Loading...

දුෂණ විරෝධි බලකායේ අධ්‍යක්ෂක නාමල් කුමාර අද දින මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ් සම්බන්ධයෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඊයේ දින සිදු කළ ප්‍රකාශය නාමල් කුමාරගේ දැඩි විවේචනයට භාජනය වූවා.

සරත් ෆොන්සේකා සිදු කරන ප්‍රකාශ පිළිබඳව පුළුල් මෙන්ම විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් ඉල්ලා සිටින බවයි ඔහු සඳහන් කළේ.

සරත් ෆොන්සේකා ඊයේ ප්‍රකාශ කළේ පාතාලනායකයින් යනුවෙන් හංවඩු ගැසී ඇති පිරිස් එම තත්ත්වයට පත්වන්නට පෙර අහිංසක පුද්ගලයින් බවයි.

ඔවුන් වරදට යොමු වී ඇත්තේ ආණ්ඩුවේ, දේශපාලනඥයින්ගේ සහ රටේ වරද නිසා බව ද ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම මාකඳුරේ මධූෂ් ද බොහොම අහිංසක පුද්ගලයෙකු බවත් පසුව ඔහුට විඳින්නට සිදුවූ අමිහිරි අත්දැකීම් හේතුවෙන් අදවන විට අපරාධ කල්ලි නායකයෙකු බවට පත්ව ඇති බවත් ඔහු සඳහන් කලා.

එයට නාමල් කුමාර අද දින පිළිතුරු ලබා දුන්නේ මෙලෙසින්.

“ෆොන්සේකා මහත්තයා කියනවා  මාකඳුරේ මධූෂ් කියන්නේ අහිංසකයෙක් කියලා. සමහර විට මේක එලියට දැමිම තුළ මගේ ජීවිතයට අනතුරක් වෙයි ද කියලාක් මතක් කරන්න ඕනේ. මාකඳුරේ මධූෂ් කියන්නේ අහිංසකයෙක්, ඒ අහිංසකයා ගල්කටස් තුවක්කුවක් ගෙනත් වෙඩිතියන්නේ එයාට වුණ අසාධාරණයකට කියලා කියනවා. මම අහන්න කැමැතියි හිටපු යුධ හමුදාපතිතුමා ඔබතුමා. පුද්ගලයෙකුට අසාධාරණයක් වුණාම ගල්කටස් වර්ගයේ තුවක්කුවක් ගෙනල්ලා වෙඩි තියලා කරපු පළිගැනීම සාධාරණය කරනවා නම් ඇත්තටම ඔබට හිටපු යුධ හමුදාපති කියන්න ලැජ්ජා සහගත වෙනවා. මම කියන්න ඕනේ මේ වගේ ප්‍රකාශ කරන්නෙ අපේ රටේ ඉන්න ෆීල්ඩ් මාර්ෂල්. මෙතුමා මේ තනතුරේ තිබිය යුතුදැයි කියලා මම විමසා සිටිනවා”

මේ අතර ඊයේ දින සරත් ෆොන්සේකා පවසා සිටියේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ් හට මිලියන 3000ක් ලබා දී පටිගත කළ ව්‍යාජ ප්‍රකාශයක් ලබා ගැනීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පිරිස මේවන විට කටයුතු කරමින් සිටින බවයි.

මෛත්‍රිපාල සිරිසේන ඝාතනයකිරීම සඳහා උදව් කරන්නැයි සරත් ෆොන්සේකා විසින් තමන්ට පැවසූ බව මධූෂ් ලබා කියවා එම ප්‍රකාශය පටිගත කර ගැනීමට මෙලෙස  සූදානම්වන බවයි හිටපු අමාත්‍යවරයා චෝදනා නගන්නේ.

පාතාල නායකයින්ට පවා මිලියන ගණනින් මුදල් ලබා දී කෙලෙස හෝ තමන් ඇතුළු පිරිස සිරගත කිරීමට රජයේ පිරිස උත්සහ දරමින් සිටින බව ද ෆොන්සේකා ප්‍රකාශ කර සිටියා.

මෙම මිලියන 3000ක මුදල අදියර දෙකක් යටතේ මධූෂ් හට ලබා දීමට සැළසුම් කර ඇති බවත් පළමුව මිලියන 1500ක් සහ පසුව තවත් 1500ක් බැගින් ලබා දීමට එකඟ වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ද නාමල් කුමාර මෙලෙස අදහස් පළ කළා.

“රුපියල් මිලියන 3500ක් ගෙවලා මාකඳුරේ මධූෂ්ගෙන් තමන් ඝාතනය කරන බවට හඬ පටියක් ගැනීමට ජනාධිපතිතුමා කටයුතු කරන බවට අරලිය ගහ මැදුරේ පැවැති ප්‍රවෘත්ති සාකච්චාවකදී සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළා. මම විශේෂයෙන්ම කියන්න ඕනේ මට කථා කරන්න අයිතියක් තියෙනවා මේ පිලිබදව. මොකද මේ සිද්ධියේ පැමිණිලිකරු මම නිසා. ඒක නිසා තමයි මම අද මාධ්‍ය ආයතනවලට ආරාධනා කළේ මේ පිළිබදව ප්‍රකාශයක් කරලා රටේ ජනතාව දැනුවත් කරන්න.

මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ සරත් ෆොන්සේකා මහත්තයා කියන කථාවේ සදහන් වෙනවා එතුමාගේ පිරිස ඔය සෑම තැනකම ඉන්නවා කියන කතාව. ඒකෙන් ගම්‍ය වෙන කරුණ වන්නේ මාකඳුරේ මධූෂ් ලඟත් සරත් ෆොන්සේකා මහත්තයාගේ ඉන්න බව. ඒ වගේම ඒ වගේ තොරතුරක් එතුමාට දැන ගන්න ලැබුණා නම් මේ වෙනතුරු ඒ පිලිබදව ලංකාවේ වග කිව යුතු ආයතනයකට පැමිණිලි කළා ද යන ප්‍රශ්ණය එනවා.

ඒ නිසා මම කියන්න කැමැතියි මම මෙතැන හෙළිකරලා තියෙන්නේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් පිලිබදව. ඒ කුමන්ත්‍රණයට අදලාව සරත් ෆොන්සේකා මහතා මේ කරන ප්‍රකාශය බෙහෙවින්ම බලපානවා. ඒ කරන ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය මම දන්නේ නැහැ. හැබැයි මේ කරන ප්‍රකාශය බරපතල ප්‍රකාශයක්. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් මම ඉල්ලා සිටිනවා සරත් පොන්සේකා මහත්තයා කරන ප්‍රකාශය පිලිබදව අනිවාර්යයෙන්ම පුළුල් විමර්ශණයක් ආරම්භ කරන්න.

ඇත්තටම මෙහෙම කුමන්ත්‍රණයක් ජනාධිපතිවරයා කරනවා නම් ඒක ප්‍රශ්ණයක්. සරත් ෆොන්සේකා මහත්තයාට මාධ්‍ය සංදර්ශණ පෙන්වලා මේවා කියන්න හේතුවක් තියෙනවා නම් ඒ පිළිබඳව විමර්ශණයක් කරලා ඒක රටට හෙළිදරව් විය යුතුයි. මොකද මේක ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක්. මේකට අදාලව ප්‍රකාශයක් හිටපු අමාත්‍යවරයෙක් කරනවා ද, ඒක අපිට සුළුවෙන් තකන්න දෙයක් නැහැ. රටේ සමස්ත මහජනතාවම මේ ඝාතන කුමන්ත්‍රණය පිලිබදව ඇස් ඇරගෙන බලාගෙන ඉන්නවා. ඒ වගේ මොහොතක මෙහෙම ප්‍රකාශයක් කරලා සද්ද නැතුව ඉන්න බැහැ. ඔහු මේ කරන ප්‍රකාශ පිලිබදව ඔබතුමාලා මාධ්‍ය ආයතන හැටියට විශේෂ අවධානය යොමු කරන්න. ඒ ප්‍රකාශයේ තියෙන බරපතලකම තේරුම් ගන්න. සරත් පොන්සේකා මහත්තයා මාධ්‍යට මේ ප්‍රකාශය කළාට පස්සේ ක්‍රියාත්මක වෙලාද කියලා හොයල බලන්න. ඇයි බලන්න එයා ක්‍රියාත්මක නොවුනේ. එයාට පුලුවන්කම තියෙන්න ඕනේ මේ පිලිබදව පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න.

පසුගිය දවස්වල සරත් පොන්සේකා මහත්තයා කිව්වේ ජනාධිපතිතුමා ඝාතනය කරනවා කියලා එක හඩ පටයකවත් නැහැ කියලා. ඒක ඒයා කියන්න අවශ්‍ය නැහැ. මම ඒක කියලා තියෙනවා කියන්න ඕන විදිහට. කියපු කරුණු ඔස්සේ තමයි මේ වගේ ප්‍රවෘත්ති එලියට එන්නේ (පුවත් පතක් පෙන්වමින්) මේවා මම දෙන ඒවා නෙමෙයි. මම මාධ්‍ය ඉස්සරහට ඇවිත් හැමදේම කියන්නේ නැහැ. අධිකරණ කටයුත්තක් නිසා”

සරත් ෆොන්සේකා ඊයේ සිදු කළ ප්‍රකාශය පහතින්..

"සමනලයෙක් වෙන එක හොඳයි පොළඟෙක් වෙනවට වඩා"

"සමනලයෙක් වෙන එක හොඳයි පොළඟෙක් වෙනවට වඩා"තොරතුරු මෙතනින්: goo.gl/aBbMLE

Posted by Sinhala Puvath on Wednesday, 7 November 2018

 

Loading...