Loading...

පසුගිය කාල වකවානුව තුළ ලාංකීය රූපවාහිනි පේ‍්‍රක්‍ෂකයන්ගේ සිත් පැහැරගත් අතිශය ජනපි‍්‍රය වූ කතාවක් වූයේ නම් එය ඔෂීන් යැයි හැඳින්වීම නිවැරැදිය. ජාතික රූපවාහිනිය මගින් ලාංකික ජනතාව අතරට පැමිණි ඔෂීන් නම් කථාමාලාවෙහි සිටි ඔෂීන් නම් තරුණිය හට සිය රටෙහි ජනතාවට වඩා ආදරය කළේ ලාංකිකයන්ය. බොහෝ ලාංකිකයන් එහිදී පෙන්වනු ලැබූ ජපන් සංස්කෘතියට හා ඔවුන්ගේ ඇඳුම්වලට වඩාත් පි‍්‍රයතාවක් දක්වන්නට විය. ඔවුන්ගේ නිවාසයන්හි සැකැස්ම එහි තිබෙන්නාවූ සරල හා චාම් භාණ්ඩයන්ට ලොකු කුඩා කාගේත් සිත් ඇදී ගියේය.

ජපානය පිළිබඳ බොහෝ ලාංකිකයන් හට මූලික දැනුම ලැබෙන්නේ ඔෂීන් නාට්‍යය මාලාවෙන් කීම නිවැරැදිය. මෙම නාට්‍යයට පෙර සිට ලාංකිකයන් අතර තවත් ආකාරයකට ජපානය ප‍්‍රචලිතව පැවතිණි. එනම් ඉලෙක්ට්‍රොනික උපකරණ හා වාහන සම්බන්ධයෙනි. ජපන් වාහනයක් ගැනීමට ජපානයේ නිපදවන ලද ඉලෙක්ට්‍රොනික උපකරණ මිලදී ගැනීමට ලාංකිකයන් අදටත් පසුබට නොවෙති. කොටින්ම කිවතොත් ජපානයේ වැසියන් එරට භාවිත කරන ලද භාණ්ඩන් වුවද දෙවරක් නොසිතා මෙරටට ගෙන්වනු ලබන්නේ ඒවාට ඇති ඉල්ලූම මතය. මෙයට හොඳම නිදසුන වන්නේ අප රටට දැනට නැව් ගණන් ආනයනය කරනු ලබන Reconditon, වාහනයි.

ජපානය දෙස අතීතයේ අප තුළ තිබුණේ කිසි දිනෙක යා නොහැකි ඉතා පොහොසත් රටක් ලෙස වුවද වර්තමානය වන විට බොහෝ රටවල් සමග ඇතිකර ගනු ලබන විවිධාකාර අභ්‍යන්තර ගිවිසුම් මගින් මෙම තත්ත්වය වෙනස් වී ඇති බව කිව යුතුය. මින් පෙර බොහෝ විට ජපානය වෙත යෑමට හැකි වූයේ වාහන ආනයනය කිරීමේ හෝ වෙළෙඳාම සඳහා භාණ්ඩ රැගෙන ඒමට යන්නාවූ කෝටිපති ව්‍යාපාරිකයන්ට පමණක් වුවද වර්තමානය වන විට අධි සංවර්ධිත රාජ්‍යයක් ලෙස ජපානය සිය රැකියා අවස්ථාවන් සඳහා විදේශිකයන්ටද දොරටු විවර කර දී ඇත. මෙහිදී ශී‍්‍ර ලාංකික තරුණ තරුණියන්ට ද මෙම රැකියා අවස්ථාවන් ලබා දීමට ඉඩ ප‍්‍රස්ථාවන් සැලසී ඇති බව ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙනු ලබන්නේ බොහෝ ලාංකික තරුණ තරුණියන්ගේ මන දොළ සපුරාලමිනි.

ජපානය හෙවත් “Japan” යන නාමයේ තේරුම වන්නේ ‘‘හිරුගේ උපත’’ යන්නයි. මෙහි ජනගහනය මිලියන 127 ක් පමණ යැයි සැලකේ. මෙහි අගනගරය ලෙස ටෝකියෝ නුවර හැඳින් වෙන අතර මෙය ලොව විශාලතම ජනගහනයක් සහිත තාක්‍ෂණික නගරයක් ලෙස හඳුන්වනු ලබයි. ජපානය කෙතරම් පරිසර හිතකාමී රටක් ද යන්නට ලබා දිය හැකි හොඳම නිදසුන වන්නේ එහි භූමි ප‍්‍රමාණයෙන් 73% ක ප‍්‍රමාණයක් වනාන්තර වලින් ගහනව පැවතීමයි. ජපානය ලොව වැඩිම ජනඝනත්වයක් ඇති රටක් ලෙසද හඳුන්වනු ලබයි.

