Loading...

ලෝකය පුරා මාරාන්තික අනතුරක් ඉතා වේගයෙන් පැතිර යමින් පවතියි. බෙහෙත් නාහන විෂබීජ පැතිරයාම හෙවත් “සුපර් බග්” මාරකයයි. ජගත් සෞඛ්‍ය සංවිධානයද දැන් මේ මාරකය නිසා තක්කු මුක්කු වී ගොසිනි. මාරාන්තික විෂබීජ නැසීමට මේ වනවිට රෝගීන්ට ලබාදෙන සුපිරිම බෙහෙත් සඳහා එම විෂබීජ ප්‍රතිරෝධී බවක් ඇතිකර ගැනීම මේ භයානක තත්ත්වයයි. ප්‍රතිජීවක ප්‍රතිරෝධතාව (Antibiotic Resistance) නැතිනම් බැක්ටීරියා ප්‍රතිරෝධතාවය යනුවෙන් ලොවපුරා සෞඛ්‍ය අංශයේ මහත් ආන්දෝලනයක් ඇතිකර තිබෙන මේ අලකලංචියේ අවසන් ප්‍රතිඵලය බෙහෙත් නැති ලෙඩ සාදන සුපිරි විෂබීජ හෙවත් “SUPER BUG” මාරකය මිනිස් වර්ගයා සමූල ඝාතනයට ලක්කරමින් පැතිර යාමය. වාර්තාගත නවතම දත්ත අනුව ප්‍රතිජීවක ප්‍රතිරෝධතාව දැන් අපේ රටේද අනතුරුදායක මට්ටමකට ඉහළ ගොසිනි.

ජගත් සෞඛ්‍ය සංවිධානය ඉකුත් සතිය නම්කර තිබුණේ ප්‍රතිජීවක ප්‍රතිරෝධතාව (Antibiotic Resistance) පිළිබඳ දැනුවත් කිරීමේ සතිය ලෙසටය. එම සතියේ ක්ෂුද්‍රජීව වෛද්‍යවේදය පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ වත්මන් සභාපතිනිය වන විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ජයතිලක මේ වනවිට ජගත් සෞඛ්‍ය සංවිධානය ද කැළඹීමට සමත්ව ඇති ආන්දෝලනාත්මක විශේෂඥ අනාවැකියක් ගැන පෙන්වා දුන්නාය. එනම් මේ යන මට්ටමට ලෝකය තුළ ප්‍රතිජීවක ප්‍රතිරෝධතාව පැතිර ගියහොත් 2050 වනවිට වසරකට කෝටියක් පමණ දෙනාගේ ජීවිත අහිමි විය හැකි බවට ආර්ථීක විද්වතෙක් කර ඇති ප්‍රකාශයයි. 2014 වසරේ සිදුකළ මේ අනාවැකි ප්‍රකාශයට අනුව ඒ තත්ත්වය වැඩියෙන්ම බලපාන්නේ ආසියාවට සහ අප්‍රිකාවටය. ඒ අනුව එකල වනවිට ලංකාවද ඇතුළත්ව ආසියාවේ ජනගහනයෙන් 4,730,000ක් වාර්ෂිකව බැක්ටිරියා ආසාදන නිසා බෙහෙත් නැතිව මියයනු ඇත. අප්‍රිකානු භූමියේ ඒ තත්ත්වය වසරකට 4,150,000කි. මේ තත්ත්වය තවත් දරුණු වනු ඇත්තේ නව ප්‍රතිජීවක සොයා සිදුකරන පර්යේෂණ සඳහා අදාළ ඖෂධ සමාගම් තුළ ඇති උනන්දුව හීනවීමත් සමගය. මන්ද ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය අසීරු එමෙන්ම වියදම් අධික කාර්යයක් බවට පත්ව තිබීමය. එහෙයින් ජගත් සෞඛ්‍ය සංවිධානය ප්‍රතිජීවක ප්‍රතිරෝධතාව ඉහළයාම වළක්වාලීම සඳහා ක්‍රියාකාරි වැඩපිළිවෙළක් හඳුන්වාදී ඇත. පියවර 5කින් යුතු මෙය ලංකාවේද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

