Loading...

සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දී වෙස්ට් මිනිස්ටර් ආණ්ඩුක්‍රමයක් තුළ පාලන තන්ත්‍රය ගෙන යාමට අදාළ ව්‍යූහය ඉදිරිපත් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ දේශපාලන බලය ඇතුළු ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සඳහා ශක්තිමත් දේශපාලන පක්ෂයක අවශ්‍යතාවය නිදහසට පෙර මතුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස 1946 සැප්තැම්බර් මස 06 වැනිදා ඩී. එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂය බිහිවිය.

සියලු ජාතීන් එක්සත් කිරීමේ අභිලාෂය මත ගොඩනැගුණු දේශපාලන පක්ෂය අර්ථ ගැන්වෙන අකාරයෙන් එය එක්සත් ජාතික පක්ෂය යනුවෙන් හැඳින්වීමට අවධානය යොමුවිය. එජාපය ගොඩනැගීම සඳහා එවක පැවති දේශපාලන කණ්ඩායම් වූ ලංකා ජාතික සංගමය, සිංහල මහා සභාව, මුස්ලිම් සංගමය ඇතුළු දෙමළ, මුස්ලිම් නායකයන් පාම්කෝට් මන්දිරයට කැඳවීමට ඩී. එස්. සේනානායක මහතා විසින් එවකට කටයුතු කරන ලදී.

කොළඹ ඇල්බට් ක්‍රෙසන්ට් මාවතේ පාම්කෝට් මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් ආරම්භ කරනු ලැබූයේ සාමාජිකයන් 205 දෙනකුගේ සහභාගීත්වයෙනි. 1947 ප්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තරග කළ අතර ඉන් විශිෂ්ට ජයක් ලැබීමට ඔවුනට හැකියාවක් ලැබිණි. අනතුරුව බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයෙන් මුල්බැස තිබූ සමාජ හා සංස්කෘතික හර පද්ධතීන් පිළිබඳ විවේචනාත්මකව අදහස් ඉදිරිපත් කළ එජාපයේ එවකට නායකයෝ නව සමාජ ක්‍රමයක් ගොඩනැගීමේ මුල් පියවර ලෙස 1948දී මෙරටට නිදහස අත්පත් කර දුන්හ.

1947, 1960 සහ 1965 යන වර්ෂවල පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කොට මෙරට සමාජ ආර්ථික සහ දේශපාලන පරිවර්තනයක් ඇතිකිරීමට පියවර ගත් අතර 1977 වසරේ පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 168න් 140ක හයෙන් පහක බලයක් ලබමින් ආණ්ඩුවක් පිහිටුවීමට ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් එජාපය සමත් විය.

අනතුරුව 1988 ජනාධිපතිවරණයේදී රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත් වූ අතර ඔහුගේ නායකත්වයෙන් යුත් 1989 පාර්ලිමේන්තු මහ මැතිවරණය ජය ගැනීමට නැවතත් එජාපයට නැතිවිය. කොටි ත්‍රස්තවාදීන්ගේ මිලේච්ඡ ප්‍රහාර හමුවේ ප්‍රේමදාස මහතා සිය ජීවිතයට සමුදෙන විට පක්ෂයේ උන්නතිය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටුකර තිබිණි.

ප්‍රේමදාස මහතාගේ හදිසි අභාවයෙන් පසුව ජනාධිපතිවරයා සහ එජාපයේ නායකයා ලෙස ඩී. බී. විජේතුංග මහතා පත්වූ අතර පක්ෂයේ දර්ශනය ඉදිරියට ගෙන යමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට ඔහු පියවර ගත්තේය.

1994 වසරේ එජාප නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වූ අතර 2001 වර්ෂයේ නැවත වරක් එජාප ආණ්ඩු බලයක් දිනා ගැනීමට ඒ මහතාගේ නායකත්වයට හැකිවිය. එහෙත් විධායක ජනාධිපති ධූරයේ වෙනත් පක්ෂයක නායකයකු කටයුතු කිරීම නිසා එජාප ආණ්ඩුව 2004 වසරේදී විසුරුවා හැරීමට කටයුතු කෙරිණි. එතැන් පටන් එජාපයට ආණ්ඩු බලය ලබා ගැනීමට නොහැකි වූ අතර විවිධ අභ්‍යන්තර ගැටුම්වලට ද මුහුණ දීමට සිදුවිය. මේ නිසා එජාපයේ මන්ත්‍රී ධූර දැරූ බොහෝ පිරිසක් පක්ෂයෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුළ එජනිස වෙනුවෙන් කටයුතු කිරීමට පෙළඹී සිටියහ.

