Loading...

ජූලියාගේ හොඳම මිතුරිය රෙබයා වූවාය. ජර්මනියේ පෞද්ගලික රෝහලක හෙද කාර්ය මණ්ඩලයේ සේවය කරමින් සිටි මිතුරියන් දෙදෙනාගෙන් ජූලියා අවස්ථා කීපයකදීම රෙබයාට යෝජනා කර තිබුණේ නිවාඩුවක් ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට යා යුතු බවය. හිතවතියගේ යෝජනාවට එකඟ වූ රෙබයා ලංකා සංචාරයට සිහින මැව්වේ මාස කීපයක සිටය. දෙදෙනාගේම සිහිනය සැබෑ කරමින් මිතුරියන් දෙන්නා කටුනායකින් ලංකාවට ගොඩබැස තිබුණේ ඉකුත් 3 වැනිදා පස්වරුවේය.

මෙරටට පැමිණි දිනයේම මිතුරියන් දෙන්නා මීගමුව වෙරළ තීරයට ආසන්නයේ වූ සංචාරක හෝටලයක නවාතැන් ගත්තෝය. පසුදිනයේ රියදුරෙක් සහිතව වෙන්කරගත් මෝටර් රථයකින් සීගිරිය, දඹුල්ල, පොළොන්නරුව ඇතුළු ප්‍රදේශ කීපයකම සංචාරය කළෝය. පුරා සතියක් එසේ විවිධ ස්ථානවල සංචාරය කරමින් ලංකාවේ සුන්දරත්වය විඳි මිතුරියන් දෙදෙනාගේ ඊළඟ අරමුණ වී තිබුණේ සීතල නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය කිරීමයි.

නවුරඑළිය සුන්දරත්වය විඳ ගැනීම සඳහා ජූලියා සහ රෙබයා පෙර කී රියදුරු සමඟින් නුවරඑළිය නගරයට ගොස් තිබුණේ පසුගිය 10 වැනිදා පස්වරුවේය. පොළොන්නරුව සිට නුවරඑළියට ගිය දෙදෙනාම එදින ප්‍රදේශයේ වෙනත් තැනකට යාමට කාලයක් තිබුණේ නැත.

කල්වේලා ඇතිව වෙන් කරගෙන තිබූ හෝටලයක නවාතැන් ගත් දෙන්නා පසුදා, 11 දින අළුයමින් නැගිට සූදානම් වූයේ අපූරු ස්ථාන රැසක් නරඹා සුන්දර සංචාරයක මතකයන් රැස් කර ගන්නටය. ලහිලහියේ පාන්දර 5ට පමණ පිටත් වූ දෙන්නා රියදුරු නීල් ප්‍රේමතිලක සමඟින් හෝටන් තැන්න බලා පිටත් වූවෝය. නුවරඑළිය නගරයේ සීතල මැදින් පෙනෙන දර්ශන නරඹමින් ගිය පිරිස හෝටන් තැන්න ප්‍රදේශයට ළඟා වනවිට පෙරවරු 7ට ආසන්න වී තිබුණි.

ලෝකාන්තය නැරඹීම සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර මිලදී ගත් හිතවතියන් එහි පිවිසුමෙන් ඇතුළට ගියේය. ඒ අතර රියදුරු එතැන නැවතී සිට අසල වූ වෙළඳසැලක් වෙත ගොස් තේ පානය කරමින් සිටියේය. මේ අතර ලෝකාන්තය නැරඹීමට ගිය මිතුරියන් දෙන්නා පැයක් පමණ එහි ගතකර තිබිණි. එතැනින් නික්මෙන්නට මොහොතකට පෙර ජූලියා කියා තිබුණේ ‘මට ලෝකාන්තය පහළ හොඳින්ම බලාගන්න ඕනෑ… අර ගලට බැස්සානම් බලන්න පුළුවන්’ යනුවෙනි. ඇගේ මිතුරිය රෙබයා ඊට විරුද්ධ වූයේ නැත. ජූලියා යන දෙස පසෙකට වී බලා උන් ඇය අත සිය මිතුරියගේ කැමරාව ද තිබුණි.