මුලින්ම මේ යටතේ අවධානය යොමුව ඇත්තේ ප්‍රජාව දැනුවත් කිරීමය. සමස්ත ජනයා, මෙන්ම වෛද්‍යවරුන් හා සෞඛ්‍ය අංශ සේවකයන්ද මේ අනුව ප්‍රතිජීවක ප්‍රතිරෝධතාව වළක්වා ගැනීම සඳහා ගතයුතු ආරක්ෂණ පියවර ගැන දැනුවත් කරනු ලැබේ. දෙවනුව මේ පිළිබඳ ලොවපුරා පර්යේෂණ නිසිලෙස පවත්වා දත්ත රැස්කිරීම මගින් මේ අබග්ගයේ සැබෑ මුහුණුවර වටහාගන්නට පියවර ගනු ඇත. තෙවැනුව බැක්ටීරියා ආසාදන පාලනයට අවශ්‍ය පියවර ගනු ලැබේ. ඖෂධ එන්නත් සුලබ කිරීම මෙන්ම යහපත් සෞඛ්‍ය පුරුදු ප්‍රචලිත කිරීමද මෙහි අරමුණයි. හතරවැනි පියවර ලෙස ඉදිරිපත්ව ඇත්තේ ප්‍රතිජීවක නිසි පරිදි භාවිතය හුරුකිරීමට කටයුතු කිරීමයි. වඩාත් වැදගත් පියවර මෙයයි. බැක්ටීරියා වෙනස්වීමට ලක්වීම සහ එවන් ප්‍රතිරෝධී වෙනස්කම් සහිත බැක්ටිරියා බහුලව පැතිරයාමට ප්‍රධාන හේතුව ප්‍රතිජීවක අනිසි භාවිතය බව විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ජයතිලක පෙන්වා දෙයි. ලංකාව තුළද සමහර ප්‍රතිජීවක සඳහා ප්‍රතිරෝධතාව එංගලන්තය වැනි බටහිර රටවල් හා සැසඳීමේදී සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව ඇය කීවාය. නිදසුනක් ලෙස මිනිස් සිරුරේ බහුලව හමුවන ඊ-කොලයි බැක්ටීරියාව රුධිරගතව ආසාදනයට ලක්වූ විට ලබාදෙන Ciprofloxacin නමැති ඖෂධය සඳහා ලංකාවේදී ප්‍රතිරෝධතාව සියයට 60ක පමණ ඉහළ මට්ටමකට ළංවී ඇති අතර එංගලන්තයේදී එය සියයට 18ත් 20ත් අතර අඩු අගයක පවතින බව ඇය පෙන්වා දුන්නාය. මේ නිසාම ප්‍රතිජීවක අනිසි භාවිතය වළක්වා ගන්නා අන්දම ගැන අපේ ජනතාවට නිසි දැනුමක් ලබාදිය යුතු බව ඇය කීවාය. ප්‍රතිජීවක නිසි භාවිතය පිළිබඳ දැනගත යුතු කරුණු කිහිපයකි.

මුලින්ම පැහැදිලි කරගත යුතු කාරණය වන්නේ ප්‍රතිජීවක යනු මොනවාද? යන්නයි. එසේම ඒවා පමණ දැන භාවිතා කරන්නෙ කෙසේද යන්නයි. සාමාන්‍යයෙන් ප්‍රතිජීවක මගින් කෙරෙන්නේ බැක්ටීරියා විනාශ කිරීම හෝ ඒවායේ වර්ධන නවතා දැමීමයි.