ජපානයේ ශීත ඍතුව තුළ සෙල්සියස් අංශක 5.1 ක පමණ අගයකුත් ගී‍්‍රස්ම ඍතුවේදී සෙල්සියස් අංශක 25.2 ක අගයක් ගැනීම තුළ ලොව විවිධාකාර වූ දේශගුණික ඍතූන්ගේ එකතුවක් විඳිය හැකි රටක් ලෙස ජපානය හැඳින්විය හැක. මෙහි සෞම්‍ය දේශගුණික ස්වභාවය ජපාන වැසියන්ගේ ආචාරශීලී හා නිහතමානී ජීවන රටාවන් තුළින් ද මනාව පෙන්වා දෙනු ලබයි.

ජපානය දෙස සමීපව බැලීමේදී එරට ආර්ථිකය ලොව ජාතික ආර්ථික දර්ශකයේ 03 වන රට ලෙසට නම් කොට තිබීමම තුළ එරට ආර්ථික ස්ථාවරත්වය මැනවින් විදහා පානු ලබයි.

ජපානය ඉලෙක්ට්‍රොනික, අධිබල මෙවලම්, කෘෂි රසායන ද්‍රව්‍යය, කෘෂි කර්මාන්තය හා මත්ස්‍ය ව්‍යාපාරය සඳහා ලොව ආර්ථික බලවත්තු ලෙස නම් දරා සිටින රාජ්‍යයකි. ජපානය තුළ 2016 වන විට ශ‍්‍රම බළකායට අයත් පිරිස මිලියන 65.9 වීම තුළ විරැකියාව 4% ක පමණ ප‍්‍රමාණයකින් පහත හෙලීමට සමත්ව ඇත. ජපානය 2018 වර්ෂයේදී අපේක්‍ෂිත දළ ද්ශීය නිෂ්පාදිත අගය වනුයේ ඩොලර් ටි‍්‍රලියන 5.071 කි. මෙගින් සංවර්ධිත රටවල් දර්ශකයේ 34 වන ස්ථානය හිමිකරගෙන ඇත. එහි විශාලම සංචාරක ආකර්ෂණයක් සහිත නගර ලෙස ටෝකියෝ, හිරෝෂිමා, ෆූජිහාඔකිනෝවා දැක්විය හැක.

ජපානයෙහි දක්නට ඇති ආර්ථික වර්ධන වේගය හා සංවර්ධිතභාවය නිසාම බොහෝ පිරිස් සිය රැකියා ඉලක්ක සපුරා ගැනීම සඳහා එරටට සංක‍්‍රමණය වීම දැකිය හැකිය. ලොව බොහෝ සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් සිට මෙන්ම සංවර්ධිත රටවලින් පිරිස් ජපානය වෙත රැකියා සඳහා පැමිණෙන්නේ ලොව පුරා ප‍්‍රචලිත සමාගම් බහුතරයක මවු සමාගම්වල කේන්ද්‍රස්ථානය ජපානය වන නිසාය.

මෙවැනි රැකියා අවස්ථා සඳහා ශී‍්‍ර ලාංකීය තරුණ තරුණියන්ට ද මඟක් විවර කර දීමට මෙරට රාජ්‍යය ආයතනයන් කටයුතු කර ඇත. මෙමගින් වයස අවුරුදු 18 සිට 30 දක්වා වූ වයස් කාණ්ඩවල පසුවන අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින ලද තරුණ තරුණියන් හට අයැදුම් කිරීමේ හැකියාව පවතී.

මේ සඳහා සම්පූර්ණ කළ යුතු සුදුසුකම් අතරට පිරිමි අය සඳහා අවම උස සෙන්ටිමීටර් 160 ක් විය යුතු අතර ගැහැනු අය සෙන්ටිමීටර් 150 ක අවම උසින් යුක්ත විය යුතුය. මීට අමතරව ශරීරයේ අත් පා වල ඇඟිලි සම්පූර්ණ ලෙස පිහිටා තිබිය යුතු අතර ශරීරයේ කිසිදු ආකාරයේ පච්ච (Tattoo) සලකුණු නොතිබිය යුතුය.

මෙම රැකියා අවස්ථාවන් ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ෂඵ ජපන් ආයතනය සමග ඇතිකරගත් ගිවිසුමකට අනුව කි‍්‍රයාත්මක කරනු ලබන අතර මෙය සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදු කරනු ලබන වැඩසටහනක් බව කිව යුතුමය.

සිය තරුණ වියේදීම ජපානය වැනි රටක රැකියා මං පෙත් විවර කර ගැනීමට ලාංකීය තරුණ තරුණියන් හට අවස්ථාව උදාවීම බොහෝ ලාංකීය පිරිසකගේ බලාපොරොත්තු දල්වන්නකි. තාක්‍ෂණික විප්ලවය අතින් ලොව ඉදිරියෙන්ම ඇති නගරයන් හා මනා සංයමයකින් යුතු සමාජයක සිය තරුණ වියේදීම අත්දැකීම ලබා ගැනීමට මෙගින් අවස්ථාව සැලසෙන බව කිව යුතුය. මෙම රැකියා අවස්ථා සඳහා වැඩිදුර තොරතුරු www.slbfe.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.

– නීතිඥ කසුන් පොන්නම්පෙරුම

Loading...