Loading...

අත්දැකීම් බහුල පරිණත දේශපාලනඥයකු වූ තිස්ස අත්තනායක මේ වනවිට සිය දේශපාලන දිවියට තාවකාලික විරාමයක් ලබාදී සිටින අතර රටේ වත්මන් දේශපාලනය ගැන පැවැත් වූ සාකච්ඡාවකි මේ.

• මේ වෙනකොට රටේ ඇතිවෙලා තියන දේශපාලන තත්ත්වය ඔබ දකින්නේ කොහොමද…?

මේක ව්‍යවස්ථාමය ආරවුලක්. මොකද හේතුව විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ඇතිවෙලා තියන මේ ගැටුම රටට සුබදායී නැහැ. අපි හැමවිටම ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සමගාමීව ගමන් කළහැකි එකිනෙකාට ගරුකළ හැකි ආයතන තුනක් හැටියට තමයි හඳුන්වන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ මේ ආයතන තුනම එකිනෙකාට ගරු නොකරමින් ක්‍රියාකරන තාක්කල් ගැටුම් පවතිනවා. මේක ඇත්තටම මෑත කාලයේ ඇතිවූ නරකම තත්ත්වයක් කිව්වොත් ඒකේ වැරැද්දක් නැහැ. මෙවැනි අවස්ථා තිබුණා මීට පෙරත්, මේ විදිහට සිදුවීම් වුණේ නැහැ.

• රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව දෙපාර්ශවය අතර කතානායකවරයාගේ කාර්යභාරය ගැන ප්‍රබල මතගැටුමක් ඇතිවෙලා තියන බව පේන්න තියනවා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයා ලෙස ඔබ මේ ගැන දරන මතය මොකද්ද…?

පාර්ලිමේන්තුව ක්‍රියාකළ යුතුව තිබෙන්නේ රටේ පවතින ව්‍යවස්ථාමය නීති රාමුවක් ඔස්සේ. මොකද පාර්ලිමේන්තුවේ වැඩ කරන්න ස්ථාවර නියෝග තියනවා. ඒ වගේම සම්ප්‍රදායන්වලට ගරු කරනවා. එතකොට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ සාම්ප්‍රදායන්වලට බැහැරව ක්‍රියාකරන්න කවුරු හරි උත්සාහ කරනවා නම් මතුවෙන්නේ ගැටුමක්. මෙතනදී කතානායකවරයාගේ ක්‍රියාකලාපය ගැන ප්‍රධානම චෝදනා ඉදිරිපත් කරන කණ්ඩායම කියන්නේ ස්ථාවර නියෝග හෝ සම්ප්‍රදායන්වලට බැහැරව කතානායකවරයා ක්‍රියාකර තියෙන කාරණයයි. මෙතනදී කතානායකවරයා ස්වාධීන විය යුතුයි. ඒ වගේම ආණ්ඩුවේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ වගකීම එතුමාට තියනවා. නමුත් මේකේ මත ගැටුම් දෙකක් තියනවා. ඒක අනාගතයේ යම් ආකාරයක බලය උරගාබැලීමේ උත්සාහයකට ඇතිවෙන ගැටලුකාරී තත්ත්වයක් බවට මේ වෙනකොට පත්වෙලා තියනවා.

• ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම හේතුවෙන් නියමිතව තිබූ මහමැතිවරණය පැවැත්වීම අවිනිශ්චිත වෙලා තියනවා. මේ සම්බන්ධව නඩුව දෙසැම්බර් 4, 5, 6 කැඳවීමට නියමිතයි. මේ අවස්ථාවේ මහ මැතිවරණයක් පැවැත්වීම කොතරම් දුරට සාර්ථක විසඳුමක් කියලා ඔබ හිතනවාද…?

මගේ නම් මේ සම්බන්ධව තිබෙන අදහස මෙවැනි ගැටුමක් නිරාකරණය කරගැනීමට යා යුතු එකම මඟ මැතිවරණය කියලා. මොකද අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස්වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඔස්සේ. එතකොට ජනතාව හැමෝටම තීන්දු තීරණ ගන්න බැරි නිසා පාර්ලිමේන්තු ක්‍රමයක් පත්කරලා තියෙන්නේ යම් ආකාරයක පාර්ලිමේන්තුව තුළ බලතුලනය පිළිබඳ ගැටලුවක් නැත්නම් ව්‍යවස්ථාව කතා කිරීම පිළිබඳ ප්‍රශ්නයක්, වෙනත් අර්බුදකාරී තත්ත්වයක් තිබුණොත් අපිට ගන්න තියන ලේසිම උත්තරය තමයි ඒ පිළිබඳ ජනතාවගේ අදහස ලබාගැනීම. ඉතින් ඒ නිසා ජනතාවගේ අදහස ලබාගැනීමට මහමැතිවරණයක් පැවැත්වීම සුදුසුයි කියලා මම හිතනවා. මොකද ඔළුගෙඩි මාරු කිරීම හරහා යම් ආකාරයකට සිදුවෙන්න ගිය යම් සිදුවීම් එතරම් සුබදායි නෙවෙයි. ඒ වගේම මේ ඔළුගෙඩි මාරුකිරීම හරහා වන ආණ්ඩු මාරුව එතරම් සුදුසු නැහැ.

• මේ ඔළුගෙඩි මාරුව සිදුනොවිය යුත්තක් කියලා ඇයි ඔබ කියන්නේ…?