වෛද්‍ය විද්‍යාත්මකව ප්‍රතිජීවක යනු, බැක්ටීරියා, දිලීර හා සමහර පරපෝෂිතයන් විසින් ඇති කරන බෝවන රෝග ඇතුළු ආසාදන (Infections) සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරන ප්‍රබල ඖෂධ වර්ගයන්ය. මතක තබාගන්න! මේ ඖෂධ සාර්ථක වන්නේ බැක්ටීරියා, දිලීර හා සමහර පරපෝෂිතයන්ගෙන් සාදන රෝග සහ ආසාදනවලටම පමණි. වෛරස මගින් සාදන රෝග සඳහා මේවායේ බලපෑමක් නැත. ඒ නිසා සෑම ලෙඩකටම, එනම් වෛරස් මගින් ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව, උණ, බොහොමයක් කැස්ස හා උගුර වණවීම් වැනි රෝග සඳහා වෛද්‍යවරයාගෙන් ප්‍රතිජීවක කරල් ඉල්ලා බල කිරීමත්, නැතිනම් හිතූමතයට ෆාමසියෙන් ප්‍රතිජීවක ඖෂධ මිලට ගෙන භාවිතාවට ගැනීමත් මහා විනාශයකට අතවැනීමකි. එය ප්‍රතිජිවක ප්‍රතිරෝධය (Antibiotic Resistance) නමැති මාරාන්තික තත්ත්වය සඳහා සිය සිරුර ගොදුරු වීමට අවශ්‍ය පහසුකම් සලසා දීමකි. නැත්නම් බෙහෙත් නාහන මාරාන්තික විෂබීජ හෙවත් “සුපර් බග්”ලාට හිතූ හැටියට පැතිරෙන්නට ඉඩ සලසා දීමකි.

ප්‍රතිජීවක භාවිතා කළ යුතු හා නොකළ යුතු අවස්ථා පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමෙන් මෙන්ම ඒවා භාවිත කළ යුතු නිවැරදි ආකාරය ගැන දැනුවත් වීමෙන්ද ඔබ හා ඔබගේ පවුල දැනටමත් පැතිරයාම ඇරඹී ඇති මේ මාරාන්තික තත්ත්වයෙන් ආරක්ෂා කර ගත හැකිය. ඒ සඳහා නොපමාව පුරුදු කරගත යුතු අත්‍යවශ්‍ය මූලික ආරක්ෂක පියවර කිහිපයක් පිළිබඳව විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ජයතිලක මහත්මිය අප සමඟ අදහස් දැක්වූවාය.

මුලින්ම ඇය කියන්නෙ සුදුසුකම් ලත් වෛද්‍යයවරයකු මනා රෝග පරීක්ෂාවකින් පසු ලබාදෙන බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව සිය හිතුමතේ ප්‍රතිජීවක ගැනීමෙන් සහමුලින්ම වළකින්න කියාය. කලින් රෝගී වූ අවස්ථාවක ලබාදී ඉතිරිව ඇති ප්‍රතිජීවක ඖෂධ භාවිතයට ගැනීම හෝ කලින් දුන් තුණ්ඩු පෙන්නා බෙහෙත් ලබාගෙන භාවිත නොකළ යුතුය. සාමාන්‍යයෙන් බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව ප්‍රතිජීවක ඖෂධ නිකුත් කිරීමද ලංකාව තුළ නීතියෙන් තහනම් වූ කටයුත්තකි.

එසේම වෛද්‍යවරයෙකු විසින් යම් ප්‍රතිජීවකයක් නියම කරන ලද්දේ නම් රෝගය සුව අතට හැරුණ ද ලබාදී ඇති සම්පූර්ණ ප්‍රතිජීවක ප්‍රමාණයම නියම කරන ලද කාලසීමාව තුළ භාවිතා කළ යුතු බව ඇය අවධාරණය කරන්නීය. එසේම නිසි මාත්‍රාව නිසි වෙලාවට එනම් පැය 6න් 6ට පැය 8න් 8ට ලෙස වූ වෛද්‍ය උපදෙස් අනුවම ලබාගත යුතුවේ. මෙමගින් රෝගී ශරීරය තුළ ඉතිරි වී සිටිය හැකි අහිතකර බැක්ටීරියා සුළු ප්‍රමාණය පණ ගසා ඇවිත් ප්‍රතිජීවක ඖෂධ සඳහා ප්‍රතිරෝධතාව දැක්වීමට ගොදුරුවීමේ අවදානම අවම කරනු ඇත.

