Loading...

නිදි මරාගෙන අතේ පිච්චියත් වියදම් කරමින් මෙරට ක‍්‍රිකට් නැරඹූ පේ‍්‍රක්‍ෂකයන්ට වර්තමානයේ ක‍්‍රිකට් යනු මෙලෝ රහක් නැති දසුනක් බවට පත්ව තිබේ. දිගින් දිගටම පරාජයේ මාවතේ ගමන් කරමින් සිටින ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඉහළට ඔසවා තැබීමේ කර්තව්‍ය චන්දික හතුරුසිංහගේ කරමත පැටවෙන්නේ එවන් වටපිටාවකදීය. නමුත් හතුරුගේ සැලසුම් සියල්ලද දැන් දෙදරා ගොස් මෙරට ක‍්‍රිකට්වල තුනටියද බිම ඇනී ඇති බව එංගලන්ත සංචාරයේදීත් ඔප්පු විය.

ශ‍්‍රී ලංකාව මේ දිනවල එංගලන්තය සමග ටෙස්ට් තරගාවලියකට සහභාගි වේ. අවසන් මාස 13 දී ශ‍්‍රී ලංකාව ටෙස්ට් තරගවලදී ජයග‍්‍රහණ සහ පරාජයන් 50% බැගින් ලබා තිබේ. නමුත් ටෙස්ට් ක‍්‍රීඩාවේ තත්ත්වය එතරම් දරුණු නැත. එය දරුණු වුවහොත් දරුණු වන්නේ එළැඹෙන නවසීලන්ත, ඔස්ටේ‍්‍රලියා සහ දකුණු අප‍්‍රිකා සංචාරයන්වලදී තරග වදින ආකාරය අනුවය. නමුත් හතුරුසිංහ නැමැති පුහුණුකරුවාගෙන් බලාපොරොත්තු වූ ප‍්‍රධානතම සාධකය එක්දින ක‍්‍රිකට් ඔසවා තැබීමයි.

චන්දික හතුරුසිංහ යනු මැජික් කාරයකු නොවන බවත් මේ යන විදහට ඔහුත් ඉවර වන බවත් හතුරුසිංහ වැඩ භාරගත් යුගයේදී අර්ජුන රණතුංග පවසා සිටියේය. ඇත්තටම හතුරුසිංහ යනු දක්ෂ පුහුණුකරුවකු බව ලොව දැන ගත්තේ ක‍්‍රිකට් ලොව ලිලිපුට්ටන් වශයෙන් හංවඩු ගැසු බංග්ලාදේශය ගලිවර්ලා මෙන් ඔහු නැගිට්ට වූ නිසාය. එහි තිරය පිටුපස කතානායකයා වූ හතුරුසිංහ අපේ ක‍්‍රිකට් පුහුණුකරුවා වූවේ නම් මෙරට ක‍්‍රිකට් ගොඩ යනු ඇතැයි බහුතර මතය විය. නමුත් දැන් සිදුව ඇත්තේ හතුරුසිංහ කෙරෙහි පේ‍්‍රක්ෂකයා තැබූ ඒ විශ්වාසය භංග වී යාමයි.

ඉකුත් ජනවාරි මාසයේ සිට චන්දික හතුරුසිංහ ශ‍්‍රී ලංකාවේ පුහුණුකරු සුක්කානම හැසිරවීමට පටන් ගැනීමත් සමග මෙතෙක් සහභාගි වූ එක්දින තරග දාහතකදී පරාජයන් දහයක් ශ‍්‍රී ලංකාව ලබා තිබේ. ඉන් පරාජයන් පහක්ම ශ‍්‍රී ලංකාවේදී වීම විශේෂත්වයකි. නමුත් අදාළ පරාජයන් දහය අතරතුරදී ශ‍්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානයට, බංග්ලාදේශයට සහ සිම්බාබ්වේටද පරාජය වීමෙන් මෙරට ක‍්‍රිකට් වැටී ඇති තැන පැහැදිලිව ගම්‍ය වේ. එක්දින ක‍්‍රිකට් ලෝක කුසලාන ඉලක්කයකට හතුරුසිංහට කණ්ඩායම භාර දෙද්දී මේ වන විට පරාජයන් ගොඩ වැඩිවීම සහ ක‍්‍රීඩකයන්ටද ස්ථිර ස්ථානයක් නොමැතිවීම ඛේදවාචකයක් බවට පත්ව තිබේ.

“අපි මුලින්ම අපේ රටේදී පරදින එක නවත්ත ගන්න ඕන” යැයි චන්දික හතුරුසිංහ පවසයි. නමුත් පරාජය නවත්වන්නට ඔහු යොදන සැලසුම් ගඟට කැපූ ඉනිමෙන් පළ රහිත වී ඇති සෙයකි. ශ‍්‍රී ලංකා එක්දින කණ්ඩායමට තවමත් ස්ථිර ආරම්භක පිතිකරුවන් යුගලක් නොමැත. අංක තුන, හතර, පහ, හය ස්ථානවල ක‍්‍රීඩා කරන පිතිකරුවන්ගේ ස්ථාන තරගයෙන් තරග වෙනස් වේ. එක්දින තරග 23 කින් අර්ධ ශතකයක් නොලද කුසල් මෙන්ඩිස්ටද දිගින් දිගටම ස්ථානය දෙමින් හතුරුසිංහ සිය බලය පෙන්වීය. නමුත් කුසල් මෙන්ඩිස් දක්ෂ පිතිකරුවෙකි. ඔහු දිගින් දිගටම ෆේල් වන්නේ නම් ඔහුට එක් හැන්දකින් සහ අනෙක් ක‍්‍රීඩකයන් තවත් හැන්දකින් බෙදීම ක‍්‍රිකට් කණ්ඩායම ඇතුළේද බෙදීමකට හේතුවේ. නමුත් ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නිසි බළධාරියා හතුරුසිංහය. ඔහුට ඉහළින් ක‍්‍රීඩා විවේකාගාරයේදී මැස්සකුවත් පියාඹන්නේ නැති බව ඇතැමුන් පවසයි.

