Loading...

මාලිගාවත්ත පාතාලය ගැන කතා කරන විට මොහොමඩ් නියාස් හෙවත් ‍පොට්ට නවුෆර්ගේ නම ඇත්තේ ඉදිරියෙනි. කලින් කලට විවිධ පුවත් මවන ‍පොට්ට නවුෆර්ගේ නම මේ වන විට යළි කරළියට පැමිණ තිබේ. මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය හා ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කර මේ මස 19 වැනිදාට වසර 14ක් සපිරේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් වැරදකරු වූයේ මෙකී නවුෆර් නමැත්තාය. ඒ අනුව මරණීය දඬුවම නියමවූ ඔහු මේ වන විට රඳවාගෙන සිටින්නේ බදුල්ල බන්ධනාගාරයේය. එහෙත් පසුගියදා ‍පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරකින් කියැවුණේ මෙම සිරකරු බදුල්ල බන්ධනාගාරයෙන් පැන යාමේ සැලසුමක් ඇති බවය. ඒ අනුව ඔහු බදුල්‍ලේ සිට මහනුවර දුම්බර බන්ධනාගාරයට මාරුකර යැවිණි.

නවුෆර් බන්ධනාගාරයෙන් පැන යාමට සැලසුම් කළ ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර මීට පෙරද කිහිප වතාවක් ඔහු දිවයිනේ විවිධ බන්ධනාගාරවලට මාරු කෙරුණේ එසේ සැලසුම් ඇති බව ආරක්ෂක අංශ වෙත ලද තොරතුරු හේතුවෙනි. කොටහේන, හින්නිඅප්පු මාවතේ පදිංචිව සිටි මොහොමඩ් නියාස් මුස්ලිම් වුවද ඔහු කටයුතු කළේ දෙමළ පාතාලය හා එක්වය. මෙය පාතාලයේ බොහෝදෙනකුට නොරිස්සු කරුණක් විය.

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි මොහොමඩ් නියාස්ට පාතාලයේ ඔහුගේ ප්‍රතිමල්ලවයෙකු වූ විජේපාලන්ගේ බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් පසු සිය දකුණු ඇස අහිමි විය. එතැන් සිට ‍පොට්ට නවුෆර් ලෙස නම් ලද මොහොමඩ් නියාස් ටිකෙන් ටික කුලියට මිනී මැරීම, අවි ආයුධ ගනුදෙනු ආදිය සඳහා නැඹුරු වූ අතර එයින් රුපියල් කෝටි ගණනින් මුදල් ඉපයීය.

තරුණියක වෙඩි තබා ඝාතනය කිරීම, මුස්ලිම් තරුණයකු ඝාතනය කිරීම, කොළඹ ජාතික රෝහ‍ලේදී ‍පොලිස් ඔත්තුකරුවකු වෙඩි තබා මරා දැමීම ආදී අපරාධ රැසක් සම්බන්ධයෙන් ‍පොට්ට නවුෆර්ට චෝදනා එල්ල වී තිබුණි.

මෙහි එක් නඩුවක් 2004 වසරේ විභාග වූයේ එවකට කොළඹ මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඉදිරියේය. නවුෆර් එකී නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම හේතුවෙන් එම නඩුව විභාගය අවසන් වනතෙක් ඔහු රිමාන්ඩ් භාරයේ තැබිමට මහාධිකරණ විනිසුරු අඹේපිටිය නියෝග කළේය.

කිහිප අවස්ථාවක ඇප ඉල්ලුවද එය මහාධිකරණ විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නවුෆර්ගේ දැඩි නොසතුටට හේතුවී තිබිණි. ඒ අනුව ඔහු අභියාචනාධිකරණයෙන් ඇප ඉල්ලා සිටියේය. එහිදී ඔහුට ඇප හිමිවූයේ නවුෆර්ගෙත් මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටියගේත් ජීවිත වෙනස්ම මගකට යොමු කරවමිනි.

