හැකියාව ඇත්දැයි විනිසුරුවරුන්ට පරීක්ෂා කිරීම සඳහා යි.

තරගය අත්හිටුවන විට පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 92ක් ලබා සිටියා.

ජෝ රූට් ලකුණු 25 ක් සහ ඔවින් මෝගන් ලකුණු 14 ක් ලබා පන්දුවට පහරදෙමින් සිටි අතර ජේසන් රෝයි ලකුණු 24 ක් සහ ජොනි බෙර්ස්ටෝ ලකුණු 25 ක් ලබා සිටියදී දැවීගියා.

නුවන් ප්‍රදීප් සහ අකිල ධනංජය එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

Loading...