Loading...

කොළඹ මහ නගර සභාව අන්ධයාගේ බූදලය වැනි යැයි එහි මන්ත්‍රීවරුන් පවසන්නේ කලක සිටය. වසර 150කට අධික අභිමානවත් ඉතිහාසයක් ඇති මෙරට ප්‍රථම හා පැරණිම මහනගර සභාවට කොළඹ නගරයේ ලක්ෂ 60කට අධික ජනතාවක් බදු ගෙවති. ඒ අනුව එහි වාර්ෂික බදු ආදායම රුපියල් කෝටි 300 ඉක්මවන බවට අයවැය වාර්තා අනාවරණය කරයි.

කොළඹ නගරයට දිනපතා පිටතින් පැමිණෙන සංඛ්‍යාව ලක්ෂ 7කට වැඩිය. වාහන සංඛ්‍යාව ද ඒ හා සමානය. මහජන බැංකුවේ පුරහල ශාඛාවේ ස්ථාවර තැන්පතුවේ ඇති මුදල රුපියල් ලක්ෂ 2060කට අධිකය.

එම ස්ථාවර තැන්පතුවට එරෙහිව ලබාගෙන ඇති බැංකු අයිරාව රුපියල් මිලියන 1033කි. සභාවේ මූල්‍ය කටයුතු පවත්වාගෙන යාමේදී පැනනගින විවිධ තත්ත්වයන්ට මුහුණ දීම සඳහා බැංකු අයිරාව රුපියල් මිලියන 1850 දක්වා වැඩිකර ගතයුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවද අප අමතක නොකළ යුතුය. නගර සභාවට අන්ධයාගේ බූදලය කියන්නේ ද ඒ නිසාම වන්නට ඇත. සභාවේ සිදුවන නාස්තිය හා දූෂණය ගැන සභා වාරවලදී නැගෙන හඬ ද අතොරක් නැතිකමේය. නගරයේ වැසිකිලි ටික හදන්නට මුදල් වියදම් නොකරන නගරාධිපතිනිය සිය නිල නිවස පිළිසකර කරන්නට රුපියල් ලක්ෂ 57ක් වෙන්කරගෙන වැඩි කලක් නැත.

ඊට ජවිපෙන් චෝදනා නැගුණේ නගරාධිපති නිල නිවසේ වැසිකිලි අලුත්වැඩියාව සඳහා පමණක් රුපියල් ලක්ෂ 57ක් වෙන්කරගත් බවටය. ඒ බැව් ප්‍රතික්ෂේප කළ නගරාධිපතිනිය කීවේ වැසිකිලි සඳහා වෙන් කළේ රුපියල් ලක්ෂ 13ක් පමණක් බවය. මේ නගරසභාවේ වියදම් පිළිබඳ හෙලිවූ කරුණක් පමණක්ය.

එසේම සේවකයන් 8000ක් මහජන නියෝජිතයන් 119ක්, නඩත්තු කරන එකට නගර සභාව කොළඹ මහ නගර සභාව බවට ද අප අමතක කළ යුතු නැත.

නගර සභාවේ ඉහළ නිලධාරීන් සඳහා වෙන්කළ නිල වාහන සංඛ්‍යාව ද අසීමිතය. සභාව සතු වාහන 1500ක් අතුරින් 200කට අධික නිල වාහන සංඛ්‍යාවක් ඉහළ නිලධාරීන් සතුය. මෙම ඉහළ නිලධාරීන් අතර සභාවේ ඉංජිනේරැවරැන් පමණක් දහසකට ආසන්නය.

මීතොටමුල්ල කුණු කන්ද මීට වසරකට පෙර කඩා වැටුණේ ද එවන් තත්ත්වයක් තුළ බවට එකල කතා පැතිර ගියේ ද නිකමට නොවේ.

කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර මහතා පසුගියදා සභාවේ නිල වාහන ලැයිස්තුව සිය අතට ගත්තේ පුරුද්දට වාගේය. එහිදී අංක 19 – 6102 දරන රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනා මිට්සුබිෂී ලාන්සර් මෝටර් රථය පිළිබඳව ඇතිවූයේ කුකුසකි. 2011.12.01 දින සිට කොළඹ මහා නගර සභාවේ මාදම්පිටිය කාර්මික පුහුණු මධ්‍යස්ථානය භාර නිලධාරියා වෙත මෙම වාහනය භාර දී තිබූ බවට ලේඛන මඟින් තොරතුරු හෙළිවූයේ ඉන්පසුවය. 2014.11.01 දින සිට එම නිලධාරියාට කොළඹ අප ජල කළමනාකරණ ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවරයා ලෙස මාරුවක් ලැබීම නිසා එතෙක් කටයුතු කළ තනතුරෙන් මුදාහැර තිබුණි.

ඒ සමඟම ඔහුට භාරදී තිබූ නිල වාහනය ඇතුළු බඩු බාහිරාදිය ආපසු ලබාදෙන ලෙසට ලිඛිතව දන්වා තිබූ ලියකියවිලි ද සොයා ගැනුණි.

කෙසේ වෙතත් අංක 19 – 6102 දරන මිට්සුබිෂී ලාන්සර් මෝටර් රථය වාහන සංචිතයෙන් අතුරුදන්ව ඇති බව ඒ වනවිටත් හෙළිවී අවසන්ය. මේ වනවිට අදාළ නිලධාරියාට නව තනතුර සඳහා ද නිල වාහනයක් හා රියදුරකු ලබා දී ඇති බවට ද තොරතුරු අනාවරණය තිබේ. අතුරුදන් වූ නගර සභාවට අයත් මෝටර් රථය සෙවීමේ රහසිගත මෙහෙයුම ආරම්භ වූයේ ඉන්පසුවය.

