Loading...

රජයේ මුදල්වලින් කිසිදු වියදමක්‌ අනුමත කිරීමට අගමැති ලේකම්වරයාට බලයක්‌ නැති බවට විපක්‍ෂය විසින් ඉදිරිපත් කළ යෝජනාව ඊයේ (28 දා) පාර්ලිමේන්තුවේදී ජන්ද 123 කින් සම්මත විය.

යෝජනාවට පක්‍ෂව එක්‌සත් ජාතික පක්‍ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ජනතා විමුක්‌ති පෙරමුණ ජන්දය ප්‍රකාශ කළහ.

ආණ්‌ඩුවට එරෙහිව මන්ත්‍රීවරුන්ගේ නමින් ජන්දය විමසා සම්මත වූ දෙවැනි යෝජනාව මෙය වන අතර ස්‌ථාවර කාරක සභාවක්‌ පත් කිරීම සඳහා වූ පළමු යෝජනාව ජන්ද 121 කින් සම්මත විය.

එදින ජන්දය විමසන අවස්‌ථාවේ සභා ගැබෙහි නොසිටි චතුර සේනාරත්න මහතා සහ ආණ්‌ඩු පක්‍ෂයේ සිට විපක්‍ෂයට යළි පැමිණි වසන්ත සේනානායක මහතා ඊයේ විපක්‍ෂයේ අසුනක හිඳ ජන්දය ප්‍රකාශ කිරීම නිසා ජන්ද සංඛ්‍යාව 123 ක්‌ විය.

ආණ්‌ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන් ඊයේ තුන්වැනි දිනටත් පාර්ලිමේන්තු රැස්‌වීම වර්ජනය කළහ.

එහෙත් ආණ්‌ඩු පක්‍ෂයේ සාමාජිකයකු වන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා රැස්‌වීම ආරම්භ වීමටත් පෙර සිට ආණ්‌ඩු පක්‍ෂයේ අසුනක හිඳගෙන සිටියේය.

පාර්ලිමේන්තුව ඊයේ පෙ. ව. 10.30 ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

රැස්‌වීම ආරම්භ කිරීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එජාප මන්ත්‍රී කණ්‌ඩායමේ රැස්‌වීමක්‌ද මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එජනිස මන්ත්‍රී කණ්‌ඩායමේ රැස්‌වීමක්‌ද පාර්ලිමේන්තු කමිටු ශාලා දෙකක පැවැත්විණි.

ඉන් පසු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්‍ෂ නායක රැස්‌වීමක්‌ පැවැත්වූ අතර එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය පමණක්‌ එම රැස්‌වීම නියෝජනය කළහ.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය පක්‍ෂ නායක රැස්‌වීමද වර්ජනය කළහ.

අනතුරුව සභාව රැස්‌ වූ අතර කථානායක කරු ජයසූරිය මහතා විසින් නිවේදන දෙකක්‌ ඉදිරිපත් කළ පසුව අගමැති වැය ශීර්ෂය යටතේ වන වියදම් දැරීමට අගමැති ලේකම්වරයාට බලයක්‌ නොමැති බවට පසුගියදා ඉදිරිපත් කළ යෝජනාව රවී කරුණානායක මහතා සභාවට ඉදිරිපත් කළේය.

නවීන් දිසානායක මහතා එය ස්‌ථීර කළේය.

එකී යෝජනාව සම්බන්ධව අදහස්‌ දැක්‌වීම සඳහා කථික ලැයිස්‌තුවක්‌ සකස්‌ කර නොතිබිණි.

අවශ්‍ය අයට ඒ සම්බන්ධව අදහස්‌ දැක්‌වීමට කථානායකවරයා අවසරය ලබා දෙන ලදී.

ඒ අනුව නැඟී සිටි ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පැය භාගයක පමණ වේලාවක්‌ අදහස්‌ ප්‍රකාශ කළ අතර විපක්‍ෂ මන්ත්‍රීවරු සාවධානව එම කතාව ශ්‍රවණය කළහ.

අනතුරුව අනුර කුමාර දිසානායක, රවුෆ් හකීම්, බිමල් රත්නායක යන මහත්වරුන් සහ අතුරලියේ රතන හිමියෝ අදහස්‌ දැක්‌ වූ පසු යෝජනාවට ජන්දය විමසීම ආරම්භ විය.

විද්යුත් ක්‍රමයට මන්ත්‍රීවරුන්ගේ නම් රූපවාහිනි තිරයේ දර්ශනය වන පරිදි ජන්දය විමසීම සිදු කෙරිණි.

ජන්ද 123 කින් යෝජනාව සම්මත වූ පසුව කථානායකවරයා ප්‍රකාශ කළේ රජයේ මුදල්වලින් කිසිදු වියදමක්‌ දැරීමට අගමැති ලේකම්වරයාට බලයක්‌ නොමැති බවට වන යෝජනාව අනුමත වූ බවය.

අනතුරුව පාර්ලිමේන්තුව අද (30) පෙරවරු 10.30 තෙක්‌ කල් තබන ලදී.

Loading...