Loading...

දිනෙත් මිලාන් මාඹුලගේ නොහොත් ඌරුජුවා මිනීමැරුම්, කොල්ලකෑම් ඇතුළු අපරාධ රුසකට වරදකරු වී දැනටමත් බන්ධනාගාරයේ පසුවෙයි. රට කැළඹූ පාතාල නායකයකු වූ රණාලේ සමයංගේ ප්‍රධානම ගෝලයා වූ ඌරැජුවාගේ නියෝගයකට හංවැල්ල ඇඹුල්ගම මංසන්ධියේ සියලුම වෙළෙඳසල් වසා දමා ත්‍රිරෝද රථ නැවතුම්පොළේ කිසිදු රථයක් නොමැතිව හන්දියම පාළුවට යැවුණේ ඔහුගේ මැර බලයටය.

ඌරුජුවාගේ පාතාල නීතියෙන් පැය ගණනාවක් පාළුවට යැවුණු ඇඹුල්ගම හන්දියේ ක්‍රියාත්මක කළ අමුතු නීතියට හේතුව ඔහුගේ සමීපතම ගෝලයකුගේ මළගම යැයි වාර්තා විය.

ඉකුත් 2 වැනිදා සිකුරාදා මධ්‍යහනේ ක්‍රියාත්මක කෙරුණු මේ අවනීතිය මැර බලයෙන් ක්‍රියාත්මක කර තිබුණේ ඌරුජුවාගේ හිතවතකුගේ කටවචනයකටය. ඊට ආසන්නතම හා එකම හේතුව වන්නේ පසුගිය 29 වැනිදා රාත්‍රියේ තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කරනු ලැබූ පාතාල නායක ඌරුජුවාගේ ගෝලයකු වූ ජල්තර හේන්පිට පදිංචි ජීවන් කුමාර (37) නැමැත්තාගේ අවසන් කටයුතු සිදුකිරීමයි. ඌරුජුවාගේ නියෝගය ඇඹුල්ගම හන්දියේ වෙළෙඳසල් හිමියන්ට දන්වා ඇත්තේ ඇඹුල්ගම ප්‍රදේශයේම යතුරුපැදි අලුත්වැඩියා කරන්නකු වශයෙන් කටයුතු කළ අයෙකි.

ඉකුත් 29 වැනිදා පස්වරුවේ ජල්තර මහා විද්‍යාලයේ ක්‍රීඩාපිටියට රැස්වූ තරුණ පිරිසක් වොලිබෝල් ක්‍රීඩාවේ නිරතව සිට ඇත. වෙලාව පස්වරු 5.30 පමණ වනවිට එහි පැමිණි පිරිසකි. ඒ අතර ඇඹුල්ගම හන්දියේ ව්‍යාපාරිකයෙක් වන රෙස්ටුරන්ට් ආයතනයක් හා යතුරුපැදි අලෙවිසලක් පවත්වාගෙන ගිය ජීවන් කුමාර මඩපාතගේ නැමැත්තාද සිටියේය. ඌරැජුවාගේ හිතවතෙක් වූ ඔහු බොහෝවිට ඌරුජුවාගේ හයියෙන් කල් ගෙවූවෙකි. ක්‍රීඩාපිටියට පැමිණි ඔහු ඇතුළු පිරිස ක්‍රීඩාවේ නිරතව සිටි තරුණයන් හා කතාවක පැටලී තිබුණේ එවිටය. වැඩි වෙලාවක් යන්නට මත්තෙන් ගැටුමකට මුලපිරෑ පිරිස මැද පහර කෑ තරැණයෙක් මරණයට පත්ව සිටියේය. එසේ ඝාතනයට ලක්වූයේ ඉඳුනිල් නැමති (22) නැමැත්තෙකි.

ජල්තර – ඇඹුල්ගම හන්දිය මාර්ගයේ එකම ගමේ දෙපිරිසක් අතර වූ ගැටුමකින් තරුණයෙක් මියයාමට හේතුව මීට ටික දිනකට ඉහතදී ඇඹුල්ගම ප්‍රදේශයේම කැලණි ගඟ ඉවුරේ පිහිටි වැලිතොටුපොළකට එල්ල කළ ප්‍රහාරයකැයි කියති.

ඉඳුනිල් කුමාර සහ ජීවන් කුමාර යන අය අතර දින කිහිපයක පටන් පැවති ආරවුල දුරදිග යාමෙන් පළමු ඝාතනය සිදුව තිබුණි. පහරදීමකින් ගමේ තරැණයෙක් ඝාතනය කළ පුවත ප්‍රදේශය පුරා පැතිරී ගොස් ගතවූයේ තවත් හෝරා දෙක තුනකි.

29 වැනිදා පස්වරු 5.30ට පමණ වූ සිදුවීමෙන් අනතුරැව ප්‍රදේශය සාමකාමීව පැවතිණි. එහෙත් රාත්‍රී 9ට පමණ ඒකරාශි වූ තරුණ පිරිසක් යතුරැපැදි කිහිපයක නැගී ඇඹුල්ගම හන්දිය දෙසට ගියහ. ඔවුන් අත කඩු පොලු මුගුරු කිහිපයක්ද තිබිණ. පිරිස එක එල්ලේම ගොස් යතුරුපැදි නතර කර තිබු‍ණේ ජීවන් කුමාර නැමැත්තාට අයත් රෙස්ටුරන්ට් ආයතනය ඉදිරිපිටය. ඊට යාබදව තිබුණේ ඔහුට අයත් යතුරැපැදි අලෙවිසලය.