ඉන් අනතුරුව බලයට පැමිණි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේදී පාර්ලිමේන්තුව තුළ සිටි ප්‍රධාන විපක්ෂය වූ එජාපය රටේ ප්‍රශ්නවලට විසඳුමක් අවශ්‍ය යැයි පවසමින් සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා ශ්‍රීලනිපය, දෙජාස ඇතුළු පක්ෂ ගණනාවක් සමඟ පුළුල් පෙරමුණකට ඇතුළත් විය. එය දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකි අතර 2015 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට එජාපය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට හැකියාවක් ලැබුණි.

පසුගිය දෙසතිය තුළ මෙරට හිටි හැටියේම වෙනස් වූ දේශපාලන තත්ත්වය මත එජාපයේ අභ්‍යන්තරය තුළ නැවතත් විවිධ මත ඇති වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වෙයි. වත්මන් එජාපයේ ඉදිරි ගමන පිළිබඳව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ මැති ඇමැතිවරුන් කිහිපදෙනකු දැක්වූ අදහස් මෙසේය.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ජේ. සී. අලවතුවල

රටේ මේ වෙනකොට ඇති වෙලා තිබෙන මේ දේශපාලන අර්බුදයත් එක්ක රටේ ජනතාව අතරේ කුකුසක් මතු වෙලා තියෙනවා. එජාපය අභ්‍යන්තරයේ ගැටුම් තියෙනවා නායකත්වයේ වෙනසක් අවශ්‍යයි කියලා. නමුත් බොහොම පැහැදිලිවම කියන්න ඕන පක්ෂය තුළ එවැනි කිසිදු බෙදීමක්, මත ගැටුමක් නැහැ කියලා. ඒ වගේම එජාපයේ වත්මන් නායකතුමා ගන්න තීන්දු තීරණ සමඟ පක්ෂයේ අනිත් මැති ඇමැතිවරුන් එක මතයක ඉන්නවා. ඒ වගේම ඉදිරියට අපේ පක්ෂය දැවැන්ත පිබිදීමක් එක්ක අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ පාක්ෂිකයන් පිබිදිලා ඉන්න වෙලාවක අලුත් තරුණ ජවයන් පක්ෂයට අවශ්‍යයි. ඒ නිසා අපි ක්‍රමවේදයන් සකස් කරනවා ඉදිරියට යන්න. මොකද ජනතාවට අවශ්‍ය ජයග්‍රහණයක්. ඒ ජනතාවට අවශ්‍ය ජයග්‍රහණය වෙනුවෙන් පක්ෂයේ නායකතුමන් එක්ක කතා කරලා අපි ඉදිරි වැඩපිළිවෙළක් සකසනවා.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

රට සංවර්ධනය කරා ගෙනියමින් සිටි කාලයේ තමයි මේ විදිහට දේශපාලන අර්බුදයක් එකවර රට තුළ මතුවුණේ. කොහොම වුණත් අපේ පක්ෂය ශක්තිමත්. එකම ස්ථාවරයක තමයි කටයුතු කරන්නේ. මේ වෙලාවේ රටේ ඇතිවෙලා තියන මෙම තත්ත්වය එක්ක බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ පක්ෂය තුළ යම් යම් ගැටුම් තියනවා කියලා. නමුත් එහෙම කිසිවක් නැහැ. තරුණ නායකයන් එක්ක අපේ පක්ෂය මේ වනවිට ශක්තිමත් පදනමක් යටතේ තමයි කටයුතු කරන්නේ. ඒ වගේම බිම් මට්ටමේ පාක්ෂිකයන් විශාල වශයෙන් තවමත් අපි එක්ක ඉන්නවා. පක්ෂය තව දුරටත් ශක්තිමත් වුණා මිස කිසි ඇද වැටීමකට ලක්වූයේ නැහැ මෙම සිදුවීමත් සමඟම.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම

අපේ පක්ෂයේ එහෙම බෙදීමක් නැහැ. සියලු නායකයන් එකතු වෙලා ගමනක් යනවා. ජනතාවගේ එක එක ඉල්ලීම් තියනවා. මොකද සමහර ජනතාව ප්‍රේමදාස චරිතයට කැමතියි. සමහර අය ජේ. ආර්. චරිතයට කැමතියි. එහෙම දේවල් තියනවා. ඒක ඉතිං ඒ ඒ අයගේ කැමැත්ත. අනික අපේ පක්ෂයේ ඔය කියන තරම් බෙදීමක් නැහැ. හොඳ ගමනක් යනවා. අනික අපි අපේ නායකතුමා අප්පච්චි මළා කියලා විසි කළා වගේ විසිකරන්නේ නැහැ. නායකතුමන් එක්ක අපි සාර්ථක ගමනක් යනවා. ඒ ගැන කිසිදු ප්‍රශ්නයක් පරහක් ඇතිකරගත යුතු නැහැ.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ

මේ වෙනකොට අපේ එක්සත් ජාතික පක්ෂය ඉතාමත් ශක්තිමත් තැනකට ඇවිත් ඉන්නවා. එජාපය දියකර හැරීමේ වැඩපිළිවෙළකට අපිම පත් කරපු ජනාධිපතිවරයා විසින් පසුගිය දිනවල උත්සාහ ගත් අයුරු අපි දුටුවා. නමුත් එය සාර්ථක වුණේ නැහැ. අපේ පාක්ෂිකයන් අපේ පක්ෂය ගැන හිත් රිදවීම්වලින්, කලකිරීම්වලින් හිටියනම් මේ වෙනකොට ඒක මඟඇරිලා තියෙනවා. ඒ වගේම අපි පක්ෂයත් රටත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙළ ගැහිලා තියෙනවා. ඒ වගේම අපේ පක්ෂයට අලුත් මුහුණුවරක් එක්ක පාක්ෂිකයන් බලාපොරොත්තු වූ ජනතා ආකර්ෂණය දිනාගත් නායකයන් එක්ක ඉදිරියට එනවා.

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලුවිහාරේ

අපේ වත්මන් නායකතුමා විශාල කැපකිරීමක් කරලා මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට අපේ බිම් මට්ටම ශක්තිමත් කරගෙන යනවා. පක්ෂයේ නායකතුමත් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමත්, ජාතික සංවිධායක නවීන් දිසානායක මැතිතුමා ඇතුළු කණ්ඩායම. තරුණ නායකයන් රැසක් දෙවැනි පෙළ නායකයන් රැසක් අප සතුව ඉන්නවා. මේ සියලු ප්‍රශ්න නිසි ආකාරව විසඳුණාට පස්සේ අපි ශක්තිමත් ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. කිසිදු බෙදීමක් අපේ පක්ෂය තුළ නැහැ.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම

වුණු කිසිම දේකින් එක්සත් ජාතික පක්ෂය බිඳ වැටෙන්නේ නැහැ. මොකද එජාපය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. පවුල් බලයක්වත්, පෞද්ගලික බලයක්වත් තියන පක්ෂයක් නෙවෙයි. ඒ වගේම ගම් මට්ටමේ ශක්තිමත් පදනමක් අපිට තියෙනවා. ශක්තිමත් තරුණ නායකත්වයක් අපිට ලැබිලා තියෙනවා. අපි එජාපය නියෝජනය කරන මහජන නියෝජිතයන් ලෙස නිරතුරුවම පාක්ෂිකයන්ගේ හඬට ඇහුම්කන් දෙනවා. අපේ පක්ෂය ශක්තිමත් අඩිතාලමක් දාලා තියන නිසා ඒක බිඳ වට්ටන්න කවරකුටත් බෑ. අපේ පක්ෂයේ නායකතුමා සමඟ සාකච්ඡා කරලා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ තීන්දු තීරණ අරගෙන තියෙන්නේ. මේ වනවිට පක්ෂයේ කිසිදු බෙදීමක් නැහැ. කඩා වැටීමකුත් නැහැ. කිසිවෙක් ඒ පිළිබඳ අනිසි බියක් ඇතිකරගත යුතු නැහැ.

► හසිත් අංජන

Loading...