මුලින්ම එම වාහනයට අවසන් වරට ඉන්ධන ලබා දී තිබුණේ කවදාද? කවුරුන් විසින්ද යන්න හෙළිකරගැනීමට හැකිවූයේ අදාළ ලේඛන පරික්ෂාවේදීය. අතුරුදන් වූ මෝටර් රථය පරිහරණය කළ නිලධාරියාගේ ලිපිනය වෙත නගර සභාවේ වැටලීම් කණ්ඩායමක් යැවීමට නාගරික කොමසාරිස්වරයා උපදෙස් දුන්නේ ඉන්පසුවය. අදාළ ලිපිනය සහිත ගම්පහ ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කර ඇතත් අතුරුදන් වාහනය එහි තිබී නැත. එතැනින් ලත් තොරතුරකට අනුව අදාළ නිලධාරියාගේ සොහොයුරිය පදිංචි ස්ථානය සොයා ගැනීමට වැටලීම් කණ්ඩායමට හැකිවිය. ඒ අසල තිබූ රියැදුරු පුහුණු පාසලක් ද ඔවුන් නෙත ගැටුණේ අහම්බෙනි.

නැති වූ වාහනය ද ඒ අසලය. රියැදුරු පුහුණුව සඳහා අදාළ වාහනය යොදවා මුදල් උපයා ඇති බවට ද වැටලීම් කණ්ඩායමට ඉවෙන් මෙන් දැනගැනීමට හැකි විය. මෙහෙයුම සාර්ථක විය. ගනේමුල්ල හොරගොල්ල ප්‍රදේශයේ ස්ථානයක තිබී හමුවූ වාහනය පිළිබඳව වහාම බස්නාහිර පළාත් පාලන කොමසාරිස් මඟින් එහි ප්‍රධාන ලේකම්වරයාට දැනුම් දීමට කොමසාරිස්වරයා පියවර ගත්තේ ඒ සමඟය.

අදාළ නිලධාරියා අංක 19 – 6102 දරන මෝටර් රථය වසර 4ක් තිස්සේ භාර නොදී අයථා පරිහරණය සඳහා යොදාගෙන ඇති බැවින් ආයතනය සංග්‍රහයේ 11 ඛණ්ඩයේ XLVIII පරිච්ඡේදයේ උප ලේඛනයේ වරදවල් කීපයක් සිදුකර ඇති බවටත් ඔහුගේ රාජකාරි කටයුතු අත්හිටුවීම තරයේ නිර්දේශ කරන බවටත්, කොමසාරිස්වරයා එම ලිපියේ සඳහන් කළේය. ඒත් සමඟම බස්නාහිර පළාත් සභාව ඊට ප්‍රතිචාර දක්වමින් මේ පිළිබඳව වහාම මූලික විමර්ශනයක් සිදුකර එම වාර්තාව දින 14ක් ඇතුළත ලබාදෙන ලෙසට විමර්ශන නිලධාරී එස්. ඒ. සී. මනුරංග මහතාට දැනුම් දී ඇති අතර එහිදී විෂමාචාරයක් අනාවරණය වන්නේ නම් කෙටුම්පත් චෝදනා පත්‍රයක් සකස් කරන ලෙසට ද උපදෙස් දී තිබිණි.

මේ අතර අදාළ වාහනය අස්ථානගත වීමේ සිද්ධිය පිළිබඳව රහස් පොලිසියට ද පැමිණිල්ලක් කර තිබේ. රහස් පොලිස් අධ්‍යක්ෂක ජී. එස්. අබේසේකර මහතා මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනයක් සිදු කිරීම සඳහා කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට උපදෙස් දී ඇතත්, මේ දක්වාම ඒ පිළිබඳව ගත් ක්‍රියාමාර්ගයක් ගැන නගර සභාව දැනුම්වත් කර නැතැයි ද දැනගත හැකි විය. මෙම සිද්ධිය පිළිබඳව අනාවරණය වූ වහාම අදාළ නිලධාරියා කොමසාරිස්වරයා හමු වී මෙම සිද්ධිය (ෂේප්) කරන ලෙසට ඉල්ලීමක් කර ඇතැයි ද දැනගන්නට තිබේ. ඊට දින කීහිපයකට පසු නාගරික කොමසාරිස්වරයාගේ පෞද්ගලික ලේකම්වරියගේ මේසය මත තිබී හමුවී ඇති ලිපියක සඳහන් වී ඇත්තේ 2014 දී මෙම වාහනය භාරදී ඇති බවය. 2018 වසරේදී අත්සන් තබා ඇති එම ලිපිය ද කොමසාරිස්වරයා සතුයි.

අන්ධයාගේ බූදලය යැයි මෙම නගර සභාවට කියන්නේ මෙවන් දේවල් නිසා නොවේයැයි කාටනම් කිවහැකිද?
අදාළ නිලධාරියාගේ පත්වීමේ ලිපියේ පටන් අභ්‍යන්තර ස්ථාන මාරුද, අංක 19 – 1602 දරන මෝටර් රථය ආපසු භාරදෙන ලෙසට යැවූ විදුලි පණිවුඩ ඇතුළු ලිපි ලේඛන සියල්ල දැන් රහස් පොලීසිය භාරයේය.

අතුරුදන් වූ මෝටර් රථය තවමත් රියැදුරු පාසලේ පැත්තකය. වසර 4ක් යනතුරු සංචිතයේ තිබූ වාහනයකට සිදු වූ දෙය නගර සභාවේ වග කිවයුතු අංශ භාර බලධාරීන් නොදැන සිටීම ද පුදුම සහගතය.

♦ ජයන්ත සමරකෝන්

Loading...