Loading...

රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් ක්‍රිකට් කීඩකයෙකු ද වන රමිත් රඹුක්වැල්ල වහාම අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය නියම කර තිබෙනවා.

ඒ බීමතින් රිය ධාවනය කොට විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු අනතුරට පත්කිරීමේ චෝදනාව මත යි.

රමිත් රඹුක්වැල්ල අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

2018 මාර්තු මස 09 වැනිදා නාරාහේන්පිට ලේක් ඩ්‍රයිව්හිදී බීමත්ව, අධික වේගයෙන්, අපරික්‍ෂාකාරී අන්දමින්, රිය ධාවනය කොට යතුරුපැදියක ඝට්ටනය කොට එහි ගමන්ගත් දෙදෙනෙකු අනතුරට පත් කොට බරපතළ තුවාල කිරීම සම්බන්ධයෙන් වූ චෝදනා මොහුට එරෙහිව ඉදිරිපත් වී තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටි අතර නීතිඥ නෙරන්ජන් ඊරියගොල්ල කරුණු ඉදිරිපත් කරමින් පවසා සිටියේ තම සේවාදායකයා රෝගී වී ඇති බවයි.

නමුත් සැකකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කොට නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා මෙලෙස සැකකරු අත්අඩංගුවටගන්නා ලෙස නියම කරමින් වරෙන්තු නිකුත් කළා.

Loading...