Loading...

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් පසුගිය සතියේදී පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ කමිටු කාමරයකදීය.

කණ්ඩායම් රැස්වීමට සහභාගී වූ මහින්ද ටික වේලාවක් එහි සිට එතැනින් පිටත්ව ආවේය.

ඒ කණ්ඩායම් රැස්වීම ඉදිරියට ගෙන යාමට අවස්ථාව ලබාදෙමින්ය.

මෙම කණ්ඩායම් රැස්වීමෙන් පසුව මාධ්‍ය සාකච්ඡාවක්ද එම ස්ථානයේම සූදානම් කර තිබුණි.

කණ්ඩායම් රැස්වීම දිගින් දිගටම ඇදී යමින් තිබිම නිසා දයාසිරි ජයසේකර සහ තිලංග සුමතිපාල මාධ්‍යවේදීන් සිටි තැනට වරින් වර පැමිණියහ.

“කණ්ඩායම් රැස්වීම ටිකක් ඇදෙනවා. ‍පොඩ්ඩක් ඉන්න. අපි ටික වේලාවකින් පටන් ගනිමු” තිලංග සුපුරුදු පරිදි මාධ්‍යයට සිය සුහදත්වය දැක්වූවේය.

ඒ අතර කණ්ඩායම් රැස්වීම කෙමින් කෙමින් උණුසුම් මුහුණුවරක් ගත්තේය.

ඒ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා දැක්වූ අදහස් නිසාය.

වෙල්ගම අදහස් දැක්වීම ආරම්භ කරන විට මහින්ද සිටියත් ඔහුගේ අදහස් දැක්වීම අවසන් වන විට මහින්ද එහි සිටියේ නැත.

“මම මේ දීගෙට කැමැති වුණේම නෑ. එකතුවෙන්න ඕන නෑ කියන එක තමයි මම දිගටම කිව්වේ. මෙහෙම එකතු වුණාට බහුතරයේ කැමැත්තක් නෑ. මහින්ද මහත්තයායි අපියි වට්ටන්න තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. මේක අපි වට්ටන්න අටවපු උගුලක්. කවුරුවත් මේක තේරුම් ගන්නේ නෑ. සර් එක්ක ඉන්න අයම තමයි සර් මේ උගුලට ඇඳලා දාන්නේ”

වෙල්ගම කීවේ මහින්දට පසෙකින් සිටින විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඉලක්ක කරගනිමිනි.

ඒ කතාව අවසන් වන විටම මහින්ද එතැනින් පිටත්ව ගියේය.

මහින්ද පිටත්ව ගිය පසුවත් වෙල්ගම කතාව අවසන් කළේ නැත.

“බලන්න රටක් වටින මහින්ද මහත්තයාට ඔයාලා කරපු වැඩේ. ඒ මනුස්සයා දැන් විනාශ කරලා දානවා. නිකම් හැමෝගෙන්ම බැණුම් අහනවා. අවඥාවට ලක් කරනවා. අන්තිමේදී අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නෑ. ‍පොහොට්ටුවත් නෑ. දැන් ‍පොහොට්ටුවත් ඉවරයි. අපිත් ඉවරයි. රටත් ඉවරයි. තොපිලා තමයි මේක කාලා දැම්මේ”

වෙල්ගම කීවේ දැඩි කේන්තියකිනි.

Loading...