ඇප ලැබුවද මහාධිකරණ විනිසුරුවරයා කෙරෙහි ක්‍රෝධයෙන් සිටි නවුෆර් මේ විනිසුරුවරයාගෙන් තමන්ට ගැලවීමක් නැතැයි කල්පනා කළේය. 2004 නොවැම්බර් මස 19 වැනි දින මහාධිකරණ විනිසුරු අඹේපිටිය හා ඔහුගේ ආරක්ෂකයා වූ ආර්.ඒ. උපාලි බෞද්ධාලෝක මාවතේ, සරණ මාවතේ පිහිටි විනිසුරු නිවසේදී වෙඩි තබා ඝාතනය කෙරිණි. එම ඝාතනය පිටුපස සිටියේ නවුෆර්ය. මෙකී ඝාතනයෙන් මාස හයකට පසු එනම් 2005.05.19 වෙනි දින මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතන නඩුව කැඳවිය. එහිදී නවුෆර්ට ඝාතන කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවද අනෙක් සැකකරුවන් සිව්දෙනා වූ සුජිත් රෝහණ රූපසිංහ, සුමින්ද නිශාන්ත, උදාර පෙරේරා, ලසන්ත කුමාර යන පිරිසට එම ද්විත්ව ඝාතනය පිළිබඳ චෝදනාවද එල්ල වී තිබුණි.

මාස තුනකට අඩු කෙටි කලකදී මෙකී නඩුව අසා තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේඅ 2005 ජූලි 04 වෙනි දිනය. මෙකී සැකකරුවන් පස්දෙනාටම මරණීය දණ්ඩනය මෙහිදී හිමි විය.

මෙම තීන්දුවට එරෙහිව නවුෆර් ඇතුළු පිරිස අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කළ අතර ඒ අනුව එකී අභියාචනා පෙත්සමේද 2006.12.08 දින තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ පෙර තීන්දුවමය.

ඒ අනුව ඔවුන් බන්ධනාගාරවල රැඳවීය. එහෙත් නවුෆර් සිය මිනිස් ජාවාරම අතහැරියේ නැත. ඔහු බන්ධනාගාරයේ සිට සිය ජාවාරම ජයටම කරගෙන ගියේය. ඒ සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේද සහය ඔහුට ලැබුණ බව ප්‍රසිද්ධ රහසක් විය. එසේ ඔහුට ආධාර අනුබල දුන් බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනකු පිළිබඳවද ‍පොලීසියට හෙළිදරව් වී තිබුණි.

මේ අතර නවුෆර්ට බන්ධනාගාරයේදීම වකුගඩු රෝගයක් වැලඳුණ අතර බන්ධනාගාරය මගින් ඊට ප්‍රතිකාර ලබාදුන්නේය. එමෙන්ම බෝගම්බර බන්ධනාගාරයේ රැඳී සිටියදී 2012 වසරේදී වරක් ඔහු සන්තකයේ තිබි ජංගම දුරකථනයක් හා බන්ධනාගාරයේ සිතියමක් ආරක්ෂක අංශවලට හමුවූ අතර එහිදී ඔහුව මාරු කෙරුණේ බදුල්ල බන්ධනාගාරයටය.

බදුල්ල බන්ධනාගාරයේ සිටියදී ඔහු හදවත් රෝගයකට ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් ඒ සඳහා ඔහු නිතර නිතර බදුල්ල මහරෝහල වෙත රැගෙන ගියේය. ‍පොලීසිය සැක කරනුයේ එසේ රෝහලට රැගෙන යන විටදී බන්ධනාගාර බාරයෙන් මිදී පැන යාමට නවුෆර් සැලසුම් කර තිබූ බවයි. ඒත් දැන් ඔහුගේ එම සැලැස්ම වැරදී ඇත. ඔහුගේ සැලැස්ම ආරක්ෂක අංශ විසින් ‍පොලිස්පතිවරයාට දන්වා සිටීම හේතුවෙන් ‍පොට්ට නවුෆර්ට නැවත වරක් තම බන්ධනාගාරය මාරු කිරීමට සිදුව ඇත.

ශානිකා මාධවී

Loading...