ක‍්‍රිකට් කණ්ඩායම ජයග‍්‍රහණය කළහොත් මෙරට ක‍්‍රිකට් රස්සාව කරන බොහොමයකගේ රැකියාව ස්ථිර වේ. නමුත් ක‍්‍රිකට් දිගින් දිගටම පරදින විට අනුග‍්‍රාහකයන්ද දුරස්වී ක‍්‍රිකට් ආයතනයේ බැංකුව ද හිස් වී යයි. ක‍්‍රිකට් මූල්‍ය ප‍්‍රධානීන්ට මිලියන ගණන් යටි මඩි ගසන්නට හැකියාව ඇත්තේද පසුගිය කාලයේදී ශ‍්‍රී ලංකාව ක‍්‍රිකට් වලින් උපයා ඇති ධනස්කන්ධය හේතුවෙනි. එම නිසා චන්දික හතුරුසිංහ යනු අද ලොව මිල අධිකම ක‍්‍රිකට් පුහුණුකරුවාය. මාසයකට මිලියන ගණනකට වැඩි වැටුපක් සමග හතුරුසිංහට ලබාදෙන්නේ මෙරට ක‍්‍රිකට් පුහුණුකරුවකු නොව ඕනෑම පුහුණුකරුවකුට ලබාදෙන ඉහළම වැටුප ගෙවමිනි. ක‍්‍රිකට් වැටී තිබුණ තැනින් නැගිට්ටවීමට ඔහුට දහසින් බැදි පියලි දුන්නද 1996 ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ පුහුණුකරුටද එවැනි වැටුපක් අහලකටවත් යෑමට නොහැකි විය. හතුරුසිංහට මේ සියලූ වරදාන සමග සියලූ බලයද මදී නොකියන්නට ලැබී තිබේ. සහය පුහුණුකරුවන්ද හතුරුසිංහගේ තෝරාගැනීම්ය.

ඕනෑවට වඩා බලය එක් පුද්ගලයකුගේ කර මත පැටවීමෙන් සාර්ථකත්වය කෙසේ වෙතත් ගැටුම්කාරී තත්ත්වයකට පත්වීමේ ප‍්‍රවණතාව වැඩිය. ක‍්‍රිකට් කළමණාකරු වූ චරිත් සේනානායක පසුගියදා හතුරුසිංහට දෙහි කපමින් එංගලන්ත සංචාරය අතරතුර ධුරය හැර ගෙදර ගියේද පුහුණුකරුවාගේ බලය නිසාය. ඊට හේතුව ලෙස සේනානායක පවසන්නේ එළැඹෙන නවසීලන්ත සංචාරයේදී තමා කළමනාකරු ලෙස සිටීම කණ්ඩායමට ප‍්‍රශ්නයක් බව පවසමින් වෙනත් කලමනාකරුවකු පුහුණුකරුවා ඉල්ලා සිටි බවයි. ඒ සම්බන්ධයෙන් ගාල්ල ක‍්‍රීඩාංගණයේදී තමා හතුරුසිංහගෙන් විමසූ විට ඔහු එසේ ඉල්ලා නොසිටි බව පැවසුවද ක‍්‍රිකට් නිසා බළධාරියා සහ ක‍්‍රීඩා ඇමැතිවරයාට හතුරුසිංහ තමා ඉවත් කරන ලෙස දන්වා ඇති බව සේනානායකයට දැනගන්නට ලැබී තිබේ.

හතුරුසිංහ බංග්ලදේශයේදීත් ඕනෑ තරම් කොකු දාගත් බවද වාර්තා වේ. එහිදීද කණ්ඩායමේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඔහු තීරණ ගන්නට ගොස් එසේ වන්නට ඇත. නමුත් හතුරුසිංහ මුලින්ම ශ‍්‍රී ලංකාවේදී කොක්ක දාගත්තේ ඇන්ජලෝ මැතිව්ස් සමගය. අනතුරුව චරිත් සේනානායක සමගද හතුරු කොක්කක් දමාගෙන තිබේ. මේ ආකාරයෙන් ඔහු කොකු දාගනිද්දී ඔහුට ලැබී ඇති අසීමිත බලය සම්බන්ධයෙන් ක‍්‍රිකට් ලොක්කන් අතර කසු කුසුවක් නිර්මාණය වී තිබේ. එළැඹෙන ක‍්‍රිකට් නිලවරණයෙන් පසුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දෙපයින් නැගිට්ටවන්නට හතුරුගේ ගුරුකම අසමත් වුවහොත් ඔහුගේ විශ්වාසයද භංගවී යනු ඇත.

– අසේල විතාන

Loading...