ඇත්තටම මෙය වෙනස් විය යුතුයි. සමහර ප්‍රතිපත්තිමය කාරණා ජාතික වැදගත්කමක් ඇති කාරණාවලදී හෘද සාක්ෂියට එකඟව ක්‍රියාකරන අවස්ථා අතීතයේ අපි දැකලා තිබුණා. නමුත් මෑත කාලයේ අපි එවැනි දේ දුටුවේ නැහැ. වරදාන වරප්‍රසාදවලට ප්‍රතිපත්ති පාවා දෙනවා කියලා මන්ත්‍රීවරුන්ට චෝදනා එල්ලවෙන්න පටන්ගත්තා. මේක හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා පැහැදිලි ලෙසම මේ ඔළුගෙඩි මාරුව වෙනස්විය යුතුයි.

• ඔබගේ ඉදිරි දේශපාලන අපේක්ෂාවන් මොනවාද…?

මම මේ දිනවල ස්වාධීන මතයක් දරමින් ඉන්නේ. ඒ කිව්වේ පැහැදිලිවම මේ ගෙනියන වැඩපිළිවෙළවල්වල අඩුපාඩු දකිනවා. ඒ නිසා මම පසුගිය අවුරුදු තුනහමාරම දේශපාලන වශයෙන් නිශ්ශබ්දව බලාගෙන හිටියා. මොකද්ද රටේ වෙන්නේ කියලා. ඉතින් මේ යන ක්‍රමයේ මම දකින විශාලම අඩුව තමයි ජාතික හැඟීමක් නොමැතිකම. ඒ විතරක් නෙවෙයි රට ගැන හිතන හොඳ වැඩපිළිවෙළකට කවුරුත් අවංකව කැප වෙන්නේ නැහැ. මොකද සමාජයේ මතයක් තියනවා කවුරුත් තමන් වෙනුවෙන් මිස ජනතාව වෙනුවෙන් කැපවෙන්නේ නැහැ කියලා. ඒ නිසා මම මේ සියල්ල ගැන පසුතැවෙමින් ඉන්නේ. කොහොම වුණත් ඉදිරියේදී දේශපාලන වශයෙන් සුදුසු පියවරක් ගන්න බලාගෙන ඉන්නවා. ඒකෙදී සලකාබලන ප්‍රධාන කාරණය තමයි ජාතික වශයෙන් රටට වැඩදායි පියවරක් ගන්නා වූ වැඩපිළිවෙළක් තිබෙන්නා වූ කණ්ඩායමක් සමඟ එකට වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා.

• ඉදිරියේදී මැතිවරණයක් පැවතුණහොත් ඔබට එජාපයෙන් ඇරියුම් කළහොත් ඔබ නැවත යනවාද…?

මට මේ ප්‍රධාන පක්ෂ දෙකෙන්ම විවිධ ආරාධනා තිබෙනවා. විශේෂයෙන්ම එජාපයේ පහළ මට්ටමේ කණ්ඩායම් සහ එජාපයේ ඇමතිවරු ගණනාවක් මට ආරාධනා කළා. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ ඊට පෙර එජාපයේ අභ්‍යන්තරයේ තිබෙන ගැටලු බොහෝමයක් විසඳිය යුතුව තිබෙනවා. අද එජාපය වෙනස් විය යුතුයි කියලා මම හිතනවා. පක්ෂයට අලුත් මුහුණුවරක් ලබාදිය යුතුයි. වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඉතින් ඒ අවශ්‍ය වැඩපිළිවෙළ සහ මුහුණුවර නොමැතිව එජාපයේ ඉදිරි ගමනට විශාල බාධාවක් තියනවා.

• ඔබ ඔය නොකියා කියන්නේ එජාපයේ නායකත්වය වෙනසක් විය යුතුයි කියලද…?

ඒක මම පමණක් නෙවෙයි එජාපයේ බහුතරයක් දැන් කියන කතාවක්. මේ වෙනස ඇති කිරීමට ඉතාම අත්‍යවශ්‍ය කාරණයක් විදිහට මම දකිනවා.

• කතානායකවරයාගේ ක්‍රියාපටිපාටිය සම්බන්ධව වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් දැඩි විවේචන එල්ල වුණා. නමුත් කතානායකවරයා කියන්නේ ඔහු පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා කියලා. ඔබ මොකද මේ ගැන හිතන්නේ…?

ඇත්තටම ඒ ගැන මත කිහිපයක් තිබෙනවා. කතානායකවරයාගේ වගකීම විය යුත්තේ ස්වාධීන පුද්ගලයකු ලෙස සෑම පාර්ශවයකම අයිතීන් ආරක්ෂා කිරීම. එය සැමවිටම හොඳ වියයුතුයි. එහෙම ක්‍රියාකරද්දී කතානායකවරයාට තිබෙන මර්ගඋපදේශකත්වය තමයි ස්ථාවර නියෝග හා සම්ප්‍රදායන්. ඒ අනුව ක්‍රියාකළ යුතුයි. මේ ගැන පාර්ශව දෙකම කතානායකවරයාට බලපෑම් කරනවා. ඉතින් එවැනි තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගැනීමේ කාර්යය කතානායකවරයාට තියනවා.

• මේ අවස්ථාවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා කිනම් තීරණයක් ගත යුතුද…?

අපි ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියාකළ යුතුයි. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාත්, හිටපු අගමැතිතුමාත්, ජනාධිපතිතුමාත් මේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳිලා ඉන්නවා. මොකද අපි වැඩ කරන්නේ ජනතාවගේ නියෝජිතයන් ලෙස. ඉතින් ඒ ජනතා නියෝජිතයන් හැමවිටම ව්‍යවස්ථානුකූලව කටයුතු කරනවානම් මේ ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. මේ ප්‍රශ්න විසඳාගත යුත්තේ මහා මාර්ගවල නෙවෙයි සාකච්ඡා කරලා.

► සංවාද සටහන – හසිත්

Loading...