Loading...

හක්මන කැඹිලියපොල පිහිටි කුරුඳු වගා කළ බිමකි. ප්‍රමාණයෙන් අක්කර පහක් පමණ වූ ඉඩම මිලට ගැනීමට පැමිණ සිටියේ දියණියක හා ඇගේ පියාය. ඉඩම හිමි ශාන්ත ගනුදෙනුව කතා කිරීමට ගියේ සිය මිත්‍රයකු සමඟය. මැණික් ව්‍යාපාරිකයෙක් වූ මිතුරා ශාන්ත හා පිරිස එක්ව ගනුදෙනුව පිළිබඳව කතාබස් කරමින් ඔවුන් පැමිණි වාහනයට ගොඩවීමට පැමිණෙමින් සිටියේය.

වේගයෙන් පැමිණි යතුරුපැදියක් පසුපස ආ වෑන් රථයක් නතර කෙරුණේ ඉඩම ඉදිරිපිටය. දඩිබිඩියේ බැස ගත් මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් හයදෙනෙක් ගිනි අවි අතැතිව ඉඩමට කඩා වැදුණාහ. ඔවුන් දුටු වහාම කුරුඳු වත්ත මැදින් පලා ගිය ශාන්තගේ මිතුරා නොපෙනී ගියේය.

ඉදිරියට ගිය ශාන්තට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් බිම ඇද වැටුණු පසුව ළඟට ආ මැරයෙක් ශාන්තගේ ගෙල තියුණු පිහියකින් කපා දැමුවේය. වැඩි වේලාවක් නොගොස් මැරයන් අසල සිටි තරුණ දියණියටත් පියාටත් තර්ජනය කර පළාගියේ කට පරිස්සම් කරගන්නා ලෙසට දන්වමිනි.

හක්මන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරයෙක් වූ ලොකු හකුරුගේ ශාන්ත මහතා නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් ඝාතනය කර තිබුණේ එසේය. සිද්ධිය පිළිබඳ පොලිස් විමර්ශන ඇරඹීමෙන් පසුව අනාවරණය වී ඇත්තේ දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන මාකඳුරේ මදූෂ්ගේ මෙහෙයවීමෙන් මෙය සංවිධානාත්මකව සිදු කළ අපරාධයක් බවය.

ඇල්ලේවෙල කොට්ඨාසයෙන් පොදුජන පෙරමුණ යටතේ තරග කළ ලොකු හකුරුගේ ශාන්ත හක්මන ප්‍රාදේශීය සභාව නියෝජනය කළේය. ඔහුට අයත්ව තිබූ කුරුඳු වගා කළ ඉඩමක් කැඹිලියපොල ප්‍රදේශයේ පිහිටා තිබුණි. එය විකිණීම සඳහා කාලයක සිට ගත් උත්සාහය වැළකී තිබුණේ විවිධ ගැටලු කීපයක් හේතුවෙනි.

අවසන් වතාවට ඉඩම මිලදී ගැනීමේ අදහසින් දුරකථන පණිවුඩ හුවමාරු කරගෙන තිබුණේ තරුණියක හා ඇගේ පියා විසිනි. ඒ අනුව ඉඩම බැලීම සඳහා දිනය යොදාගෙන තිබුණේ පසුගිය 4 වැනිදාය. කඹුරුපිටිය, ගෝදාව ප්‍රදේශයේ සිට ගිය තරුණ දියණිය හා පියාට ශාන්ත මහතාගේ මිතුරකු වූ ව්‍යාපාරිකයෙක් ද එක්වූවේය. ඔහු කුඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකි.

ඉඩම් ගනුදෙනුව පිළිබඳ සාකච්ඡා කරමින් සිට කුරුඳු ඉඩමෙන් පිටට යාම සඳහා පිරිස ඉන් එළියට එමින් සිට ඇත. ඒ අවස්ථාවේ වේගයෙන් පැමිණි යතුරු පැදියක් කුරුඳු ඉඩම ඉදිරිපිට නවත්වනවාත් සමඟ වෑන් රථයක් ද පැමිණ තිබුණි. ඒවායෙන් බැසගත් හයදෙනෙක් පමණ පිරිස ඉදිරියට පැමිණ තිබුණේ මුහුණු ආවරණය කරගෙනය. ගිනි අවි රැගෙන එන පිරිස දුටු වහාම ශාන්ත හා ඉඩම බැලීමට පැමිණි පිරිස අතර පසුපසින් උන් ව්‍යාපාරික මිතුරා කුරුඳු කැලයට දිව ගියේ කිසිත් නොකියාමය. එසැණින් පළාතම ගුගුරවමින් නැගුණු වෙඩි හඬ කීපයකි.