වේගයෙන් ව්‍යාපාරික ස්ථානයට ඇතුළු වූ තරුණයන් පිරිස එහි සිටි ව්‍යාපාරිකයා බිම පෙරළා දමා පහරදෙන්නට වූහ. මොහොතක් තුළදී තියුණු ආයුධවලින් ඔහු කපා කොටා දැමූ පසුව පිරිස පළාගියහ. ව්‍යාපාරිකයාගේ බිරිය සැමියා බේරාගැනීමට උත්සාහ කළද ඇයට ඉඩක් ලැබුණේ නැත. මැර පිරිස පළායන විටත් ජීවන් කුමාර ලේ විලක් මැද වැටී සිටියේය. ඝාතනයේ සියලු දර්ශන එහි වූ රහසිගත කැමරාවක සටහන්ව තිබුණේ මනා සාක්ෂියක් ලෙසය.

සී.සී.ටී.වී දර්ශන අනුව විමර්ශන සිදුකළත් මුහුණු ආවරණය කරගෙන සිටි පිරිස හඳුනාගැනීම දුෂ්කරව තිබුණි. එකම දිනයක පස්වරුවේ එකම ගමක පහරදීමෙන් හා කපා කොටා දැමීමෙන් ඝාතන දෙකක් සිදුවීම බරපතළ සිද්ධියකි. පොලීසිය පළමුව විශ්වාස කළේ පස්වරුවේ පහරදීමකින් ඝාතනය කළ පුද්ගලයාගේ මරණයට පළිගැනීමක් ලෙස රාත්‍රියේදී කපා කොටා ඝාතනය සිදුකරන්නට ඇති බවය.

කෙසේ වෙතත් බුද්ධි තොරතුරැ හා සාක්ෂි අනුව ක්‍රියාත්මක වූ පොලීසිය 4 වැනිදා පස්වරුව වනවිට ඝාතන සිදුවීමට සැකපිට පුද්ගලයන් 76 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් සියලු දෙනා ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට එරෙහිවය. ඔවුන් සමඟ පිරිස පැමිණි යතුරැපැදි දෙකක් සහ කඩු තුනක්ද පොලිස් අත්අඩංගුවට ගැනිණි. ඝාතනය සඳහා භාවිත කළ තවත් කඩු 3ක් කැලණි ගඟට දැමූ බවට තොරතුරැ හෙළිකර ඇති බැවින් ඒවා සොයා විමර්ශන ක්‍රියාත්මක වෙයි. අත්අඩංගුවට පත් පිරිස ජල්තර, රණාල, හංවැල්ල හා ඇඹුල්ගම ප්‍රදේශවල පදිංචි වයස අවුරැදු 21, 23, 25 සහ 36 වයසේ පසුවන්නෝ වෙති.

ගමේ දෙපිරිසක් අතර වූ ආරවුලක් දුරදිග යාමෙන් හටගත් ගැටුම අවසානයේ ජීවිත දෙකක් මරණයෙන් කෙළවර කොට තිබුණි. මෙහි පළමුව ඝාතනයට ලක්වූ ඉඳුනිල් කුමාර තරුණයාගේ පාර්ශ්වය විසින් ව්‍යාපාරිකයකු වූ ජීවන් කුමාර නැමැති පාතාල නායක ඌරුජුවාගේ හිතවතා ඝාතනය කර තිබිණි. ඔහුගේ හදිසි මරණය සැලවීමෙන් පසුව බන්ධනාගාරගතව සිටින ඌරුජුවා විසින් නියෝගයක් කර තිබුණේ ඔහුගේ තවත් හිතවතකු වෙතය. ඒ අනුව ක්‍රියාත්මක වූ යතුරුපැදි අලුත්වැඩියා කරන තැනැත්තා විසින් ඇඹුල්ගම හන්දියේ කඩ සාප්පු වසා දමන්නට ඌරුජුවා කී බවත් එසේ නොකරන අය ගැන බලාගන්නා බව කී බවත් සැලකර තිබිණි.

ඊට බිය ගත් වෙළෙඳසල් හිමියන් කඩ සාප්පු වසා දමමින් සිටියදී හන්දියේ තිබූ ත්‍රිරෝද රථ ගාලේ ත්‍රිරෝද සියල්ලද ඉවත්ව ගොස් තිබිණි. ඒ අනුව පැය කිහිපයක් පුරා පාළු ස්වභාවයක් ඉසිලූ ඇඹුල්ගම හන්දිය පිළිබඳ තොරතුරැ වාර්තා වීමෙන් හංවැල්ල පොලීසියේ නිලධාරීන් පැමිණ තත්ත්වය සමතයකට පත් කර තිබිණි.

ඒ අනුව ඌරුජුවාගේ නියෝගය ප්‍රචාරය කළ බව කී සැකකාර පුද්ගලයාද අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලීසිය සඳහන් කළේය.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් හංවැල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බන්දුල ජයසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේවගේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විමර්ශන සිදුකරති. මේ වනවිට ප්‍රදේශයේ සාමය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබ ඇත.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

Loading...