Loading...

පාර්ලිමේන්තුව කැඳවන දිනයවන 14 වැනිදාට බහුතරය උරගා බැලීමක් සිදු නොවන බවට රජයේ පිරිස් කුමන දෑ පැවසූව ද එදිනට පාර්ලිමේන්තුවේ අනිවාර්යයෙන්ම ඡන්ද විමසීමක් සිදුවන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

එය ස්ථිර බවත් එ් පිළිබඳව සැකයක් නොමැති බව ද ඔවුන් සඳහන් කරනවා.

අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ පරිපාලනය පිළිබඳ වගකීම ඇත්තේ කතානායකවරයාට බවයි.

14 වැනිදාට කටයුතු කරන ආකාරය පිළිබඳව න්‍යාය පත්‍රයත් ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම න්‍යාය පත්‍රය අනුව කටයුතු කිරීමට “ස්ථාවර නියෝග අත්හිටුවීම” නමැති කාර්ය පටිපාටිය අනුගමනය කළ යුතු බවත් ඔහු සඳහන් කළා.

ස්ථාවර නියෝග අත්හිටුවීම සඳහා වෙනම ඡන්දයක් පැවැත්වෙන බවත් ඉන් අනතුරුව බහුතරය ඇත්තේ කාටදැයි පරීක්ෂා කිරීමේ ඡන්දයක් පැවැත්වෙන බවත් පෙරේරා මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව 14 වැනිදාට තමන් ඇතුළු කණ්ඩායම පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණෙන්නේ මෙම ගැටළුව නිරාකරණය කරගෙනම බව ඔහු සඳහන් කළා.

එමෙන්ම හටගෙන ඇති දේශපාලන අවුල්කාරී ස්වභාවය නිරාකරණය කරගැනීහට කතානායකවරයා ගන්නා ධෛර්යවන්ත උත්සාහය තමා බෙහෙවින්ම අගය කරන බව ද පැවසූ මන්ත්‍රීවරයා පැහැදිළි කළේ කතානායකවරයා යනු මෙරට ව්‍යවස්ථාදායකය නියෝජනය කරන පුද්ගලයා බවයි.

එබැවින් ඔහු විධායකයට හෝ අධිකරණයට යටත් නොමැති බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

ජනාධිපතිවරයා සහ “නීති විරෝධී” අගමැතිවරයා විසින් ඊයේ දිනයේ දී ව්‍යවස්ථාවට පිටින් යමින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ උත්සාහයක නිරත වූ බවයි අජිත් පී පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Loading...