Loading...

බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන් ඇතුළු පිරිසක් අද (19) පෙරවරුවේ සංදේශයක් භාරදීමට ජනාධිපති කාර්යාලයට පැමිණි අවස්ථාවේ උන්වහන්සේලාට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් සිදු වූ අපහසුතාවය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෞද්ගලිකවම සිය කණගාටුව පළ කර සිටින බව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

උන්වහන්සේලා අද දිනයේ දී ජනාධිපතිවරයා හමුවීමට පැමිණෙන බවට දැනුවත් වී නොතිබූ අතර, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට උපදෙස් ලබා දුන් අයට එරෙහිව වහාම පරික්ෂණයක් පැවැත්වීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව සඳහන්.

අනතුරුව අදාළ ස්වාමින් වහන්සේලා ඇතුළු පිරිස හමු වී සුහද කථා බහක නිරත වී ඇති ජනාධිපතිවරයා උන්වහන්සේලා විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ අධිකරණ කටයුතුවලට අදාළව ඉදිරිපත් කළ ලිපිය ද භාරගෙන තිබෙනවා.

අද සවස 2.30 පමණ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති මෙම භික්ෂු විරෝධතාවය හේතුවෙන් ගාලු පාර වසා දැමිමට කටයුතු කර තිබුණා.

පසුව මෙම විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

Loading...