ටික වේලාවක් ලෝකාන්තය දෙස බලා උන් ජූලියා නැවත හැරී එන්නට සූදානම් වූවාය. ඒ ගමන ඉදිරියට එන්නට ඇයට හැකිවූයේ නැත. ක්ෂණයකින් සිදුවූ අතපසුවීමක් නිසා ඇද වැටුණු ජූලියා නොපෙනී ගියේය. කිසිවක් සිතා ගැනීමට නොහැකිව කලබලයට පත් හිතවතිය රෙබයා ඉක්මන් වූයේ තත්පර කීපයක් ගෙවුණු පසුවය. දිවගිය රෙබයා සිදුවූ අනතුර සම්බන්ධයෙන් වන උද්‍යාන පිවිසුමේ සිටි නිලධාරීන්ට පවසා තිබුණි. ඒ පිළිබඳ කතාව අසල සිටි රියදුරු මහතාට ද ඇසී තිබුණි. එසැණින් ඔහු පට්ටිපොල පොලිස්ථානය වෙත ගොස් අනතුර පිළිබඳව දන්වා තිබුණි.

ලෝකාන්තයට ඇද වැටුණු ජර්මන් ජාතික ජූලියා සෙවීම ඇරඹුණේ ඉන් අනතුරුවය. ලෝකාන්තයේ පාමුල දිස්වන්නේ බලංගොඩ ප්‍රදේශයයි. එහි කෙළවර නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික්කයේ මායිමය. ඒ අනුව පොලීසිය සැක කළේ කාන්තාව බලංගොඩ නන්පේරියල් වතු යායට ඇද වැටෙන්නට ඇති බවය. මේ සම්බන්ධයෙන් පට්ටිපොල පොලිස්ථානය මඟින් බලංගොඩ පොලීසිය දැනුම්වත් කර තිබුණු අතර එහිදී එම නිලධාරීන් ක්‍රියාත්මක වී තිබුණි. වර්ෂාව, මීදුම හා සීතල මැද අදාළ ප්‍රදේශයට ළඟා වීම දුෂ්කරය. දුරකථන සංඥා ක්‍රියාත්මක නොවන කලාපයක් නිසා යන කෙනකු සමඟ සබඳතාවයක් ගොඩනගා ගැනීම ද අසීරුය. එහෙත් බලංගොඩ පොලීසියේ නිලධාරීන් සමඟ යුද හමුදා නිලධාරීන් 60 දෙනකු සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 10 දෙනකු මෙන්ම ගම්වාසීන් පිරිසක් ද එක්වූහ. අවසානයේ පිරිස නන්පේරියල් වතුයායට ළඟා වී නැවත පැමිණීමට හැකි වී තිබුණේ දින දෙකකට පසුවය.

ලෝකාන්තයෙන් ඇද වැටුණු විදේශික තරුණියගේ සිරුර රැඳී තිබී ඇත්තේ ලෝකාන්තයෙන් කිලෝමීටරයක් පමණ පහළින් වූ ඉහත කී වතු යායේ තැනකය. ඇයගේ අධික බර නිසා සිරුර ඔසවාගෙන ඒම අසීරු වී තිබිණ. මෙහිදී පොලීසිය සඳහන් කළේ මියගිය තරුණියගේ බර කිලෝග්‍රෑම් 110ක් වූ බවය. දුෂ්කර මාර්ගයකින් රැගෙන ආ සිරුර බලංගොඩ රෝහල වෙත යොමු කළේ ඉන් අනතුරුවය.

අනතුර පිළිබඳ විමර්ශනය කළ පොලීසිය හෙළිකරගත් තොරතුරු අනුව තරුණියන් දෙදෙනා ස්ථාන කීපයක හෝරාවක් පමණ ගතකර ඇත. මියගිය තැනැත්තිය කොන්ක්‍රීට් බැම්මක් පසුකර පහළට බැස තිබෙන අතර එතැනින් යළිත් පස් බැම්මකට මාරු වීමට උත්සාහ දරා ඇත. එහිදී වැස්සට තෙමී තෙත් වී තිබූ පොළොව ඇගේ අධික බර නිසා කඩාගෙන වැටී ඇති අතර තරැණිය ඇද වැටි ඇත්තේ ඒ මොහොතේදීය.

සිදුවීම පිළිබඳව බලංගොඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයන තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ලෝරන්ස්, පොලිස් කොස්තාපල්වරුන් වන (448) රුවන් ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

► සමන්ත ප්‍රදීප් විල්තෙර

Loading...