Loading...

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් හමුවීමට තිබූ සැලසුම හදිසියේ අවලංගු කර තිබේ.

අද ආජන්ටිනාවේ බුවනෝස් ඒයර්ස් නුවරදී ඇරඹෙන 13 වැනි ජී 20 නායකයින්ගේ සමුළුවට සමගාමීව මෙම හමුව පැවැත්වීමට නායකයින් දෙපළ මීට පෙර සැලසුම් කර තිබිණි.

පසුගියදා යුක්රේන නාවික නැව් 03ක් සමග කාර්ය මණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකු රුසියාව සිය භාරයට ගැනීමත් සමග දෙරට අතර හටගෙන තිබෙන නොසන්සුන්කාරී තත්ත්වයට විරෝධය පළ කරමින් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර තිබේ.

ක්‍රයිමියා අර්ධද්වීපය ආසන්න මුහුදු කලාපයේදී අදාළ යුක්රේන නැව් රුසියානු භාරයට ගැනුනේ එම මුහුදු කලාපයට නීති විරෝධීව ඇතුළු වී ඇති බවට ප්‍රකාශ කරමිනි.

එහිදී රුසියානු වෙරළ ආරක්ෂක නැව් අදාළ යුක්රේන නැව් වෙත ප්‍රහාර එල්ල කර ඇතැයි ද විදෙස් වාර්තා පසුගියදා අනාවරණය කළේ ය.

මෙම තත්ත්වයත් සමගම ඉකුත් 28 වැනිදා යුක්රේන ජනපති පෙට්‍රෝ පෙරෝෂෙන්කෝගේ ඉල්ලීමකට අනුව යුක්රේනයේ, රුසියානු දේශසීමාවට ආසන්න ප්‍රදේශවලට හමුදා නීතිය පැනවූ අතර එය දින 30ක් බලපැවැත්වෙනු ඇති.

Loading...