Loading...

එංගලන්ත – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද නිමා වුණා.

අද තරගය ආරම්භ වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 321ක් ලබා සිටියා.

කෙසේ වෙතත් අද දවසේ දී තරගය ආරම්භ වී පැයක් ගතවෙන්නටත් පෙර එංගලන්ත කණ්ඩායමේ සියළු ක්‍රීඩකයින් දැවී ගියා.

සියල්ලන් දැවී ඔවුන් රැස් කළ ලකුණු ගණන 342ක්.

බෙන් ෆෝක්ස් වාර්තා කළ ශතකය මෙහි දී කැපී පෙනුණු අතර ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 107ක්.

ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් ඇතුළත් වූවා.

එමෙන්ම මෙය ඔහුගේ ටෙස්ට් දිවියේ ප්‍රථම තරගය වීම ද විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී දිල්රුවන් පෙරේරා විශිෂ්ඨ දක්ෂතාවක් දැක්වූවා.

ඔහු කඩුළු 05ක් දවා ගත්තේ 75කට යි.

සුරංග ලක්මාල් ලකුණු 73කට කඩුළු 03ක් දවාගත් අතර අකිල ධනංජය සහ රංගන හේරත් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

එංගලන්ත පළමු ඉනිම නිමා වීමෙන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම නොසිතූ ලෙස දැවී ගියේ ඉතා අඩු ලකුණු ගණනකට යි.

පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න දැවී ගියේ ලකුණු 04ක් පමණක් ලබා සිටිය දී.

විනිසුරු තීරණ නැවත පරීක්ෂා කර බැලීම ඔහු ඉල්ලා සිටියත් ඒ හරහා ද ඔප්පු වූයේ දිමුත් දැවී ගිය ක්‍රීඩකයෙකු බවටයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු ලකුණු ගණන 10 බවට පත් වෙද්දී දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ කෞෂාල් සිල්වා යි.

ඔහුට ලබා ගත හැකි වූයේ ලකුණු 01ක් පමණයි.

ආරම්භක පිතිකරුවන්ගෙන් ආරම්භ වූ අඩු ලකුණු ගණනකට දැවී යාම ඉනිම පුරා දක්නට ලැබුණු අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ ඇන්ජලෝ මැතිව්ස්.

ඔහු දැවී යනවිට ලබා සිටි ලකුණු ගණන 52ක්.

නායක චන්දිමාල් ලකුණු 33යි.

අනෙක් කිසිවෙකුට හෝ ලකුණු 30 සීමාව ඉක්මවීමට හැකි වූයේ නැහැ.

අවසන් පිතිකරු ලෙස පිටියට පිවිසි, සිය අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කරන රංගන හේරත්ට එංගලන්ත කණ්ඩායමෙන් හිමි වූයේ ගෞරවාන්විත උණුසුම් පිළිගැනීමක්.

ඔහු නොදැවී ලකුණු 14ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සියළු දෙනා දැවී යනවිට ලබා සිටි මුලු ලකුණු ගණන 203ක්.

මොයින් අලී ලකුණු 66 ට කඩුලු 4 ක් දවා ගත්තා.

දිනය නිමාවන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 38ක් ලබා සිටියා.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම කඩුලු 10 ක් අතැතිව ඉදිරියෙන් සිටින ලකුණු සංඛ්‍යාව 177 ක්.

Loading...