මීට පෙර වෙනත් රෝගයන් සඳහා ලබාගත් ප්‍රතිජීවක ඉතිරි වී තිබේ නම් එය වෛද්‍යවරයකුගේ උපදෙස් නොමැතිව නැවත භාවිතා කිරීමෙන් වළකින්න යැයි කියන්නේ ඇයි? සමහර විට එය රෝගයට නිශ්චිතවම ලබාදෙන ප්‍රතිජීවකය නොවීමට ඉඩ ඇති නිසාය. නැතිනම් එය අදාළ රෝග කාරක බැක්ටීරියාව සම්පූර්ණයෙන් විනාශ කිරීමට ප්‍රමාණවත් නොවන්නට ඉඩ ඇති නිසාය. එසේ කිරීමෙන් ඔබ සුවපත් නොවනවා පමණක් නොව ප්‍රතිජීවක ප්‍රතිරෝධතාවටද ගොදුරු විය හැකි නිසාය. එසේම තමන්ට ලබාදුන් ඖෂධ අන් අයට ලබාදීම හෝ නිර්දේශ කිරීම හෝ සිදු නොකළ යුතු කාර්යයකි. පුද්ගලයාගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ශරීර ස්වභාවය, ඇතුළු කරුණු රැසක් මත ඖෂධ වර්ගය මාත්‍රාව ආදිය වෙනස්වන හෙයිනි. ප්‍රතිජීවක ලබාදීමේදී වෛද්‍යවරුන්ද නිසැකවම අනුගමනය කළ යුතු කාරණාවක් තිබේ. එනම් තමන් එබඳු ඖෂධයක් ලබාදෙන බවත් එය භාවිත කළ යුතු නිවැරදි ආකාරය ගැනත් රෝගීන් සැමවිටම දැනුවත් කිරීමය.

එසේම විෂබීජ ආසාදනවලින් වැළකීමට නම් ඔබ පළමුවෙන්ම පුංචි කාලේ සිට කියාදී ඇති යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම පුරුද්දක් කරගත යුතුය. කෑමට පෙර, වැසිකිළි යාමෙන් පසු හා ළදරුවකුගේ හෝ සුරතල් සතෙකුගේ මළපහ ඉවත් කිරීමට සිදුවූ අවස්ථාවලදීත් අත් සබන් ගා පිරිසුදු ජලයෙන් හොඳින් සෝදා ගත යුතුය. නිසි අත් සේදීමක් මගින් පමණක් ආසාදන රෝග රැසක්ම වළක්වා ගත හැකි බව වෛද්‍යවරිය කියයි.

ජගත් සෞඛ්‍ය සංවිධානය ප්‍රවතිජීවක ප්‍රතිරෝධතාව ඉහළයාම වළක්වාලීම සඳහා හඳුන්වාදී ඇති වැඩපිළිවෙළ යටතේ පස්වෙනි තැනට ගැනෙන්නේ නව ප්‍රතිජීවක සහ ආසාදිත විෂබීජ වෙන්කර හඳුනා ගැනීමේ පරීක්ෂණ වැඩි දියුණුවට සහ සුලභ කිරීමට අදාළ මූල්‍ය සහ යටිතල පහසුකම් සැලැස්වීමය. මේ යටතේ ලංකාවට ද ඉදිරියේ පහසුකම් හිමිවීමට ද නියමිතය.

Loading...