ඒ කීපයක්ම වැදී තිබුණේ පොදුජන පෙරමුණ නියෝජනය කළ හක්මන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයාටය. ඉඩම බැලීමට පැමිණ සිටි තරුණිපයට හා පියාට අනතුරක් නොවුණද ඔවුන් ඉදිරියේම වෙඩි වැදුණු ශාන්තගේ මළ සිරුර ගෙල මැරයෙක් විසින් පිහියකින් කපා දැමුවේ අමු අමුවේය. භීතියට පත් තරුණිය සිය පියාගේ දෑතේ එල්ලී සිටියදී මැර පිරිස ඔවුන්ට තර්ජනය කරමින් පලා ගියහ.

සිද්ධිය පිළිබඳව විමර්ශනය ඇරඹූ හක්මන පොලීසිය ක්‍රියාත්මක වී දෙයියන්දර වැඩ බලන මහේස්ත්‍රාත්වරයා කුරුඳු ඉඩමට ගෙන්වා ස්ථානීය පරීක්ෂණ සිදු කළේය. අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාතර මහ රෝහල වෙත යොමු කෙරිණි. පරීක්ෂණ ආරම්භයේදීම ඝාතනය දේශපාලන අරමුණකින් සිදු නොකළ බවට නිගමනය කරගෙන තිබූ බැවින් සැක පහළ වී තිබුණේ එය පාතාලයේ ගැටුමක් ද යන්න පිළිබඳවය. ඝාතනය සඳහා ටී 56 ගිනි අවියක් භාවිත කර ඇති බවත් හිස් පතරොම් කීපයක් හමුවීමෙන් ඒ බව තහවුරු වන බවත් වෙඩි පහර කීපයක් ඔවුන් පැමිණි වෑන් රථයට වැදී තිබෙන බවත් පොලීසිය සඳහන් කළේය.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඉඩම මිලට ගැනීමට පැමිණි තරුණිය විවාහ ගිවිසගෙන සිටින තරුණයා ජපානයේ රැකියාව කරන බවය. එම අවස්ථාවේදී තරුණිය අන්තර්ජාලය හරහා වීඩියෝ ඇමතුමක් ලබාගෙන ඉඩමේ ස්වභාවය පෙන්වා ඇතැයි ද කියැවිණි. මේ තොරතුරු අනුව පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ මැර පිරිසේ ඉලක්කය ශාන්ත මහතා නොව ඔහුගේ මිතුරු කෝටිපති ව්‍යාපාරිකයා බවය. ව්‍යාපාරිකයා ඝාතනයට අවස්ථාව නොලැබුණු හෙයින් මන්ත්‍රීවරයා ඝාතනය කර තිබෙන බවත් එය පාතාල නායක මාකඳුරේ මදූෂ් විසින් මෙහෙයවූවක් බවටත් හෙළිකරගෙන ඇත.

ඝාතනයෙන් හෝරා කීපයක් ගත වු පසුව ව්‍යාපාරිකයාගේ සමීපතම ඥාතියකුට විදේශයකින් පැමිණි දුරකථන ඇමතුමකි. ඉන් කතා කර තිබුණේ පාතාල නායක මාකඳුරේ මදූෂ්ය. එමගින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ “අද වැඩේ වැරදුණත් අනිවාර්යයෙන්ම උගෙන් සහ පවුලේ අයගෙන් පළිගන්නවා” යනුවෙනි. මේ හේතුවෙන් ඝාතකයන් හඳුනාගැනීමට හැකිවනු ඇති බවත් එය පාතාලයන්ගේ ප්‍රහාරයක් බවට ද අනාවරණය කරගෙන අවසන්ය.

මැණික් ව්‍යාපාරිකයාට කාලයක පටන් ජීවිත තර්ජන තිබී ඇති අතර උද්ගත වූ තත්ත්වය හමුවේ ඔහුගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යෙදවීමට පොලීසිය පියවර ගෙන තිබුණි. ඔහු මීට පෙර අවස්ථා දෙකකදී ඝාතනය කිරීමට යම් පිරිසක් උත්සාහ දරා ඇති බවද හෙළි වී තිබුණි. සිදුවීම වූ අවස්ථාවේ ව්‍යාපාරිකයා කුරුඳු කැළයට දිව යාමේදී වළකට වැටී ඔහු සිරවී ඇති බවත් ඒ හේතුවෙන් ඔහුගේ ජීවිතය මැර පිරිසෙන් ආරක්ෂා වී තිබෙන බවද පැවසේ.

මාකඳුරේ මදූෂ්ගේ හිතවතකු ඝාතනය කිරීම සඳහා ඔත්තුවක් මෙම ව්‍යාපාරිකයා විසින් ලබාදී ඇතැයි කියන සැකය මත ඔහු ඝාතනයට උත්සාහ දරා ඇතැයි ද වාර්තා විය. ඝාතනය පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායම් පහක් යොදවා විමර්ශන සිදු කරන බව පොලීසිය පැවසීය.

► සමන්ත විල්තෙර

Loading...